වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ලිංගික දුබලතා නසන සප්ත ධාතු වඩන උඳු
තරුණ ආයුර්වේද වෛද්‍යවරයකු වූ අනිල් තම යහළුවෙකු වන නලින් සමඟ සංචාරයක් සඳහා දුම්රියෙන් යාපනය බලා ගියේ නිවාඩු දින තුනක් එකට යෙදී තිබීම හේතුවෙනි. සවස් වන විට යාපනයට පැමිණි ඔවුන් දෙදෙනා මුලින්ම
කළේ කලින් වෙන්කරගෙන තිබූ හෝටල් කාමරය වෙත යාමයි.
එහි තම ගමන් මලු තැබූ ඔවුන් දෙදෙන මුලින්ම හොඳහැටි නා ගත්තේය. ඉන්පසු පැයක් පමණ නිදාගත්තේ ගමනේ අධික වෙහෙසකර බව නිසයි. නැගිට හැද පැලඳ නගරයට ගියේ ඇති වූ අධික බඩගින්න නිසාය. නගරයට පැමිණි ඔවුන් ආහාර ගැනීමට හෝටලයකට ගොස් වාඩිවිය. දෙමළ මිනිසුන් බොහෝමයක් හෝටලය තුළ ආහාර ගනිමින් සිටිය අතර බොහෝ දෙනා තෝසෙ කමින් සිටියහ.
අපිත් තෝසෙ කමු “ යැයි අනිල් නලින්ගෙන් විමසූ විට ඔහු හිස සලා එය අනුමත කළේය. අපිට තෝසෙ ගේන්න යැයි එතැනට ආ වේටර් වරයකුට අනිල් පැවසූ අතර වහා ඔහු විසින් තෝසේ සහ සාම්බාරු ඔවුන් වෙත ලබා දුනි. තෝසෙ අහාරයට ගන්නා අතර නලින් කීවේ මෙහේ තෝසෙ හරි රසයි යනුවෙනි. එවිට අනිල් පැවසුවේ රස වගේම හරි ගුණයි කියාය.
එවිට නලින් තෝසෙ එච්චර ගුණද මොනවයින්ද තෝසෙ හදන්නෙ යනුවෙන් අනිල් ගෙන් විමසීය. ඔව් තෝසෙ ඉතාම ගුණ කෑමක්. තෝසෙ හදන්නෙ උඳු පිටිවලින්. උඳු කියන්නෙ ඉතාම ගුණදායක ධාන්‍ය වර්ගයක්.යනුවෙන් අනිල් පැවසීය. උඳු මොනවගේ දෙයක්ද. එවා මොනවටද වැඩියෙන් හොඳ යනුවෙන් නලින් නැවත විමසූ අතර එවිට අනිල් කීවේ ඒ ගැන මම ඔයාට හොඳ විස්තරයක් කරන්නම්. දැන් අපි කාල එළියට යමු. ඇවිදින ගමන් මම ඒ ගැන කියන්නම් යනුවෙන් පවසා තෝසෙ කෑමට පටන් ගත්තේය.
කඩයෙන් පිටතට පැමිණි ඔවුන් දෙදෙනා හෙමින් ඇවිදගෙන යාපනය කොටුව දෙසට ගමන් කළහ. එවිට නලින් අනිල්ගෙන් ඇසුවේ උඳු ගැන තොරතුරු දැන් කියන්න “ කියායි.
ඔව්, උඳු කියන්නේ අගනා ඖෂධාහාරයක්. ආහාරයක් විදියට තෝසේ, වඩේ, ඉඩිලි, ආදී කෑම වර්ග කිහිපයක්ම සකස් කරනවා. ඒවගේම ඖෂධයක් විදියට උඳු ඇට කෂාය, තෙල්, චූර්ණ ආදියට යොදාගනු ලබනවා යනුවෙන් උඳු ගැන විස්තර කිරීම අනිල් විසින් ආරම්භ කළේය.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ලිංගික ශක්තිය පිළිබඳ කියැවෙන වාජීකරණ තන්ත්‍රයේ ගනු ලබන ආහාර සහ ඖෂධ අතර උඳුවලට ලැබෙන්නේ ඉතා වැදගත් තැනක්. ශරීරයේ ස්නායු දුර්වලතා, සප්තධාතු දුර්වලතා ආදියේදි බලය, ශක්තිය, වර්ධනය කරන ඔසුවක් විදියට උඳු යොදා ගනු ලබනවා. ඒ වගේම උඳුවලින් හදන ඖෂධත් බොහෝ තියෙනවා යනුවෙන් උඳු ගැන අනිල් තවත් තොරතුරු ඉදිරිපත් කළේය.
