වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
සුබසෙත සුවසෙත
මල්ලිකා රත්නායක - කිරිබේරිය
ප්රශ්නය
වෛද්‍යතුමනි, තිස් දෙහැවිරිදි මා අවිවාහක කාන්තාවකි. මගේ කෙස් කලඹ දිගට වැවී ඇත. මම පුරුදුව ඇත්තේ උදේට ස්නානය කිරීමටයි. එසේ ස්නානය කොට හිස පීරන විට හිස කෙස් කැඩී පනාව පුරාම රැඳී එයි. ස්නානය නොකර පීරන විට ඒ තත්ත්වය ඇති නොවේ. මම හිසට කිසිම තෙල් වර්ගයක් දමන්නේ නැත. මට හිසේ කැක්කුමක් හෝ හිස්කෙස් ඉදීමක් හෝ ඇති වෙලා නැත. එබැවින් හිසකෙස් කැඩීයාම නතර කර ගැනීමට ප්‍රතිකාරයක් ලබාදෙන්න.
පිළිතුර
මේ තත්ත්වය ඇතිවීමට හිසේ පවතින රෝගයක් මුල්විය හැකිය. පැළයකට වතුර දමනවා වගේ කෙස්වලටත් තෙල් දැමීමෙන් කෙස්වල ප්‍රාණවත් බවක් ඇති කෙරේ. ඇඹුල් රස අධික ආහර පාන කෑම, නිතර ශීත ජලය පානය කිරීම, ලුණු අධික හා ගම්මිරිස් අධික හා තෙල් බැදුම් ආහාර ගැනීමත්, හිසේ හිස්හොරි පැවැතීම නිසාත් කෙස් කැඩීයාමක් ඇතිවේ. උෂ්ණත්වය නිසාත් හිසකෙස් කැඩීයාමක් සිදුවිය හැකිය. එළවළු, පලා වර්ග, බත් සමඟ වැඩියෙන් ආහාරයට ගන්න. සමබල ආහාර වේලට පුරුදු වන්න. කැල්සියම්, අයඩින් , සින්ක් හා විටමින් වර්ග අඩංගු ආහාර ගන්න. පලතුරු ගැනීමටත් අමතක නොකරන්න. හිසට දමනු ලබන ආයුර්වේද තෙලක් පාවිච්චි කරන්න.
ඒ.ඩී. සුමනාවතී - වීරකැටිය
ප්රශ්නය
වෛද්‍යතුමනි,
මම හැට හැවිරිදි විවාහක කාන්තාවකි. ඉඳහිට මගේ වම් අතේ හිරියක් දැනෙනවා. ඒවෙලාවට තද වේදනාවකුත් එනවා. ඒවගේම මහපට ඇඟිල්ලත් රිදෙන්න ගන්නවා. මේ තත්ත්වය අත්දෙකින් අල්ලා යමක් උස්සන විට, පොල් ගෙඩියක් බිඳිනවිට එළවළු කපනවිටත් ඇති වෙනවා. නිතරම මේ රෝගී තත්ත්වය ඇතිවන්නේත් නැහැ. මෙය සුවකර ගැනීමට ප්‍රතිකාරයක් ලබාදෙන්න.
පිළිතුර
මෙවැනි රෝගී තත්ත්වයන් වයසට යෑමේදී ඇතිවෙනවා. නිතර නිතර අත්සෝදා වැඩ කරන විටත් මෙසේ අත්වල හිරිය ඇති වෙනවා. උඳු, මීපැණි, ඉඟුරු, වැටකොළු, පතෝල, කුඩාමාළු, පලතුරු හා එළවළු සමඟ පලා වර්ග ආහාරයට ගන්න. උණුවතුර බීමට ගන්න. පිටතින් කරනු ලබන ප්‍රතිකාරවලට වඩා ගුණාත්මක වන්නේ ශරීරයට දෙනු ලබන ප්‍රතිකාරයයි. එබැවින් සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකුට අත පෙන්වා ප්‍රතිකාර ගන්න.
