සෙම් රෝග නසන වෙදමාතා

ජූලි 21, 2023

වෙද මහතා සුපුරුදු ලෙස බෙහෙත් ශාලාවේ සිටින විට කුඩා දියණියක් සමග මවක් එහි පැමිණියාය.

ඇයි මොකද දරුවනේ බෙහෙත් ගන්නද? කවුද ලෙඩා යනුවෙන් වෙදමහතා විමසන විට අනේ වෙද මහත්තයෝ මේ මගේ දුවට දැන් ටික දවසක ඉඳල තද සෙම් ගතියක් තියෙනවා. පස් පංගුවත් තම්බලා දුන්නා. ඒත් අඩුවක් නෑ. ඒ නිසා බෙත් ටිකක් ගන්න ආවේ යැයි මව පැවසීය.

සෙම ගතිය විතරද? කැස්සත් තියෙනවද? හතිය නැද්ද? යනුවෙන් වෙද මහතා ඇසූවිට ඇය කීවේ රෑට කැස්ස ටිකක් වැඩිපුර තියෙනවා. හතිය නම් අඩුයි කියායි.

අනේ වෙද මහත්තයෝ මේ අවුරුද්දෙ අන්තිමට විභාගෙත් තියෙනවා. ඒ නිසා දැම්මම ලෙඩ සනීප කර ගන්න ඕන. ඒ නිසා හොද බේතක් දෙන්න යැයි මව නැවත වෙද මහතාගෙන් ඉල්ලීය.

ඔය ලෙඩේට වැඩිපුර බේත් ඕන නැහැ. හොඳම බේත පාවට්ටා. පාවට්ටා පැණිය බිව්ව නම් ඔය සෙම් ගතිය ඉක්මනටම නැතිවෙලා යාවි යනුවෙන් වෙද මහතා පැවසූ විට පාවට්ටා එච්චරටම හොඳ බේතක්දැයි විමසීය.

ඔව් ඔව් පාවට්ටා කියන්නෙ සෙම අමාරුවලට ඉතාමත් ගුණ බේතක් ඒ වගේම හතිය, කැස්ස, ඉක්මනටම අඩුවෙලා යාවි. ඒ නිසා මේ ළමයට ගුණම පාවට්ටා යනුවෙන් පාවට්ටාවල ගුණ ගැන වෙද මහතා පැවසීය.

මොනවද වෙද මහත්තයෝ පාවට්ටාවලට කියන වෙනත් නම් යනුවෙන් මව විමසන විට වෙද මහතා කීවේ පාවට්ටාවලට නම් කිහිපයක්ම ඇති බවයි.

වංඇපල, අගල් ආධාර, වැටහිර, ආඩතෝඩා වගේ නම් කිහිපයක්ම පාවට්ටාවලට යෙදෙනවා. ඒ වගේම වෙද මාතා කියල ආයුර්වේදයේ හඳුන්වන්නෙත් පාවට්ටමයි.

ඒ වගේම සංස්කෘත භාෂාවෙන් වාසක, වාසා, වාසිකා, සිංහමුඛී, සිංහස්‍යා, වෘෂ, වෛද්‍යමාතා ආදී නම් රැසක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ර්චතචඡචප දභබ යනුවෙන් හඳුන්වනවා. ඒ වගේම දෙමළ භාෂාවෙන් ආඩතෝඩා නම යෙදෙනවා. පාවට්ටා වල උද්භීද විද්‍යාත්මක නාමය බ්භඵබඪජඪච චඤඩචබධඤච වන අතර කුලය වන්නේ ඒඛ්ඒව්ඊඩ්ඒඛ්ඡ්ඒඡ් කුලයයි.යනුවෙන් වෙද මහතා පාවට්ටා ගැන තොරතුරු රාශියක් කීය.

එතකොට පාවට්ටා හැම තැනම හැදෙනවද? යනුවෙන් මව නැවත විමසන විට වෙද මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල ශාකයක් වන මෙය ඉන්දියාවේ සහ නේපාලයේද වැවෙන බවයි. එසේම මේ ශාකය මීටර් 4 ක් 5 ක් පමණ උසට වැවෙන පඳුරුමය ශාකයක් බවත් තද කොළ පැහැති විශාල සරල පත්‍රවලින් යුක්ත බවත් පැවසීය.

එම පත්‍ර දික් වූ ඊතල හැඩැති ආකාරයකින් යුතු බවද කඳේ ඇතුළු පැත්තට හට ගන්නා ඉහළට විහිදුණු අතු රාශියකින් යුතු බවත් කීය. තවද විශාල නාලාකාර සුදු මල් පොකුරු හටගනු ලබන බවත් මේවා ළපටි කාලයේම රවුම් කොළපාට පත්‍ර වැනි කොටස්වලින් වැසීයන බවද පැවසීය.

විශේෂයෙන් මල් හටගනු ලබන්නේ දෙසැම්බර් මාසයේදී බවද මේ ශාකයේ හටගනු ලබන පැලෙන සුලු ගෙඩි තුළ බීජ 4ක් 5ක් පමණ ඇති බවද වෙද මහතා පැවසීය. එසේම පාවට්ටා කොළ හොඳ පොහොරක් බවද එළුවන් ආහාරයට නොගන්නා එකම දල්ල පාවට්ටා දල්ල බවත් පැවසීය.

