වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
රාහු කාලයටත් වඩා පරෙස්සම් විය යුතු ‘ගුලිකය’
ආසියාකරයේ මෙන්ම ලොව බොහෝ රටවල දෛනිකව ‘රාහුකාලය’ පිළිබඳ අවධානය යොමු කර, පැය 1 1/2ක් රාහුකාලය වශයෙන් ගෙන එම කාලය තුළ සුබ කටයුතු ඇරඹීමෙන් වැලකී සිටීමට බොහෝ දෙනා වගබලා ගනිති.
එහෙත් බොහෝ දෙනකුට සෑම දිනකම එළඹෙන හෝරා 1 1/2 ගුලික කාලය පිළිබඳ එතරම් අවබෝධයක් නැති තරම්ය. එහෙත් එය රාහු කාලයටත් වඩා ඇතැම්විට විපත්ති පමුණුවන බව නොදැන සිටිම එයට හේතුවයි. රාහු කාලය අභිබවා සුබ කටයුතුවලින් බැහැර විය යුත්තේ ගුලික කාලය තුළය. මේ අදහස් මහා භාරතයේ බිහිව මුළු සතටම සෙත සලසන මහා සෘෂිවරුන්ගෙනහැර පෑවේ අද ඊයේ නොව මීට වසර දහස් ගණනකට පෙරය.
‘ගුලික’ සෙනසුරුගේ පුත්‍රයකු ලෙස සැලකේ. වෙනත් ලෙසකින් හඳුන්වා දෙතොත් ගුලික යනු උපග්‍රහයකි. එය ප්‍රමාණයෙන් සිකුරු ග්‍රහයාට සහ පෘථිවියට වඩා කුඩාය.
එලෙසම සෑම දිනකම හෝරා එකහමාරක කාල කොටසක් (පැය 1 1/2) ගුලික උප ග්‍රහයාට අයත් බව ඈත අතීතයේ පටන් විශ්වාස කෙරෙයි. එය දිවා කාලයටත් (දිවාමානය) රාත්‍රී කාලයටත් (රාත්‍රී මානය) වෙන් වෙන්ව පැහැදිලිව යෙදෙයි. මෙහිදී ඒ ඒ කාලයන් සඳහා ගුලික කාලය සොයා ගන්නා ක්‍රමවේදයද විග්‍රහකර බැලීම අගනේමය.
දිවා කාලයට අයත්වන ගුලික කාලය සොයාගන්නා අයුරු ඉතා සරලව මෙසේ දැක්විය හැකිය. ප්‍රථමයෙන් දිවාමානය සොයාගත යුතු ය. ඒ සඳහා එම දිනයේ හිරුබැස ගිය වේලාව නාවුක පැයට හරවා එයින් එදින හිරු උදාව අඩු කරන්න. එවිට දිවාමානය ලැබේ.
එම දිවාමානය 8 න් බෙදනු මැන, එහිදී ලැබෙන අගය හිරු උදා කාලයට එකතු කරමින් කොටස්වලට බෙදන්න. නිදසුනක් මඟින් මෙය තහවුරු කර ගැනීම වඩාත් පහසු ය.
නිදසුන, අපි නිශ්චිත දිනයේ හිරු උදාව පෙරවරු 06.02 යයිද එදින හිරු බැසීම පස්වරු 06.18 යයි සිතමු. එනම්
18.18 (නාවුක පැයට ලකුණු කිරීම) හිරු බැසීම - 06.02 හිරු උදාව
= පැය 12.16 දිවාමානය
දිවාමානයට ලද අගය 8න් බෙදීම 12.16 / 8 = 1.52
හිරු උදාව = 06.02 + 1.52 = 07.54
ඒ අනුව හිරු උදාවේ සිට පෙරවරු 07.54
ඒ අනුව හිරු උදාවේ සිට පෙරවරු 07.54 දක්වා පළමු කොටස වේ.
දෙවන කොටස ආරම්භය = 07.54
කොටසක අගය = 01.32 +
09.26
ඒ අනුව පෙ.ව. 07.54 සිට පෙ.ව. 09.26 දක්වා දෙවන කොටසය. මේ ආකාරයට අනෙක් කොටස් ආරම්භ වන සහ අවසන් වන වේලාවන් සොයාගන්න.
මෙහි පළමු කොටස ඔබ තෝරාගත් දිනයේ අධිපතිට අයත් වෙයි. නිදසුනක් ලෙස ඔබ තෝරාගත්තේ ගුරු දිනයක් නම් ගුලික ගණනයේ දී පළමු කොටස ගුරුටම අයත්ය. අවසාන කොටස අධිපතියකු නැත.
නිදසුනේ දෙවැනි කොටස ගුරු දිනයට පසු දිනය වූ සිකුරාදා නිසා එය කිවිට අයත් වෙයි. ඒ ආකාරයට ඒ ඒ කොටසට අධිපතීන් නම් කරන කල සෙනසුරුට හෙවත් ශනිට අයත්වන කොටස ගුලික කොටස වෙයි. මෙය වගුවකට ගැනීමෙන් පහසුවෙන් වටහා ගත හැකි ය.
