පණු රෝග නසන වලඟසාල්

ජූලි 28, 2023

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරියෙකු වූ ජගත් මහතා තම රාජකාරි ප්‍රදේශයේ මවුවරුන් සඳහා පණුරෝග පිළිබඳව දේශනයක් සංවිධානය කළේය. ඒම දේශනය සඳහා මව්වරු 60ක් පමණ සහභාගිවී සිටියහ. පැමිණිලා ඉන්න ඔයගොල්ලො සියලුම දෙනා මම ඉතා ආදරයෙන් පිළිගන්නවා. මම ඔයගොල්ලන් කැඳෙව්වෙ කුඩා දරුවන්ට වැලඳෙන පණු අමාරුවලට අපි කළ යුත්තේ මොනවගේ ප්‍රතිකාරද කියල තේරුම් කරල දෙන්නයි යනුවෙන් පවසමින් ජගත් මහතා සකච්ඡාව ආරම්භ කළේය.

මම මුලින්ම අහන්නම් ඔයගොල්ලගෙන් ප්‍රශ්නයක්.

ඔයගොල්ලොන්ගෙ ළමයින්ට හැදෙන පණු අමරු මොනවද?

එවිට මව්වරු අතරින් විවිධ පිළිතුරු ඉදිරිපත් විය. එක් අයෙක් කිරිපණු අමාරුව යැයි පැවසූ අතර තව අයකු කීවේ කොකු පණු රෝගය යනුවෙනි.

එවිට ජගත් මහතා කීවේ ඔව් ඒවා තමයි වැඩිපුර ඇති පණු රෝග. ඒ වගේම තවත් රෝග කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම ළමයින්ට වගේම වැඩිහිටියන්ට සෑදෙන පණු අමාරු කිහිපයක්ම තියෙනවා. කිරි පණු රෝගය, කොකුපණු රෝගය, පටිපණු රෝගය, වටපණු රෝගය, කස පණු රෝගය, ආදී වශයෙන්. ඒවා හැදෙන්නෙ කිරිපණුවා, කොකු පණුවා, පටිපණුවා, වටපණුවා, කසපණුවා ආදී පණුවන්ගෙන් යනුවෙන් ජගත් මහතා පණුවන් සහ ඔවුන්ගෙන් හැදෙන පණුරෝග ගැන හැඳීන්වීමක් කළේය.

නැවතත් කථාව ඇරඹූ ජගත් මහතා කීවේ මේ පණුරෝග සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර රැසක් ඇති බවයි.

ආයුර්වේද වෙදකමේ මේ පණු අමාරුවලට හොඳ බේත් තියෙනවා. ඒ වගේම ඔය අම්මලත් මේවට දෙන අත් බේත් වර්ග තියෙනව නේද? මොනවද ඔයගොල්ලො පණු අමාරුවලට දෙන අත්බේත් වර්ග යනුවෙන් ඔහු මව්වරුන්ගෙන් විමසීය.

එවිට නැඟීසිටි මවක් කීවේ එරබදු දලු මැල්ලුමමේ සඳහා ඉතා හොඳ බවයි.

තවත් මවක් කීවේ වලඟසාල් සහ ගොටුදඩු තම්බා දීමෙන් පණු අමාරු සුව වන බවයි.

තවත් මවක් කියා සිටියේ වලඟසාල කුඩුකර තම්බා බීමද ඉතා හොඳ බවයි. මෙසේ මව්වරුන් විස්තර කරන විට ජගත් මහතා ප්‍රකාශ කළේ වලඟසාල ඇති බේත් පණු අමාරුවලට ඉතා ගුණදායක බවයි.

වලඟසාල් කියන්නේ පණු අමාරුවලට හොඳම බේතක්. ආයුර්වේදයේ පණු අමාරු සදහා සාදන බොහෝ බේත්වල වලඟසාල අඩංගු වනවා. යනුවෙන් ජගත් මහතා කීය.

රැස්වීමේ සිටි මවක් විමසා සිටියේ වලඟසාල් පණු අමාරු වලට විශේෂ ගුණ සහිත දෙයක්ද කියායි. ඔව්. වලඟසාල් කියන්නෙ පණුඅමාරු වලදි නැතුවම බැරි දෙයක්. වලඟසාල් අඩංගු බේත් රාශියක් පණුඅමාරුවලට ගන්නවා. යනුවෙන් ජගත් මහතා පවසන විට තවත් මවක් විමසා සිටියේ වලඟසාල් ලංකාවේ සෑදෙන දෙයක්ද? යනුවෙනි.