කේ.එච්. ධනපාල - අනුරාධපුර
ප්රශ්නය
වෛද්‍යතුමනි
මම හෝටලයක සේවය කරන වයස අවුරුදු පනස් අටක් වූ අයෙකි. වසර අටක පමණ කාලයක්ම සේවය කරන මා හට උණ, සෙම්ප්‍රතිශ්‍යාව හැර වෙනත් කිසිදු රෝගයක් ඇති වුණේ නැහැ. නමුත් දැනට සති දෙකක පමණ කාලයක සිට උණ, වමනය, පාචනය, බඩ පිපෙන ගතිය , නින්දෙන් පිබිදෙන විට ඇතිවනවා. සමහරදාට පපුවේ සෙම හිරවෙන ගතියකුත් පවතිනවා. සමහරදාට නින්දෙන් පිබිදෙන විටත් වමනය ඇතිවෙනවා මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාරයක් ලබා දෙන්න.
පිළිතුර
මෙවැනි රෝගී තත්ත්වයන් බොහෝවිට ඇති වන්නේ ළඟ ළඟ ආහාර කෑමට ගැනීමෙනි. ටික ටික ආහාර කෑම මෙයට මූලික හේතුවක් වේ. මස්, කිරි, බිත්තර, බැදපු කෑම අයිස්ක්‍රීම්, සැලඩ්, වටලප්පම්, පුඩින්, රොටී ආදිය දවසට කිහිපවාරයක් ආහාරයට ගැනීම ශරීරයට ඉතාම අහිතකරය. ආහාර ප්‍රමාණය ඉක්මවා ගැනීම ද රෝගී වීමට බලපායි. ආහාර ටික ටික ගැනීම හැකිතාක් දුරට වළක්වා ගැනීම වඩා සුදුසුය.
දමයන්ති සිල්වා - කොටගෙදර
ප්රශ්නය
වෛද්‍යතුමනි, මා පාවහන් ආයතනයක සේවය කරනු විසිහතර හැවිරිදි තරුණියෙකි. දිනපතාම වගේ උදේට ස්නානය කර වැඩට යාමේ පුරුද්දක් ඇත. මගේ කෙස් ඉතා ප්‍රාණවත්ව, අලංකාරව පැවතිණ. කෙස්ගස් දෙකතුනක් සුදුවීම නිසා මා ෂැම්පු විශේෂයක් ගා ස්නානය කිරීමට පුරුදු විය. මේ වනවිට හිසකෙස්වල පැවැති දීප්තිය නැතිවී කෙස්වල වර්ණය ද වෙනස්වී ඇත. එබැවින් වෛද්‍යතුමනි කෙස් යථා තත්ත්වයට පත් කර ගැනීමට උපදෙසක් ලබාදෙන්න.
පිළිතුර
හිසට නොයෙකුත් ආලේපන වර්ග ගැල්වීම නිසා හිසකෙස් වියළී දුර්වර්ණ වේ. අලංකාරය සඳහා විවිධ ආලේපන වර්ග හා යම් යම් ක්‍රමවේදයන් උපයෝගී කරගෙන හිස්කෙස්වල ස්වභාවය වෙනස් කර ගැනීමට උනන්දු වෙති. ස්නානය කොට තෙත හිසකෙස් වියළා ගැනීම සඳහා ඩ්‍රයර් එක භාවිතා කරති. හිසේ තෙත ගතිය වියළා ගත යුත්තේ තුවායක් හිසේ ඔතා ගැනීමෙනි. හිසකෙස්වල දීප්තිය හා ආරක්ෂාව ඇතිකර ගැනීමට ඇල්වතුර වීදුරුවකට තේ කොළ හැන්දක් දමා එම වතුර වෙනත් බඳුනකට දමා රත්කර ගන්න. රත්වූ පසු ළිපෙන් ඉවතට ගෙන දෙහි ඇඹුල් ටිකක් දමා මිශ්‍ර කර කෙස්වල මුල්වලට ගෑවෙන සේ ඇඟිලිතුඩු වලින් පිරිමදින්න. එසේකොට දින දෙකට වරක් නාන්න. ලෙමන් ඉස්ම හෝ විනාකිරි ස්වල්පයක් වතුරට දමා හිස සෝදන්න. හිසට පෝෂණය ද අවශ්‍ය බැවින් ඒ පිළිබඳ තවදුරටත් ද උපදෙස් ලබා ගතයුතු බැවින් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගන්න.
