ලිංගික බෙලහීනතා දුරුකරන බිම්තල්

ඔක්තෝබර් 4, 2024

ආයුර්වේද වෛද්‍ය ජයසිංහ මහතා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙකි. ඔහුට එදින පැවරී තිබුණේ වෛද්‍ය විද්‍යාලයේ අවසාන වසරේ සිසුන් හට ඖෂධ පැළෑටි පිළිබඳ දේශනයකි. එම දේශනයට සහභාගි වූ ඔහු මෙසේ කතාව ආරම්භ කළේය.

“අද ඔයගොල්ලන්ට ද්‍රව්‍ය ගුණ දේශනය තියෙන්නේ. ඔයගොල්ලො සූදානම් නේද?”

“ඔව් සර්..අපි සූදානම්.”

“මට ඊට කලින් ගැටලුවක් තියෙනවා. ඒ ගැන දැන ගන්න ඕනෑ”

“ඔව් සමන්ත පුතා කියන්න. මොකක්ද ගැටලුව?”

“සර් වාජීකරණ ගුණ තියෙන බිංතල් ගැන දැන ගන්න ඕන. ඒ වගේම වාජීකරණය ගැනත් ටිකක් දැනගන්න ඕනෙ”

“හරි පුතා.. අපි අද ඒ ගැන කතා කරමු...

ආයුර්වේදයේ තියෙන අංග අටෙන් එක වැදගත් තන්ත්‍රයක් තමයි වාජීකරණ තන්ත්‍රය කියන්නේ . පිරිහී ගිය පුරුෂ ශක්තිය නැවත ඇති කිරීම සඳහා කළ යුතු කාර්යයන් පිළිබඳව උගන්වන තන්ත්‍රය තමයි වාජීකරණ තන්ත්‍රය කියල කියන්නේ විශේෂයෙන් ලිංගික දුබලතා නිසා වර්තමාන සමාජය තුළ පීඩාවිඳින ගොඩක් තරුණයන්ට එම ලිංගික දුබලතා මඟහරවා ගන්න කරන්න ඕන ක්‍රියාවන් ගැන මේ වාජීකරණ තන්ත්‍රයේ හොඳින් විස්තර කරලා තියෙනවා. එතකොට මේ සඳහා ප්‍රතිකාර කරන්න යොදා ගන්න ඖෂධ යෝග හදුන්වන්නෙත් වාජීකරණ ඖෂධ කියලයි

ඒ වුණාට වර්තමාන සමාජය තුළ අධික මුදලකට අලෙවි කරන වාජීකරණ ඖෂධවල නියමිත ඖෂධ යෝග තියෙනවද කියල සැක සහිතයි. මෙන්න මේ නිසා වාජීකරණ ගුණ යුක්ත නියම ඖෂධ ද්‍රව්‍ය නිවැරැදිව හඳුනා ගැනීම වැදගත්.

මේ වගේ නිවරැදි වාජීකරණ ඖෂධ විදියට අමුක්කරා... බිම්තල්... කිරිබදු අල... වදුරු මෑ... හාතාවාරිය අල... වැල්පෙනෙල ආදිය හදුන්වන්න පුළුවන්.

මේවා අතුරින් ඉතා වැදගත් වාජීකරණ ද්‍රව්‍යයක් විදියට බිම්තල් හඳුන්වන්න පුළුවන්.”

“සර්. එතකොට බිම්තල් කියන නම හැදිල තියෙන්නේ සංස්කෘත භාෂාවෙන් ද?”

“ඔව්... භූතාලී යන සංස්කෘත පදයෙන් බිඳී ආපු බිම්තල් යන නමෙන් තල්ගසක රූප ආකාරයෙන් බිම හටගන්නා යන අර්ථය ගෙන දෙනවා.”

භූධාත්‍රී (බිම්නෙල්ලි)..භූනිම්භ (බිම්කොහොඹ) ..භූලවංග (බිම්ඌරු) ආදි විදියට භූ ශබ්දය මුල් කොට සකස් වුණු නම්වලට බිම් යන පදය එකතු කරලා අර්ථ දක්වන්න දේශීය විද්වතුන් සමත් වෙලා තියෙනවා

ඒ වගේම තමයි ළමයි බිම්තල් ඖෂධීය වශයෙන් වැදගත් වෙනවා වගේම ආහාරයක් වශයෙන් භාවිත කරන්න ශ්‍රී ලංකාවේ ජනතාව පුරුදු වෙලා ඉන්නවා.

