අර්ශස් සුව කරන හිස කැක්කුම් නසන ඇත්දෙමට

ඔක්තෝබර් 25, 2024

ද්‍රව්‍ය ගුණ පාඩම සඳහා ඔසු උයනට ගිය එක් සිසුවෙක් කථිකාචාර්යවරයාගෙන් මෙසේ ඇසුවේය.

“සර්, මොකක්ද මේ ගහ. මේ ගහේ කඳ හරියට අලියෙකුගේ කකුලක් වගේනේ”

“හරියටම හරි. අලියෙකුගේ නැත්නම් ඇතෙක්ගෙ කකුලක් වගේ තමයි. ඒ නිසාම තමයි මේ ගහට ‘ඇත්දෙමට’ කියල කියන්නේ”

“සර් අපි ඇත්දෙමට ගැන හරිහැටි දන්නෙ නැහැනෙ”

“ඒකනේ අපි දැන් ඉගෙන ගන්න හදන්නේ. ළමයිනේ. ඇත්දෙමට අපේ රටේ මීටර් 1000 දක්වා උස තෙත් සහිත පහත් ප්‍රදේශවල හොදින් වැවෙන ගහක්. ඒ වගේම විදේශීය වශයෙන් ගත්තාම හිමාලයේ පහත් ප්‍රදේශවලත් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලත් මැලේ අර්ධද්වීපයේත් දකින්න පුළුවන්”

“සර්.ඇත්දෙමට ගස් ගොඩක් විශාල වෙනවද?”

“ළමයිනේ... ඇත්දෙමට මධ්‍යම ප්‍රමාණයේ පතනශීලී ගහක්. මේ ගස්වල පොතු අළු පාටට හුරු කහ පාටයි. කොළ සෙ.මි.10 - 20 ක් දිගින් යුතුයි. පැතලියි. අණ්ඩාකාරයි. ඒ වගේම මේ ඇත්දෙමට කොළවල උඩ පැත්ත දිලිසෙනවා. යට පැත්තෙ ලෝම සහිතයි. මල් දුඹුරු පැහැයට හුරු කහපාටයි. ගෙඩි සෙන්ටි මීටර දෙකහමාරක් විතර දිගයි. ඒවා ඉදුණාම තැඹිලි පාටට හුරු කහ පාටක් ගන්නවා. ඒ ගෙඩිවල බීජ 2 - 4 ක් පමණ තියෙනවා.

ඇත්දෙමට ශාකය හදුනාගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය තමයි ළමයිනේ ගහේ පහළ කොටස ඇතෙකුගේ කකුලක ස්වරූපයක් ගැනීම.

මේ දශමූල කෂාය... පාණ්ඨ... ක්වාථ ආදි ආකාරයෙන් වාත රෝග ඇතුළු තවත් රෝගාබාධ රාශියකට ප්‍රතිකාර වශයෙන් යොදා ගන්නවා. ඊට අමතරව තවත් ඖෂධ යෝග රැසක් සඳහා යොදා ගන්නා ප්‍රධාන ඔසුවක් වශයෙන් ඇත්දෙමට සලකන්න පුළුවන්.

“එතකොට සර්.ඇත්දෙමටවලට කියන නම් මොනවද?”

“සංස්කෘත භාෂාවෙන්

ගාම්භාරී..කාශ්මරී..පීතරෝහිණී..ශ්‍රීපර්ණී..සහ මධුපර්ණිකා ආදි නම් යෙදෙනවා

හින්දි භාෂාවෙන්

ගමාරී..බාම්භාරී..යන නම් යෙදෙනවා

දෙමළ භාෂාවෙන්

ගුම්මාදාටෙකු....සහ කුන්තනම් යන නම් යෙදෙනවා

ඇත්දෙමටවල උද්භිද විද්‍යාත්මක නාමය

Gimelina arborea Linn වන අතරම

කුලය වන්නේ VERBENACEAE හෙවත් නිර්ගුන්ඩී කුලයයි. ඒ වගේම තමයි ගෙඩි නැති වෙලාවට පොතු යොදා ගනු ලබනවා .