ඩබ්.ඩී. පියසේන, බාඳුරාගොඩ
ප්රශ්නය,
වෛද්‍යතුමනි -
මගේ වම් කකුලේ ලප වගයක් මතුවුණා. මගේ වයස අවුරුදු හැටහතක්. කකුලේ පිට පැත්තේ තමයි තුවාල තිබුණේ. වෙදමහතාගේ උපදෙස් පරිදි පොකුරු වදමල් තම්බා බීවා. දැන් තුවාල සුවයි. ඒත් කකුලේ කළු පාට ලප තියෙනවා. වදමල් තම්බා බීම දිගටම කිරීමෙන් වරදක් වේද?. දැනගන්නට අවශ්‍යයි.
පිළිතුර
ඔබට ඇත්තේ වාත රක්ත කුෂ්ටයයි. පොකුරු වදමල් බීමෙන් කළු ලපද ක්‍රමයෙන් සුව වේ. වදමල් තම්බා බීමෙන් වරදක් සිදු නොවේ.
කේ.ඩී. අමරදාස මිරිස්ස
ප්රශ්නය
වෛද්‍යතුමනි, තිස් අට හැවිරිදි මම ධීවර කාර්මිකයෙකි. මෑතක සිට මගේ වම් අතේ වැළමිටෙන් පහළ කොටසේ සිට අත්ල දක්වා සමේ ගොරෝසු බවක් ඇතිවෙලා. එය මඤ්ඤොක්කා පොත්තක් වගේ ගොරෝසුයි. ඉඳහිට කසන ගතියකුත් තියෙනවා. ඒ නිසා සර්ව විශාදිය තෙල් ටිකක් ගෑවත් අඩු වුණේ නැහැ. ප්‍රමාණය අඩුවෙන්නෙත් නැහැ. වැඩි වෙන්නෙත් නැහැ. මෙය සුවකර ගැනීමට සුබසෙතින් ප්‍රතිකාරයක් ලබාදෙන්න.
පිළිතුර
දක්වා ඇති රෝග විස්තරය අනුව ඔබ අතට වැළඳී ඇත්තේ පොතුකබර රෝගයයි. එය සුවකළ හැකියි. එහෙත් දැනට එකතැනක සම ගොරෝසුවට තිබුණත් ශරීරාංග කොටස්වලටත් එය පැතිර යා හැකිය. ඔබ පාවිච්චිකරන සබන්, තුවාය, ඇඳුම් පැළඳුම් හා වෙනත් දේවල් පිට අයට පාවිච්චි කරන්න දෙන්න එපා. මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කළ යුත්තේ රෝගියා සමඟ සාකච්ඡා කර තත්ත්වය විමසීමෙනුයි. චර්ම රෝග තත්ත්වයක් බැවින් ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්නා ප්‍රතිකාර ගැනීම සුදුසුයි.
පී.එස්.ඩී. ගලැඩ්වින් - කොළඹ
ප්රශ්නය
දහඅට හැවිරිදි මම ආයතනයක කැන්ටිමක සේවය කරන සේවකයෙකි. දැනට සතියක පමණ කාලයක සිට හිටපු ගමන් උගුරට ඇඹුල් රසයක් එනවා. වමනයටත් එනවා. සමහර වෙලාවට ඔළුව රිදෙනවා. හැබැයි දවසට කීප සැරයක් ටික ටික බඩඑළියත් යනවා. සමහර වෙලාවට බඩ කුරු කුරු ගාන ශබ්දයකුත් තියෙනවා. වෛද්‍යතුමනි, මෙය සුවකර ගැනීමට ප්‍රතිකාරයක් සඳහන් කරන්න.
පිළිතුර
සඳහන් කරන විස්තරය අනුව ඔබට ඇත්තේ අජීර්ණයක්. එවැනි රෝගී තත්ත්වයක් ඇතිවෙන්නේ පිළුණු වු ආහාර කෑමෙන්. දින කීපයක් තිබූ ආහාර කෑමෙන් ආහාර කෑමෙන් පසු ටික ටික ආහාර කෑමෙන් හා තෙල් බැදුම් ආහාරයට ගැනීමෙන් හා වතුර බීමෙනුත්ය. පහත සඳහන් මේ ප්‍රතිකාර නිසි පරිදි කරන්න. සාදික්කා ගෙඩියක් දෙහි ඇඹුලින් ගලගා උණුකර නිවාගත් ජලයට දියකර ටික ටික බීමෙන්ද සූදුරු කබලේ බැඳ කුඩුකර නිවාගත් ජලයට දමා කළවම්කර බීමෙන්ද, තිප්පිළි ,වදකහ, පෙරුම්කායන්, සවිඳ ලුණු, කලාදුරු එක පමණට ගෙන මුරුංගා පොතු ඉස්මෙන් දියකර බීමෙන්ද සුවයක් ගෙන දේ.