රාත්‍රී මානයට ගුලික සෙවීමද ඉතා පහසුවෙන් අපි වටහා ගනිමු.
රාත්‍රී මානයට අයත් කාල ප්‍රමාණය ප්‍රථමයෙන් සොයා ගත යුතු ය. ඒ සඳහා පසුදින හිරු උදාවට පැය 12ක් එකතුකර අදාළ දිනයේ හිරු බැසගිය වේලාව අඩුකරන්න. නිදසුනක් මඟින් අපි මෙය වටහා ගනිමු.
අපි තෝරාගත් දිනයේ හිරු උදාව පෙරවරු 05.58 සහ හිරුබැසීම පස්වරු 6.10 ද, පසුදින හිරු උදාව පෙරවරු 05.58 යයි සිතමු
හිරු උදාව = 05.58
පැය 12 ක් එකතු කිරීම = 12.00
17.58 - 6.10
(අඩුකලා, හිරු බැසීම = 6.10)
රාත්‍රී මානය = 11.48
එය 8 න් බෙදූ විට 11.48
එවිට කොටසක් 1.28.30 ක් වෙයි. එදින හිරුබැස ගිය වේලාවට මෙම කොටසක අගය එකතු කරමින් ඒ ඒ කොටස ආරම්භ වන අවසාන වේලාවන් සොයාගන්න.
නිදසුන් -
එදින හිරු බැස ගිය වේලාව පස්වරු = 6.10.00 කොටසක අගය 1.28.30 + = 1.28.30
පළමු කොටස අවසන් වන වේලාව = 7.38.30 .මේ ආකාරයට අනෙක් කොටස් ආරම්භවන සහ අවසාන වන වේලාවන් සොයාගන්න.
රාත්‍රී මානයේදී ගුලික කාලය සෙවීමේදී වෙනසක් සිදුවෙයි. රාත්‍රී මානයේදී පළමු කොටස අයත්වන්නේ අදාළ දිනයෙන් පස්වන දිනයේ අධිපතියාටය.
නිදසුනක් ලෙස බැලීමේදී අපි තෝරාගත් දිනය බුධ දිනයක් යයි සිතමු. එහි රාත්‍රී මානයේ ගුලිකය සෙවීමේදී පළමු කොටස අයත් වනුයේ බදාදා දිනයෙන් පස්වන දිනය වන ඉරිදා දිනයේ අධිපති රවිටය. ඒ අනුව දෙවැනි කොටස සඳුටත්, තුන්වැනි කොටස බුධටත් ආදී ලෙස අයත්වනු ඇත. ඒ අනුව එම දිනයේ හයවැනි කොටස සෙනසුරුට අයත් වන අතර එම කොටස ගුලික කාල කොටස වෙයි.
(සටහන 01) දිවාමානය සඳහා ගුලික කාලය යෙදෙන ආකාරය වගුවකින් දැක්විය හැකිය. මෙහිදී පෙරවරු 06.00ට හිරු උදා වී හිරු බැසීම පස්වරු 6.00 සිදුවී යයි උපකල්පනය කර ඇත. මෙහි රතු පාටින් වටකොට දක්වා ඇත්තේ දිවාමානයේ ගුලික කාලයට අයත්වන කොටසයි.
(සටහන 02) රාත්‍රී මානය සඳහා ගුලික කාලය යොදන ආකාරය ද වගුවකින් දැක්විය හැකිය. මෙහිදීත් පෙරවරු 06.00 ට හිරු උදාවී හිරු බැසීම පස්වරු 6.00 සිදුවී යයි උපකල්පනය කර ඇත.
මෙහි රතු පාටින් වටකොට දක්වා ඇත්තේ රාත්‍රී මානය ගුලික කාලයට අයත්වන කොටසයි.
ගුලික කාලයත් රාහු කාලයක් එක්විට වැටෙන කාලසීමාවක් වෙත් නම් එය දැඩි අසුබ පල දෙනු ඇති බව සලකන හෙයින් කොහෙත්ම සුබකටයුතු සඳහා උපයෝගි නොකර ගැනීම වඩාත් උචිතය.
පරාසර හෝරා ග්‍රන්ථයට අනුව ඒ ඒ දිනයේ ශනිට (සෙනසුරුට) අයිති කොටස ආරම්භවන වේලාව ගුලික ග්‍රහයාගේ ස්ඵුටය සෙවීමට යොදා ගනී. එසේම උත්තර කාල මිත්‍ර ග්‍රන්ථයට අනුවද ගුලික ග්‍රහයාගේ ස්ඵුටය සෙවීමටද යොදාගනී. පලාඵල කථනයටද ගුලික ග්‍රහයා යොදා ගැනීම සිදුකළ හැකිය.
ඇතැම් ඡ්‍යොතිෂවේදීන් මේ ගුලික කාලය තම ගුරුමුෂ්ටියක් ලෙස සලකා පොදු සමාජයට එයින් ලබාගත හැකි සේවාව වළක්වා තැබීම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට කෙතරම් අවැඩදායි දැයි මේ බව දැනගත් විට මට සිතුණි.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