ගැමි ජනතාව බිම්තල් වාජීකරණ ඖෂධයක් විදියටත්, ශක්තිය ගෙන දෙන ආහාරයක් විදියටත් සකස් කර ප්‍රයෝජනයට ගන්න දන්නවා.

“සර් බිම්තල් වැවෙන්නෙ කොයි පළාත්වලද?”

“ළමයිනේ. විදේශීය වශයෙන් ගත්තාම

හිමාලය... පංජාබ්... ගුජරාටි... මධ්‍යම භාරතය ආදි අඩි 2500 දක්වා තෙත් පරිසර තත්ත්වයේ හොඳින් වැවෙනවා.

දේශීය වශයෙන් ගත්තාම ශ්‍රී ලංකාවේත් අඩි 2500 දක්වා තෙත් පරිසර තත්ත්වයේ හොඳින් වැවෙනවා.

ඒ වගේම බිම්තල්වල ස්වරූපය සැලකුවාම

බිම්තල් ආකන්දීය බහු වාර්ෂික පැළෑටියක්. එසේම මාංශල වූ පාර්ශවීය මුල් දරන කෙටි හෝ දික්වූ අලයක් සහිතයි. නටුවක් නොමැති හෝ කෙටි නටුවක් සහිත සරල පත්‍ර පොකුරු වශයෙන් කෙටි කඳේ හටගන්නවා. මේ පත්‍ර රේඛීය හෝ රේඛීය ලන්සාකාරයි. බොහෝ වෙලාවට පත්‍ර කෙළවරවල ආගන්තුක අංකුර හටගන්නවා. මේවායේ හටගන්නා මල් දීප්තිමත් කහ පාටයි. ඒ වගේම මේවායේ හටගන්නා ගෙඩි වල බීජ 1-4 දක්වා පවතිනවා. ඒ වගේම එම බීජ කළුපැහැතියි.

“එතකොට සර් බිම්තල්වලට කියන වෙනත් නම් මොනවාද?”

“ළමයි සිංහල භාෂාවෙන් බිංතල් කියනවා

සංස්කෘත භාෂාවෙන් මුෂලී...මුශලී..මූසලී.. භූතාලී... දීර්ඝකන්දිකා... තෙලමූලී... හේමපුෂ්පී යන නම් යෙදෙනවා

හින්දි භාෂාවෙන්

කාලිමුෂලී සහ සඵේද්මුෂලී යන නම් යෙදෙනවා.

දෙමළ භාෂාවෙන් කන්නිර්වට්ටංග යනුවෙන් යෙදෙනවා

ඉංග්‍රීසි භාෂාවෙන් Black Musale නම යෙදෙනවා

බිම්තල්වල උද්භිද විද්‍යාත්මක නාමය

Curuligo ochioidesgaerth යනුවෙන් යෙදෙනවා

ඒ වගේම බිම්තල් අයිති කුලය වන්නෙ

HYPOXIDACEAE  හෙවත් තෙලමූලී කුලයටයි. ඒ වගේම ළමයි බිම්තල්වල මුල් සහ අල ඖෂධ සඳහා ගනු ලබනවා.

එසේම බිම්තල් ප්‍රභේද 2ක් තියෙනවා.

සුදු බිම්තල් සහ කළු බිම්තල් වශයෙන්.”

“සර් එතකොට බිම්තල්වල අල කල් තියාගන්න පුළුවන් ද?”

“ඔව් ළමයි පුළුවන්...

හොඳින් මෝරපු බිම්තල් අල උගුලලා පිරිසුදු කරලා වේලලා භාජනවල අසුරලා කල් තබාගන්න පුළුවන්. ඒ වගේම ළමයි බිම්තල්වල ඖෂධීය ගුණ කර්ම සැලකුවාම

රසයෙන් මධුර සහ තික්තයි

ගුණයෙන් ගුරු සහ ස්නිග්ධයි.

වීර්‍යයෙන් උෂ්ණයි

විපාකයෙන් මධුරයි.