ඔව්. ලංකාවෙත් මෙය හැදෙනවා යනුවෙන් කී ජගත් මහතා මම ඔය ගොල්ලන්ට වලඟසාල් ගැන විස්තර කියන්නම් යැයි පවසා ඒ ගැන විස්තර කීරීමට පටන් ගත්තේය.

මම හිතන්නෙ මෙතැන ඉන්න ගොඩක් දෙනා වලඟසාල් දැකල තියෙනවා. ඒ වගේම ළමයින්ට දීලත් ඇති. වලඟසාල් කියන්නෙ පණුරෝග සඳහා යොදන විශිෂ්ටතම ඔසුවක්. මේවා හැදෙන්නෙ ශ්‍රී ලංකාවෙ මීටර් 500 දක්වා උස තෙත් කලාපීය ප්‍රදේශවල වලපනේ, රත්නපුර ආදී ප්‍රදේශවල විශේෂයෙන් දකින්න ලැබෙනවා. විදේශීය වශයෙන් ඉන්දියාවෙ නොයෙක් පර්වතීය ප්‍රදේශවල දක්නට ලැබෙනවා. විශේෂයෙන් මධ්‍ය හිමාලය ප්‍රදේශයේ දකින්න ලැබෙනවා. ඒවගේම සිංගප්පූරුව, මියැන්මාරය ආදී රටවලත් බහුල වශයෙන් දක්නට ලැබෙනවා යනුවෙන් ජගත් මහතා විස්තර කළේය.

එවිට නැඟීසිටි තවත් මවක් මහත්තයෝ වලඟසාල් කොයි විදියෙ පැලෑටියක්ද කියල කියන්නකො. සමහර විට අපේ පළතෙත් තියේද කියල බලන්න පුළුවන් යැයි ජගත් මහතාගෙන් විමසා සිටියේය.

සමහරවිට මේ පළාතෙත් තියෙන්න පුළුවන්. මේ ගහ තරමක් විශාල පොළොවෙ පැතිරෙමින් වැඩෙන විශාල පඳුරු සහිත ගසක්. මේ ගසේ කඳ දුඹුරු පාටයි. පොත්ත ඝනකම්. මේ ගස්වල අතු සිහින් සහ දිගයි. සාමාන්‍යයෙන් ආරුක්කු වගේ අතු හැදිල තියෙන්නෙ. මේ ශාකවල අතු සෙ.මි. 10 ක් විතර දිගයි. සුමටයි. පත්‍ර වල උඩ පැත්ත ඔපයක් සහිතයි. යට පැත්ත රිදී පාටයි. ස්වල්ප වශයෙන් ගැට සහිතයි. මේවායේ හටගන්නා මල් සුදු පාටයි. ඒ වාගේම ගම්මිරිස් ඇටවලට සමාන ගෙඩි හටගනු ලබනවා. මෙම ගෙඩි වියළුණාට පස්සෙ රන්වන් රතු පාටයි. මේවායෙ පොත්ත ඉවත් කළාම මදය සුදු කළු මිශ්‍ර පාටක් ගන්නවා.

සුදු කළු මිශ්‍ර පාටක් යනුවෙන් ජගත් මහතා වලඟසාල් ගැන හොඳ විස්තරයක් ඉදිරිපත් කළේය.

එතකොට වලඟසාල් හඳුන්වන වෙනත් නම් තියෙනවද? යනුවෙන් තවත් මවක් ජගත් මහතාගෙන් ඇසීය.

එවිට ජගත් මහතා කියා සිටියේ වෙනත් නම් කිහිපයක් ඇති බවයි. වලඟසාල්වලට සිංහල භාෂාවෙන් වලඟසාල් හා වල් ඇඹිල්ල යන නම් යෙදෙන අතර සංස්කෘත භාෂාවෙන් විඩංග, කෘමිග්න වේල්ල, චිත්‍ර කණ්ඩුලා, ජන්තුනාශක, චිත්‍රබීජ, අමෝඝා ආදී නම් යෙදෙනවා. ඒ වගේම හින්දි භාෂාවෙන් වායුවිඩංග කියල යෙදෙනවා.

දෙමළ භාෂාවෙන් කියන්නේ වායු විලාමගම් කියල.

එතකොට වලගසාල්වල උද්භීද විද්‍යාත්මක නාමය

Embelia ribs Burm. F.S.L  වන අතර කුලය වන්නේ MYRSINACEAE  කුලයයි.

මෙම විස්තරය අසා සිටි මවක් විමසා සිටියේ වලඟසාල්වල කුමන කොටස් ඖෂධ පිණිස ගනු ලබන්නේද යන්නයි. ඒ සඳහා පිළිතුරු දුන් ජගත් මහතා පැවසුවේ වලගසාල් බීජ ඖෂධ පිණිස ගනු ලබන බවයි.