එතකොට වෙද මහත්තයෝ පාවට්ටාවල පංචාංගයම බේත්වලට ගන්නවදැයි මව නැවත ඇසූ විට ඔව් ඔව් පාවට්ටා පංචාංගයම බේත්වලට ගන්නවා. කෂාය, පාණ්ඨ, රසායන, ක්වාථ පැණි, අවලේහ වගේ ගොඩක් බේත් වර්ග පාවට්ටාවලින් හදනවා යැයිද වෙද මහතා කීය.

එතකොට ඒ බේත් වර්ග මොන මොන රෝගවලටද හොඳ එහෙම නැති නම් සෙමට විතරද ගුණ. ඒවා යොදන්නෙ මොන ආකාරයටද යැයි ඒ මව විසින් වෙද මහතාගෙන් නැවත විමසීය.

සෙමට තමයි ප්‍රධාන වශයෙන්ම ගුණ. ඊට අමතරව තවත් රෝග රාශියකට ගුණයි.

විශේෂයෙන්ම ශ්වසන පද්ධතියේ සෙම දිය කරනවා. ඒ වගේම ශ්වාස නාළිකා පළල් කරනවා. ක්ෂය රෝගයට ගුණයි. මූත්‍ර දැවිල්ලට ඉතා ගුණදායකයි.

අධිකව සෙම සහ හතිය ඇති අයට පාවට්ටා ගසේ පංචාංගය සිහින්ව කොටා කෙහෙල් කොළයක බැඳ වතුර නොයන ලෙස පොළොව යට වළදමා සතියකට පසු ගොඩ ගෙන පවනේ වියළා කුඩුකර ගෙන උදේ සවස තේ මෙන් පානය ඉතා ගුණයි. සාමාන්‍ය කැස්සට පාවට්ටා කොළ තම්බා ගත් වතුර නිවුණු පසු මී පැණි දමා බීම ඉතා ගුණයි.

ඒවාගේම පාවට්ටා කොළ වේලා කුඩුකර එම කුඩු කොළයක ඔතා දුම් උරා බීම ඇදුම රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.

සෙම් රෝගවලට අමතරව අනෙකුත් රෝගවලටත් පාවට්ටා මේ විදියට යොදන්න පුළුවන් යැයි පැවසූ වෙද මහතා එ්වාද මෙසේ විස්තර කළේය.

අලුත ඇතිවුණු තුවාලයකට පාවට්ටා කොළ අඹරලා ගෑමෙන් ඉක්මනින් සුවය ලැබෙනවා.

අතීසාරය වැනි අවස්ථාවල ක්ෂණිකවම පාවට්ටා කොළ කොටා මිරිකා යුෂ බීමත් අතිශයින්ම ගුණදායකයි. කුෂ්ඨවලදී පාවට්ටා දලු අමුකහ සමග අඹරා ආලේප කිරීමත් ඉතා හොඳයි.

සන්ධි රෝග වලදි තැවිලි සදහා නික කොළ, පාවට්ටා කොළ, අමු ඉඟුරු, සුදුලූනු තැවිල්ල ඉතා හොඳයි.

අර්ශස් රෝගයේදී, පාවට්ටා පස් පංගුව පොට්ටනි සාදා වණ්ඩුවේ තම්බා තැවීම ඉතා හොඳයි.

ඒවගේම මූත්‍රා දැවිල්ලට සහ අපහසුවෙන් මූත්‍රා පිට කිරීමට පාවට්ටා මල් චූර්ණය තම්බා බීම ඉතා ගුණයි.

එසේම අම්ල පිත්ත රෝගයට පාවට්ටා පංචාංගයෙන් සකස් කළ කෂාය හෝ යුෂ සීනි හෝ මීපැණි දමා බීම ඉතාමත් හොඳයි යනුවෙන් වෙද මහතා පාවට්ටාවල තිබෙන අගනා ගුණ තවදුරටත් පැහැදිලි කළේය.

එතකොට වෙද මහත්තයෝ පාවට්ටාවලින් හදපු බේත් වර්ගත් බේත් සාප්පුවල ගන්න තියෙනවද? යනුවෙන් එම මව නැවත ඇසීය.

එවිට වෙද මහතා ඔව් පාවට්ටා තල් සූකිරි පැණිය, වාසක පැණිය, වාසාමධු පාණ්ඨය, වාසාවලේහය, වාසාරිෂ්ඨය, වාසා ඝෘතය ආදී බේත් රාශියක්ම නිෂ්පාදිත ඖෂධ විදියට තියෙනවා. මේ සියල්ලම වගේ සෙම් රෝගවලට තමයි විශේෂයෙන්ම හොඳ යනුවෙන් කියමින් පාවට්ටා පිළිබඳ වර්ණනාව නිම කළේය.

එවිට මව අනේ වෙද මහත්තයට බොහොම පිං මේ ගැන දැනුවත් කළාට මේ දරුවට වාසක පැණිය දීලා බලන්නම්. මම හිතනවා ඒ බෙහෙවින්ම හොඳ වේවි කියල යනුවෙන් පවසමින් සාකච්ඡාව නිමකොට වාසක පැණිය බෝතලයක්ද ගෙන දියණිය සමඟ ආපසු නිවෙස බලා පිටත්විය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.