දෝෂ අනුව සැලකුවාම බිම්තල් තුන්දොස් සමන ගුණ යුතුයි. විශේෂයෙන් වාපිත් සමන ගුණ යුක්තයි. ඒ නිසා බිම්තල් තුන්දොසින් හටගත් රෝගවලට, විශේෂයෙන් වා පිත් රෝගවලට ගුණයි. ඒ වගේම බිම්තල් සෙම් රෝග සමනයට ගුණ දායකයි. එසේම බලකාරකයි. ඒ වගේම අර්ශස්, ලිංගික දුබලතා සහ ශාරීරික දුබලතා සඳහා හිතකරයි.”

“එතකොට සර් බිම්තල්වල ඖෂධ ප්‍රයෝගයන් කොහොමද?”

“ඔව් ළමයි බිම්තල් වෘෂ්‍ය ගුණයෙන් යුක්තයි. ඒ නිසා ශුක්‍ර මේහ සහ ලිංගික දුබලතාවලට යොදනු ලබනවා

ඒ වගේම කළු බිම්තල් මූත්‍ර මාර්ගය ආශ්‍රිතව හොඳින් ක්‍රියා කරනු ලබනවා. එනිසා මේ නිසා බිම්තල් මූත්‍ර කෘච්ජ්‍ර සහ ප්‍රමේහයේදී හොඳින් ක්‍රියා කරනු ලබනවා. ඒ වගේම බලකාරක, වෘංහන සහ රසායන ගුණ යුතුයි. මේ නිසා ශාරීරික දුබලතා සහ කෘශතාවයට යොදනු ලබනවා. ඒ වගේම ඉක්ෂුමේහයෙන් යුතු අයට පථ්‍ය වශයෙන්‍ යොදනු ලබනවා.

ඒ වගේම බිම්තල්වල ඖෂධීය අංග සහිත ඖෂධ යෝග රාශියක් තියෙනවා.

ඒ අතුරින්

මුහුණේ පැහැපත් බව ඇති වීමට

බිම්තල් අල එළුකිරිවලින් අඹරලා මුහුණේ ගානු ලබනවා.

ඒ වගේම ධාතු වර්ධනයට

බිම්තල් අල චූර්ණය කිරි සමඟ පානය හොඳයි

මේ සමඟ ආහාරයට මෝරු එකතුකර ගැනීමත් හොඳයි .

ඒ වගේම ආක්ෂේප... හදවත් වේදනා... මූල රෝග... කිලාස... ප්‍රමේහ සහ ව්‍රණ(තුවාල ) ආදියට බිම්තල් අල චූර්ණය සීනි සමඟ යොදනු ලබනවා. එසේම පැරැණි වාත රෝග, අස්ථි දිරායාම්, ප්‍රමේහ සහ ශාරීරික දුබලතාවලට

බිම්තල් අල චූර්ණය, රසකිද පිටි, හාතාවාරිය අල සමව අර ගෙන සීනි මිශ්‍ර කරලා එළකිරි හෝ ගිතෙල් සමඟ දෙන්න පුළුවන්.

තව... බිම්තල් අඩංගු සංස්කාරික ඖෂධත් කිහිපයක් තියෙනවා.

සිද්ධජීවාමෘතය, බිංතල් අල චූර්ණය, බිම්තල් අල ක්වාථය, අශ්වගන්ධාරිෂ්ඨය, සරස්වතී මෝදකය ආදි වශයෙන්...

ඒ වගේම ජාගල්‍යාදී ඍතයෙත් බිම්තල් අඩංගුයි. ඉතින් ළමයිනේ බිම්තල් කියන්නේ ඉතා වටිනා ඖෂධීය වශයෙන් විශිෂ්ට ගුණ ගෙන දෙන ද්‍රව්‍යයයක්.

එසේම ආහාරමය වශයෙන් බිම්තල් අලවලින් විශිෂ්ට ගුණ ලබා දෙනවා.

ඉතින් ළමයිනේ... බිම්තල් කියන්නේ ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙනුත් අගනා වටිනා ගුණ දෙන ඔසුවක්.

එහෙනම් අපි අද පාඩමට යමු නේද දෑන්?”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.