එසේම මුද්දරප්පලම් වෙනුවට ඇත්දෙමට ගෙඩිත්...කට්ඵල වෙනුවට ඇත්දෙමට පොතුත් ප්‍රතිනිධි වශයෙන් යොදා ගනු ලබනවා

ඒ වගේම ඇත්දෙමට ශාකයේ ඖෂධීය වශයෙන් ගන්නාවූ කොටස් වන්නෙ මුල්, මල්, පොතු, ළාකොළ, ගෙඩි සහ ඇටමද ආදියයි. මේ අතුරින් ගෙඩි ප්‍රධානයි.

“සර්. එතකොට ඇත්දෙමට ඖෂධීය වශයෙන් වැදගත් වන්නේ කොහොමද?”

ළමයිනේ. ඇත්දෙමටවල ඖෂධීය වටිනාකම සැලකුවාම රසයෙන් තික්ත, කෂාය සහ මධුර රසයි. ගුණයෙන් ගුරු ගුණයි. වීර්‍යයෙන් උෂ්ණයි. විපාකයෙන් කටුකයි. දෝෂ අනුව සැලකුවාම තික්ත, කෂාය සහ මධුර රස ඇති නිසා පිත ද උෂ්ණ නිසා සෙම ද, වාතය ද සමනය කරන නිසා තුන්දොස් සමන ගුණයෙන් යුක්තයි. මේ නිසා තුන් දොසින් හටගත් රෝග සඳහා වඩාත් ගුණදායකයි.

ළමයිනේ ආයුර්වේදයෙ රෝග සමනය සඳහා යොදන ඖෂධ යෝගවලින් ඉතා ප්‍රසිද්ධම ඖෂධ යෝගයක් තමයි දශමූල කියන්නේ. මේ ඇත්දෙමට මුල් එක්ක ශාක වර්ග දහයක මුල් අරගෙන තමයි “දශමූල” සකස් කරන්නේ.

ඒ වගේම ළමයිනේ. ශරීර ව්‍යුහගත ක්‍රියා සැලකුවාම

බාහිර වශයෙන්

ඇත්දෙමට කොළ ශීතල සහ ස්නේහන ගුණ යුක්ත නිසා දැවිලි, පීඩා නසනු ලබනවා. ඒ නිසා උණ රෝගීන්ට හට ගන්නා හිස කැක්කුම් සහ දැවිලි පීඩා ආදිය සමනය සඳහා ඇත්දෙමට ළා කොළ කල්කය හිසේ ආලේප කරනවා

අභ්‍යන්තර වශයෙන්

ඇත්දෙමට මේධ්‍ය සහ වේදනා සමන ගුණ යුතු නිසා මොළයේ දුබලතා...වාත වේදනා සහ කැරකිල්ල ආදිය සමනය කරනවා.

ඒ වගේම ඇත්දෙමට පිපාසය සමනය කරන ගුණයෙන් සහ දීපන සහ අනුලෝමන ගුණයෙන් යුතු බැවින්

ඇත්දෙමට මුල්

බඩගිනි අඩුකමට සහ අර්ශස්වලටත්

ඇත්දෙමට ගෙඩි

පිපාසය දුරුකරළීමටත් ප්‍රයෝග කරනවා.

එසේම ඇත්දෙමට ගෙඩි හදවතට හිතකර සහ රත්පිත සමන ගුණයෙන් යුක්තයි. පොතු ඉදිමුම් නසනවා.

මේ නිසා ඉදුණු ගෙඩි හදවත් රෝගීන්ට සහ රත්පිත් රෝගීන්ටත්, මුල්වල පොතු ඉදිමුම්වලටත් යොදනවා.

ඒ වගේම ඇත්දෙමට ගෙඩිවල ශරීර ශක්තිය සහ බලය ඇතිකරන ගුණ යුතු නිසා උර:ක්ෂත (පෙනහළුවල තුවාල ) සහ ක්ෂය රෝගයට ප්‍රයෝග කරනු ලබනවා.