එතකොට උඳු ලංකාවේ හැදෙනවද? යැයි නලින් නැවත ඇසූවිට අනිල් පැවසුවේ, ඔව් ලංකාවෙ වැවෙනවා. ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශවල වවනු ලබනවා. විශේෂයෙන් පහතරට තෙත් කලාපය උඳු වගාවට විශේෂයි. විශේෂයෙන් හේන් වගාවේදී අතුරු භෝගයක් වශයෙන් ප්‍රසිද්ධයි.
ඒ වගේම ඉන්දියාවෙත් නොයෙක් ප්‍රදේශවල වවනු ලබනවා. ඒ වගේම ඉන්දියාවේ වාසය කරන බොහෝ දෙනෙක් බහුල වශයෙන් විවිධ ආහාර සඳහා එක්කර ගනු ලබනවා යැයි කීය.
එතකොට උඳු පැළෑටිය මොන වගේද. යනුවෙන් නලින් නැවත විමසන විට ඊට පිළිතුරු දුන් අනිල් කීවේ උඳු යනු මුංවලට සමානව වැඩෙන් පැළෑටියක් බවයි. එසේම එය සෙ.මි.30 සිට 60 අතර උසකින් යුතු බවත් මෙම පැළෑටියේ පත්‍ර මුං පත්‍රවල ආකාරයටම එක නටුවකට පත්‍ර 3ක් තිබෙන බවත් මේ පැළෑටියේ කඳ පුරාම බූව පවතින බවත්ය. පැළෑටියේ සෑදෙන මල් කහ පැහැ බවත් කරල් සෙ.මි. 5ක් පමණ දිගින් යුතු බවත් කරල් පුරාම බූව ඇති බවත් ඔහු විස්තර කළේය.
එතකොට අනිල් උඳු හඳුන්වන වෙනත් නම් මොනවද? නලින් එසේ ඇසූවිට එයට පිළිතුරු දුන් අනිල් කීවේ සංස්කෘත භාෂාවෙන් මාෂ යනුවෙන් ද හින්දි බසින් උරිද් සහ උර්ද් යනුවෙන්ද හඳුන්වනු ලබන බවත් වංග බසින් මාෂ කලාය යනුවෙන් සහ දෙමළ බසින් උළුදු ලෙස හඳුන්වනු ලබන බවත්ය.
එසේම උඳුවල උද්භිද විද්‍යාත්මක නාම Phasedus Mungo Linn සහ Vigna Mungo වන අතර කුලය LEGUMINOSEAE හෙවත් ශිම්බී කුලයයි. ඒ වගේම ඉංග්‍රිසි බසින් උඳුවලට කියන්නේ Black gram කියලයි.
එතකොට අනිල් වෛද්‍යතුමෝ මේ උඳු ආහාරමය වශයෙන් වැදගත් වෙන්නේ කොහොමද?
ඔව් නලින් හොඳ ප්‍රශ්නයක් ඔයා ඇහැව්වේ. උඳු ලංකාවටත් වඩා ඉන්දියාවේ ආහාර විදියට ගන්නවා. විශේෂයෙන් තෝසෙ, උළුඳු වඩේ, උඳු වැල් වගේ ආහාර ඉන්දියාවේ බහුල වශයෙන් ආහාරයට ගනු ලබනවා.
මේ ආහාර සඳහා ඉන්දියාවේ වෙනත් නාමයන් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් ඉන්දියාවේ තල උඳු සහ ගිතෙල් තමයි බහුල වශයෙන් ආහාර සඳහා යොදා ගනු ලබන්නේ.