එතකොට මහත්තයෝ මොනවද වලඟසාල් තියෙන බේත් වර්ග. ඒවා ගැනත් විස්තර කරන්නකෝ යනුවෙන් තවත් මවක් ජගත් මහතාගෙන් විමසනු ලැබූ අතර ජගත් මහතා එයට පිළිතුරු දෙමින්,

වලඟසාල් අඩංගු බේත් වර්ග රාශියක්ම තියෙනවා. ඒවා ගැන දැන ගන්න එක ඔයගොල්ලොන්ට හුඟක් ප්‍රයෝජනවත් වේවි. යැයි පැවැසීය.

ඒවායින් ප්‍රධානම එකක් තමයි වලඟසාල්. ගොටුදඩු කෂාය. මේ කෂාය කුඩා අයට වගේම වැඩිහිටි අයටත් ඕනෑම පණු රෝගයකට දෙන්න පුළුවන්.යනුවෙන් ජගත් මහතා වලඟසාල් අඩංගු බේත් ගැන කියන්නට විය

එසේම වලඟසාල් කුඩුකර කොටා මී පැණියෙන් ලේහ කිරීමෙන් ළමයින්ට පණුවන් නිසා ඇතිවන වමනය සුව වෙනවා. ඒ වගේම වලඟසාල් බැඳ කුඩුකර සාදාගත් කෂායද පණුවන් නසන හොඳ ඖෂධයක් එසේම ගොටුකොළ නැටි වලඟසාල් සමඟ තම්බා පානය ද පණු රෝග නැසීමට ඉතා හොඳයි.

කුඹුරු ඇටමද, සුදුළූණු, අරලු, වලඟසාල්, කොහොඹ නැටි, කලුදුරු, එළබටුමුල්, කටුවැල්බටු කෂාය පණුරෝග සඳහා ඇති හොඳම කෂායයි. පණුඅමාරුවලට අමතරව තවත් රෝග කිහිපයකටම වලඟසාල් ඉතා හොඳයි. පීනස් රෝගයට, ගොටුදඬු, සුදුළුනු, වලඟසාල්, ඉඟුරුපියලි කෂාය ඉතා ගුණයි.

ඒ වගේම ගොටුදඩු අරලු වලඟසාල් සිවිය කෂායත් පීනසට හොඳයි. ඒ වගේම ලේ යන පීනසට ගොටුකොළ කලං 6 යි.තිප්පිලි, වලඟසාල්, ඉඟුරු පියලි කලං 2 බැගින් කෂාය ඉතා හොඳයි. ඒ වගේම සියඹලා නැටි, අරලු, පෙති පුවක්, වලඟසාල්, තම්බා බීම පණුවන් නැසීමට ඉතා හොඳයි.

මේ වගේ ඖෂධ රාශියක් වල්ඟසාල් යොදා රෝග රැසකට යොදනවා. යනුවෙන් ජගත් මහතා මව්වරුන්ට පෙන්වා දුන්නේය. ඒ අවස්ථාවේ තවත් මවක් නැඟීසිට විමසා සිටියේ වලඟසාල් යොදා සකස් කල ඖෂධ වර්ග වෙළෙඳ පොළේ පවතීද යන්නයි. එසේ ඇත්නම් ඒවා පාවිච්චිය වඩා පහසු බවත් ඇය පැවසීය. එයට පිළිතුරු දුන් ජගත් මහතා කීවේ එවන් සකස් කළ ඖෂධ වර්ග කිහිපයක්ම ඇති බවයි. ඒවා නම් විඩංගාසවය, විඩංගාරිෂ්ඨය, විඩංගාදී චූර්ණය, විඩංගාදී ලෞහ ආදියයි.

මෙම ඖෂධ වැඩි වශයෙන් ගනු ලබන්නේ පණු රෝග සමනය සඳහායි යනුවෙන් වලඟසාල් ගැන සියලු තොරතුරු ජගත් මහතා විසින් එම මවුවරුන්ට පහදන ලදී. අවසාන වශයෙන් ජගත් මහතා කියා සිටියේ පණු රෝග සහ ඒවාට වලඟසාල් අඩංගු ඖෂධ යෙදීම පිළිබඳ කරුණු රාශියක් ඔබ වෙත ඉදිරිපත් කළ බවත් ඒවා ගැන කිසියම් ගැටලුවක් ඇත්නම් ඒ ගැන කරුණු ඉදිරිපත් කරන ලෙසත්ය. කිසිම ගැටලුවක් ඉදිරිපත් නොවූයෙන් ජගත් මහතා රැස්වීමේ වැඩ කටයුතු අවසන් කළේය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.