එස්.ඒ.ඩී. සිල්වා- වේවැල්දෙණිය
ප්රශ්නය
වෛද්‍යතුමනි,
පනස් තුන් හැවිරිදි මම වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යමි. මට මොනම දිනකවත් වේලාවකට කෑම ගන්න වෙන්නේ නැහැ. සමහර දිනවලට සවස දෙකට, තුනට, හතරටත් දහවල් ආහාරය ගන්නවා. මේ නිසා රාත්‍රි ආහාරය ගන්නේ සෑම දිනකම රාත්‍රී නමයෙන් පසුවයි. ඒ නිසාද දන්නේ නැහැ, සවස්වරුවට උගුරට එනවා. ආහාරගත් වෙලාවට බඩේ දැවිල්ලකුත් එනවා. වමනෙ වගෙත් දැනෙනවා. උගුර දන ගතියකුත් එනවා. මේ රෝග තත්ත්වය සුවකර ගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
පිළිතුර
ඔබේ රෝගයට හේතුව ගත යුතු වේලාවට ආහාර නොගැනීමයි. තවද මත්පැන් පානය ලුණු මිරිස් අධික ආහාර ගැනීම, ශීත කළ ආහාරපාන ගැනීම, බැදුම් හා තෙල් අධික ආහාර ගැනීම බොහෝ වේලාවක් කුසගින්නේ සිටීමද මේ තත්ත්වයට හේතු වේ. හිස්බඩට ඇල්වතුර බීම, කැකිරි, මෝරු, යෝගට්, බෙලි ගැට තැම්බූ වතුර බීම, බෙලි ගැට මද මීපැණි සමඟ ආහාරයට ගැනීමද සුවදායකය. බෙලිකොළ දළු පවනේ වියළා කුඩුකර තබා ගෙන තේ මෙන් වත්කර බීමත් ගුණය. තැඹිලි ලොඳ සමඟ බීමටත් කටයුතු කරන්න. ඉස්සන්, කකුලුවන්, දැල්ලන් වැනි උෂ්ණාධික මාළු වර්ග මස් කෑමෙන් වැළකිය යුතුය.
යූ.ඒ. මල්කාන්ති - රක්වාන
ප්රශ්නය
වෛ්යතුමනි
වයස විසිනමයක් වූ මා ආයතනයක පරිගණක සේවයේ නියුතු සේවිකාවකි. සෑම දිනකම පෙරවරු නමයට සේවයේ යෙදුණම දිගටම පැය හයක්, හතක් සේවයේ නිරත වෙමි. සේවය නිමවා නිවසට පැමිණි විට පුරුද්දක් වශයෙන් රාත්‍රී හතට පමණ ස්නානය කිරීම සිරිතකි. එසේ ස්නානය කිරීමෙන් පසු මගේ දකුණු අතේ වැලමිට දෙසින් අධික වේදනාවක් දැනෙනවා. එය පවතින්නේ එක් අතක පමණකි. වෛද්‍යතුමනි, මෙය සුවකර ගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන ලෙස ඉල්ලමි.
පිළිතුර
අත දැඩි ලෙස මහන්සියට පත්වීම නිසා වැලමිට දෙසින් මේ වේදනා තත්ත්වය ඇති වූ බව පෙනේ. වැලමිට සන්දියේ අස්ථියේ තෙරපීම නිසාත් වේදනාව ඇතිවේ. මේ තත්ත්වයට තවත් හේතුවක් වන්නේ වැලමිට විටින් විට නැවීම හා දිග හැරීමයි. එමෙන්ම එක් අතක පමණක් පවතින රෝගී තත්ත්වය අනෙක් අතට ද ඇති විය හැකිය. උරහිසට ද පත්විය හැකිය. කෙසේ වෙතත් ප්‍රතිකාර ලබාදීමට ප්‍රථම අත පරීක්ෂා කළ යුතු බැවින් ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්නා ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුය.