ඇස් රෝග, මුඛ රෝග, නසන අගනා ඔසුව බෝඹු

මාර්තු 10, 2023

ශාක සමූහයා අතුරින් ඖෂධීය වශයෙන් විශිෂ්ට වූ ප්‍රතිඵල ලබාදෙන ශාකයක් වශයෙන් බෝඹු ශාකය හැඳින්වීමට පුළුවන. දේශීය වෛද්‍ය ක්‍රමයේදී විශේෂයෙන් කැඩුම් බිදුම් වෙදකමේදී බෙහෙවින් යොදා ගනු ලබන ශාකයක් ලෙස බෝඹු ශාකය හැඳින්විය හැකි අතර මෙහි කොළ හා සුඹුල බෙහෙවින් රෝග අවස්ථාවන්හි ප්‍රයෝජනයට ගනු ලබයි.

 

ඒ අතරම ඇස් වෙදකමේදී ද බෝඹු ශාකය යොදා ගනු ලබන අතර බෝඹු ගසේ සුඹුල ඇස් වල රතට යෝග්‍ය ඖෂධයක් ලෙස ගැමියන් විශ්වාස කරයි. මේ අතර දත්මුල් දියවීම, කටගද ගැසීම, දත් දිරා යාම ආදී වූ මුඛ රෝග සඳහා යෙදෙන දන්ත චූර්ණ, මුඛ ශෝධන පාන වර්ග ආදී වූ යෝගයන් සඳහා නැතිවම බැරි ද්‍රව්‍යයක් ලෙස ද බෝඹු හැඳින්වීමට පුළුවන. මේ හේතුව නිසාම බොහෝ පන්සල්වල දැහැටි දඩු වශයෙන්ද බෝඹු බොහෝ සේ භාවිතා කරනු ලබයි.

මේ අතර කැඩුම් බිදුම් වෙදකමේදීත් බෙහෙවින් භාවිතා වන ඖෂධ යෝග රාශියකට බෝඹු අඩංගු වන අතර භග්න චිකිත්සාව හෙවත් හන්දි වෙද පොතේ දක්වා ඇති යෝග ඊට නිදසුන් වේ. මේ අතර ආයුර්වේදයේ එන ප්‍රකට ඖෂධයක් වන බෝඹු නැමති ශාකයේ සහෝදර ශාකයක් වන මෙය ඒ සඳහා ප්‍රතිනිධිය ලෙස භාවිතා කළ හැකි වෘද්ධ වෛද්‍ය මතයකි.

තවද කේරල දේශයේ වෛද්‍යවරුන් ලෝධු ලෙස භාවිතා කරනුයේ මේ වෘක්ෂයේ පොතු බැවින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාරයේ එය නිවැරැදිය.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

ආසියාවේ සිට චීනය ජපානය දක්වා වෙයි.

දේශීය වශයෙන්

මුහුදු මට්ටමේ සිට මීටර් 2100 දක්වා තෙත් ප්‍රදේශවල ද්විතීයික වර්ධනයක් ලෙස දැකිය හැකිය.

දොලුකන්ද, මාතලේ, හුන්නස්ගිරිය, හග්ගල, හපුතලේ, කිතුල්ගල ආදී ප්‍රදේශ වල මෙය විශේෂ වන අතර පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඖෂධ උයනේද දැකිය හැකිය.

බෝඹු ශාකයේ ස්වරූපය

මෙම ශාකය මීටර් 12ක් පමණ උසට වැඩෙන ශාකයකි. මෙහි අතු සහ පත්‍ර සිනිදු වන අතර මෙම පත්‍ර ඉලිප්සාකාර ස්වරූපයක් ගනු ලබයි.එසේම මෙම පත්‍ර කටුකරඩු පත්‍රවලට සමානකමක් දක්වයි. මෙම පත්‍රවල වටා කුඩා දැති ආකාර ස්වරූපයක් දක්නට ලැබෙන අතර පත්‍ර කෙළවර මොට හා අති තීව්‍ර වේ. මෙම ශාකයේ මල් හට ගැනීම පෙබරවාරි මාසයේ සිට මැයි මාසය දක්වා වේ. මෙහි හට ගනු ලබන ඵලය ගෝලීය වන අතර වියැළුනු විට සිරස් අතට පර්ශුක වේ. කද කෙටිය, සිලින්ඩරාකාරය. මෙය බීජ හෝ අතු කැබලි මඟින් බෝකර ගත හැකිය. මෙම ශාකයේ මේරූ ඵල ඉවත් කර හොඳින් සෝදා පොත්ත ඉවත් කර බීජ පවනේ වියළා ගනු ලබයි. මෙම බිජ ජලයේ හොඳින් පොගවා පැය 6-8 පමණ වැලි තවානක හෝ තවාන් මිශ්‍රණයක පැළ කර ගන්න. අතු කැබලි පැලකර ගැනීමේදී සුදුසු හෝමෝන ද්‍රාවණ වල හෝ වෙළඳපොළේ ඇති ඛ්ඥපඥඤඥය වැනි කෘතීම මුල් වර්ධක උත්තේජ කුඩු භාවිතා කර තවාන් බදුන්වල පසේ මුල් අද්දවා ගන්න. අතු කැබලි පැළ සෙ.මී.30-45 පමණ වූ විට ක්ෂේත්‍රයේ සිටුවන්න.

මෙහි පොතු ඖෂධ සඳහා ගනු ලබන නිසා ගස හොඳින් රැක බලා ගැනීම වැදගත් වේ.

 

විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන් - පොදු සිංහල නාමය

බෝඹු වන අතර බෝඹු වල උද්භිද විද්‍යාත්මක නාම Symplocos Cochinchinen sis (Lour) S Moore Var Lauvi  සහ    Symplocos laurina Wallසහ Eugenioides laurinum kuntze ආදිය වන අතර කුලය SYMPLOCACEAE හෙවත් ලෝධ්‍ර කුලය වෙයි.

මෙම කුලය අයත් අනෙකුත් ශාක අතර ලොත් ශාකය ප්‍රධාන වේ.

බෝඹු වල ඖෂධිය අංග

සුඹුලු කොළ, පොතු, මුල්, සහ දඩු ඖෂධ සඳහා යොදා ගනු ලබයි.

බෝඹු වල ප්‍රභේද

1. බෝඹු

2. වල් බෝඹු වශයෙනි.

බෝඹුවල ඖෂධිය ගුණ කර්ම පිළිබද සැලකීමේදී

මෙහි රස ගුණ වීර්ය, විපාක, ආදිය අප්‍රකටය. නමුත් වල් බෝඹු රසයෙන් කෂාය වන අතර වීර්යයෙන් උෂ්ණ වේ. විපාකයෙන් කටුකය.

දෝෂ අනුව සැලකීමේදී

වාත සමන ගුණ යුතුය.

බෝඹුවල ප්‍රධාන ක්‍රියාව

 

අභිඝාත නසන ක්‍රියාවන අතර ව්‍යවහාරික රෝග අවස්ථා වනුයේ විදාධි, ඇස්රෝග, සන්ධිගත රෝග, අතිසාරය, පේශිදාහය, මස්කුණු වීම තැල්ම හා ගෙඩි ආදියයි. බෝඹුවල ඖෂධාංග අඩංගු යෝග සන්ධිගත රෝග සඳහා බෝඹු කොළ කොට දිඹුලා කොළ, මිදෙල්ල කොළ කහ ලුණු දමා කොටා එරඩු තෙලෙන් මලවා බදිනු ලබයි.

ඇස් තැලුණු විට, ඇස් රුදාවට සහ ඇස් රතු වීමට බෝඹු ගසේ සුඹුල ගෙන කොටා පොට්ටනි බැද ඇසට තෙපුල් දෙනු ලබයි.

බෝඹුවල පවතින ස්නිග්ධ, උෂ්ණ, ගුණ, ශීත, වීර්ය අක්ෂි දාහ, ඇස් රුදාව ඇස් රත් පැහැය යන අවස්ථාවන්ට හිතකරය.

මස් තැලුණු විට

බෝඹු ගසේ සුඹුල අඹරා උපනාශයක් සේ යෙදීමෙන් වේදනාව සමනය වේ.

විදාධියට (ගෙඩි සඳහා)

බෝඹු, මුහුදු පෙණ, කරාඹු නැටි, කටු ඉකිරිය ඇට, චූර්ණය ජලයට බහා ඉන් බෝඹු පොතු අඹරා ගත් විට එය මොළොක් වේ. එය ගෙඩිය මතුපිටින් වලල්ලක් මෙන් සකස්කර තබා වරින් වර ඉහත ජලයෙන්ම තෙමු විට ගෙඩිය පැසවා සැරව පිටවේ.

අස්ථි බිදුණු විට,

ඉහත කියන ලද පත්තුවම පතුරු තබා නොසෙල්වෙන සේ බැද ඉහත ජලයෙන්ම තෙමූ විට ඇට පෑහේ. එහි තැලුණු මසද කුණු නොවේ. මෙවන් ඖෂධ යෝගයන් රාශියක් බෝඹු අඩංගුව දක්නට ලැබේ. විශේෂයෙන් භග්න චිකිත්සාව හෙවත් හන්දි වෙද පොතේ එවන් වූ ඖෂධ යෝග රාශියක් වේ. මේ අතර මුඛ රෝග සඳහාද බෝඹු බොහෝ විට යොදාගනු ලබයි. එසේම මුඛයේ පවිත්‍රතාවය සහ දත්වල ආරක්ෂාව උදෙසා සකස් කරනු ලබන දන්ත චූර්ණය සහ මුඛ ශෝධනී නම් ඖෂධීය පානයද සඳහා ගනු ලබන ඖෂධ යෝගයන් අතර ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස බෝඹු හැඳින්විමට පුළුවන.

ඖෂධීය වශයෙන් මෙසේ අතිශයින් ප්‍රයෝජන ගෙන දෙනු ලබන ශාකයක් වන බෝඹු ශාකයෙන් ලැබෙන වෙනත් ප්‍රයෝජනද රාශියකි. ඒවා අතර ඉන්ධන වශයෙන් ද බෝඹු යොදා ගනු ලබන අතර එහිදී බෝඹු දර ලෙසද ප්‍රයෝජනයට ගනු ලබයි. ඒ පිගන් භාණ්ඩ තවද වීදුරු, පිගන් භාණ්ඩ ආදි බිදෙන සුළු භාණ්ඩ අසුරා යැවිමේදි ආරක්ෂණ පිදුරු ලෙසද බෝඹු යොදා ගනු ලබයි. මේ අතර බෝඹු ගසෙන් ලබා ගන්නා සායමක් ඉන්දියානුවන් විසින් නළලෙහි තිලක තැබිමට ද යොදා ගනියි. බෝඹු ශාකය දේශීය වශයෙන් ඖෂධ යෝග සඳහා අතිශයින් ප්‍රයෝජන ගෙන දෙන ශාකයක් ලෙසට මෙන්ම තවත් බෝහෝ ප්‍රයෝජනද ලබා දෙන ශාකයක් බවයි.

සාමාන්‍ය ජන ජීවිතයේ සියලු දෙනා ඉතා හොඳින් හඳුනන මෙම ශාකය එහි ඇති ඖෂධීය ගුණය නොනසා නිසි ලෙස ප්‍රයෝජනට ගැනීමෙන් මිනිසාගේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීමට හේතු වේ.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.