එසේම ඇත්දෙමට ගෙඩි සහ කොළ මූත්‍ර ඇති කරන ගුණ යුතු නිසා

මූත්‍රකෘච්ජ්‍ර..පූයාමේහ.. වස්ති ප්‍රදේශයේ ඉදිමුම් ආදියේදී ඇත්දෙමට ගෙඩි වල යුෂ සහ නොමේරු කොළවල යුෂ යොදනු ලබනවා .

එසේම ළා කොළවල යුෂ සීනි දැමූ එළකිරි සමඟ දීමෙන් මූත්‍ර ශුද්ධ වීම, වේදනා සමනය වීම සහ ඉදිමුම් අඩුවීම සිදුවෙනවා.

ඒ වගේම ඇත්දෙමටවල ගර්භස්ථාපන සහ මව්කිරි වඩන ගුණ යුතුයි. මේ නිසා ඇත්දෙමට ගෙඩි ශුක්‍ර දුබලතා සහ ගර්භපාත ආදියට යොදනු ලබනවා. මේනිසා ගර්භාෂයේ ඉදිමුම් ද අඩුකරනවා. ඒ වගේම උණ ආදිය සමනයත් මව්කිරි වැඩීමත් ඇති කරනවා.

ඉතින් ළමයිනේ මේ විදියට ශාරීරික ව්‍යුහා ආශ්‍රිතව ඇත්දෙමට හොදින් ක්‍රියා කරනු ලබනවා .

ඒ වගේම ඇත්දෙමට අඩංගු ඖෂධ යෝග රාශියක් විවිධ රෝගාබාධ රාශියක් සඳහා ඉතා හොඳ ප්‍රතිඵල ළඟාකර දෙනු ලබනවා.

එ අතුරින්

පිපාසා දැවිලි සහිත පිත්ත උණට

ඇත්දෙමට ක්වාථය සීනි සමග යොදනවා.

රක්ත අතීසාරයට

ඇත්දෙමට ගෙඩි යොදා පිළියෙළ කළ යුෂය මඳක් ඇඹුල් යොදා සීනි සහිතව දෙනවා

රත්පිතට

ඉදුනු ඇත්දෙමට ගෙඩිවල යුෂ මීපැණි සමග යොදනවා

වාත රක්තයට

ඇත්දෙමට ගෙඩිවල යුෂ ගෙන කල්කය ලෙස වැල්මී යොදා සිඳගත් තෙල ආලේපයට යොදා ගන්නවා.

මේ ආදි ඖෂධ යෝග රාශියක් ඇත්දෙමට අඩංගුව රෝගාබාධ රැසකට යොදනවා.”

“සර් එතකොට ඇත්දෙමට අඩංගු සංස්කාරික ඖෂධත් තියෙනවද?”

“ඔව් .එවැනි ඖෂධ රාශියක් තියෙනවා

විශේෂයෙන් ක්වාථ..පාණ්ඨ...අරිෂ්ඨ. ආසව...ඝෘත..තෛල.. වැනි ඖෂධ රැසක්ම තියෙනවා. මේ අතර දශමූලාරිෂ්ඨය, දශමූල පාණ්ඨය, වෘහත් පංචමූල පාණ්ඨය, දශමූල ක්වාථය ආදියත්, ගම්භාරී ඵල යුෂය, ගම්භාරී ඵල ක්වාථය, ගම්භාරී ලේහය, ගම්භාරී චූර්ණය, ගම්භාරී මූල චූර්ණය, ගම්භාරී තෛලය ආදියත් ප්‍රධාන වෙනවා

ඉතින් ළමයිනේ මේ නිසාම ඇත්දෙමට කියන්නේ අතිශයින් වැදගත් ඖෂධයක් කියල කියන්න පුළුවන්”.

“ඔව් සර්... මේ කියපු කරුණුවලින් අපට තේරුණා ඇත්දෙමට කියන්නේ අගනා වටිනා ඔසුවක් බව. සර්ට ගොඩක් ස්තූතියි. අපිට ඇත්දෙමට ගහක් ළඟට ගිහිල්ලාම මේවා තේරුම් කරල දුන්නට.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.