ලංකාවෙත් සෑම නගරයකම පාහේ සයිවර් කඩ තියෙනවා. ඒවායින් බොහෝදෙනා තෝසෙ, වඩේ, ඉඩ්ලි ආහාරයට ගන්නවා. ඒ වගේම උඳු වැල්, උඳු පිටි කැඳ ආදියත්. ජනපි‍්‍රය ආහාර වර්ග. ඒවා බොහෝවිට නිවසේදිම සාදා ගනු ලබනවා. ඒ සඳහා අවශ්‍ය උඳු පිටි වෙළෙඳ පොළේ තියෙනවා. ඒවගේම කොළඹ වගේ නගරවල ඉන්දියන් රස කැවිලි කඩ බොහෝ සෙයින් තියෙනවා. ඒවායේ උඳු වලින් සාදපු රස කැවිලි බොහෝමයක්ම තියෙනවා යනුවෙන් අනිල් උඳු ගැන තවත් විස්තර නලින් වෙත ගෙනහැර දැක්වීය.
එතකොට උඳුවල මොන පෝෂ්‍ය පදාර්ථද වැඩිපුර තියෙන්නෙ උඳු කියන්නෙ ධාන්‍ය වර්ගයක්. ඒ නිසා කාබෝහයිඩ්‍රේට් වැඩිපුර තියෙන්නෙ යනුවෙන් පැවසූ අනිල් ඒ පිළිබඳව අන්තර් ජාලයෙන් තොරතුරු දක්වමින්
පේනවා නේද උඳු කියන්නෙ ඉතාමත් පෝෂ්‍යදායක ධාන්‍ය වර්ගයක් යැයි නලින් වෙත පෙන්වීය. එතකොට උඳු ඖෂධීය වශයෙන් කොහොමද වැදගත් වෙන්නෙ යනුවෙන් නලින් නැවත අනිල් ගෙන් ඇසීය.
එවිට අනිල් කීවේ උඳු පක්ෂාඝාත වැනි වාත රෝගවලට ඉතා විශිෂ්ට ඔසුවක් බවයි. එසේම ස්නායු දුබලතා, සප්ත ධාතු දුබලතා ආදියට අතිශයින් ගුණ ගෙන දෙන ඔසුවක් බවද ලිංගික දුබලතා සඳහා ද විශේෂයෙන් ගුණදායක බවද කීය.
පක්ෂාඝාත ඇතුළු වාත රෝගවලට දශමූල, බැබිල, උඳු කෂාය ඉතා ගුණදායක බවද ලිංගික දුබලතා සඳහා ගිතෙල් යොදා පිසූ හැටදා සහල් බත උදු හොද්ද සමඟ කා කිරි බීම ඉතා සුදුසු බවද කීය.
එසේම ශරීරයේ වියළි බව නැසුමට අමුක්කරා, උඳු, තල චූර්ණය මී පැණි සහ ගිතෙල් සමඟ ලේහය ඉතා ගුණදායක බවද කීය. ඒ වගේම උඳු අඩංගු තවත් ඖෂධ කිහිපයක්ම සංස්කාරික ඖෂධ වශයෙන් ගන්න පුළුවන්.
ඒ අතර මාෂ බලා ක්වාථයාෂාත්ම ගුප්තාදී ක්වාථය, මාෂාදී චූර්ණය, මහාමාෂ තෛලය, මාෂ තෛලය ආදිය ප්‍රධානයි. මේ අතරින් මහාමාෂ තෛලය, පක්ෂාඝාත රෝගයේදි ගෑමට, බීමට සහ නශ්‍ය කිරීමට ඉතා හොඳ තෙලක්. ඒ වගේම ස්නායු ප්‍රකෘතිමත් කරන්න ඉතාම හොඳ තෙලක් යනුවෙන් අනිල් විසින් උඳුවල ගුණාගුණ තවතවත් ගෙනහැර දැක්වීය.
එතකොට අනිල් උඳු කියන්නෙ ඉතා විශිෂ්ට ඖෂධයක් නේ. ශක්තිය, බලය වඩන දිව්‍ය ඖෂධයක් නේ. ඔව් නලින් උඳු කියන්නෙ ඉතාමත් හොඳ ඖෂධාහාරයක්. මේ වගේ ධාන්‍ය වර්ග ආහාරයට අරගෙන තමයි අතීතයේ අපේ මුතුන් මිත්තෝ ලොකුලොකු වැඩ කළේ. වැඩි වැඩියෙන් දරුවන් හැදුවේ. ඒ නිසා උඳු වගේ ධාන්‍ය නිතර ආහාරයට ගත්තොත් නිරෝගී බව වගේම ශරීරි ශක්තියත් ලැබෙනවා යැයි කියමින් උඳු පිළිබඳව අනිල් කල විස්තරය නිමා කළේය.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන