අක්මා රෝග සහ සෙංගමාලයට ගුණ දෙන කොක්මොට

පෙබරවාරි 10, 2023

ඖෂධීය සහ ආහාරමය වටිනාකමකින් යුතු වැදගත් පැළෑටියක් ලෙස කොක්මොට නම් ශාකය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වශයෙන් හඳුන්වනු ලබන කොක්මොට පැළෑටිය තුළ ඇති වටිනාකම පිළිබඳව නොහඳුනන අය විසින් වල් පැළෑටියක් වශයෙන් මෙය සලකා වල්නාශක බෙහෙත් වර්ග යොදා විනාශ කරනු ලබන නිසා වඳ වී යාමේ තර්ජනයටද ගොදුරු වී ඇත. එබැවින් ශී‍්‍ර ලංකාවට ආවේණික මෙම පැළෑටිය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වේ.

රතු දත්ත පොතට අනුවද මෙය වඳ වී යාමේ තර්ජනයට බඳුන් වූ ශාකයක් ලෙස හඳුන්වා ඇති අතර, ඉතා ඈත අතීතයේ සිටම මෙම කොක්මොට පැළැටිය ඖෂධ සදහා භාවිත වන බව පාරම්පරික වෛද්‍යවරු පවසති.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන් ඉන්දියාව වැනි ආසියාතික රටවල දක්නට ලැබේ. දේශීය වශයෙන් ශී‍්‍ර ලංකාවට ආවේණික ශාකයකි. මීටර් 2000-2400 පමණ උස් බිම්වලද දිය මුසු බිම්වල ද විශේෂයෙන් වගුරු සහිත තණබිම්වලද වැව් සහ අගල්, ඇළ මාර්ග දෙපසද දක්නට ඇත. කඳුකර ප්‍රදේශයේ විශේෂයෙන් දැකිය හැකි මෙය මහනුවර, රත්නපුර, නුවරඑළිය, ශී‍්‍ර පාදය, හෝර්ටන් තැන්න, අඹේවෙල, ඔහිය සහ කඳපොළ ආදී ප්‍රදේශවලද දැකිය හැකිය.

ශාකයේ ස්වරූපය

දියමුසු බිම් ප්‍රදේශවල වැවෙන කුඩා පැළෑටි විශේෂයක්ය. මෙය ඒක බීජ පත්‍රී ශාකයක් වන අතර, බහු වාර්ෂික පඳුරු ආකාරයේ ඍජු ශාකයකි. අඟල් 5-6 දක්වා උස වල්ලූනු කොළ හා සමාන අඟල් දෙකක් පමණ දිගැති සිහින් කොළවලින් යුතු පඳුරක් ආකාරයේ පැළෑටියකි.

මෙම ශාකයේ පත්‍ර දම් පැහැති කොළ පැහැයෙන් යුක්තය. එම කොළ 4ක් 5ක් පමණ විත් කෙන්දක් ලෙස ඉහළට නැඟුණු කීලයක අග සුදු පැහැති පබලුවක් මෙන් මලක් පිපී තිබෙනු දක්නට ඇත.

පඳුරු ආකාරයේ මෙසේ මල් පිපී ඇති විට කුඹුක් සුදු පැහැයෙන් බබළයි. ගසේ මුල රතු පැහැයක් ගනියි. කුඩා මුල් වටේට විහිදී ඇත. මඩ වගුරුවල නොවැවේ. පායන කාලයට වුවද මෙය ඔරොත්තු දෙයි. කොක්මොට ශාකය කුඹුරුවල විශාල වශයෙන් පැතිරීම ගොයම්වලට අහිතකරය. අවුරුදු එකක් පමණ වයස්ගත වූ කොක්මොට පඳුරු ගලවා මඩ ඉවත් වන පරිදි මුල් හොඳින් සෝදා අවශ්‍යතාවය අනුව වියළවා හෝ අමුවෙන් හෝ ඖෂධ සඳහා යෝග්‍ය පරිදි සකසා ගත යුතුය.

වගා කිරීම්

කොක්මොට වගා කිරීමේදී හොඳින් මඩ ඇති වන තෙක් ජලය යම් ප්‍රමාණයක් රඳන සේ භූමිය සකස් කළ යුතු අතර, ඉන් පසු මධ්‍යම ප්‍රමාණයට වැඩුණු කොක්මොට පඳුරක් ගලවා එහි පත්‍ර 4ක් පමණ ඇති වූ මොටෙයියන්ගෙන් අංකුර ගලවා සාදාගත් බිමෙහි සිටුවිය යුතුය. ඉන්පසු කල් ගත වන විට නැවත සිටුවූ අංකුර පඳුරු බවට පත්වේ.

කොක්මොට ශාකය පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම

පොදු සිංහල නාමය කොක්මොට වන අතර, අනෙකුත් නාමයන් සහ ද්‍රව්‍ය ගුණ සොයා ගැනීමට නොහැක. උද්භිද විද්‍යාත්මක නාමය Ericaulonceylanicum වන අතර kornEriocaulonsexanguiare  යන නාමයද යෙදෙයි. මෙහි කුලය Eriocaulaceae  කුලය වේ. කොක්මොටවල ඖෂධීය අංග සම්පූර්ණ පැළෑටියම ඖෂධීය සහ ආහාරමය අවශ්‍යතා සඳහා ගනු ලබයි.

ආහාරමය වටිනාකම

කොක්මොට පැළෑටිය මැල්ලුම් වශයෙන් සහ ව්‍යාංජන ලෙස සකසා ආහාර සඳහා එක්කර ගනු ලබන අතර, කැඳ වශයෙන්ද ප්‍රයෝජනයට ගනු ලබනුයේ එහි ඇති ඖෂධීය ගුණයද සලකා ගෙනයි.

ඖෂධීය වටිනාකම

කොක්මොට බොහෝ සෙයින් ප්‍රයෝජන ගෙන දෙනු ලබන ශාකයක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේද සඳහන් වෙයි. මෙය ඉතා ඈත අතීතයේ සිටම ඖෂධ සඳහා භාවිත කළ බව අපගේ පාරම්පරික වෛද්‍යවරු පවසති.

කොක්මොට ප්‍රභේද

ප්‍රභේද දෙකකි.

1.කොළ මඳක් විශාල වර්ගය

2.කොළ කුඩා වර්ගය වශයෙනි.

කොක්මොටවල ඖෂධීය ගුණකර්ම

මෙය රසයෙන් කටුක හා තිත්ත වන අතර, ගුණයෙන් ලඝු හා රුක්ෂ වේ. වීර්යයෙන් ශීත වන අතර විපාකයෙන් කටුක වේ.

දෝෂ අනුව සැලකීමේදී

මෙහි කටුක හා තිත්ත රස ඇති නිසා සෙම සමනය කරන අතර, ශීත වීය්‍යතය නිසා පිතද සමනය කරනු ලබයි. මෙනිසා කොක්මොටවල ඉදිමුම් නසන ගුණයද, දාහ, දැවිලි සමන ගුණයද අක්මා රෝග නිවාරණ ගුණයද පවතින අතර ලේ වඩන ගුණයද පවතී. මේ අනුව කොක්මොට උපයෝගී කරගනු ලබන රෝග අවස්ථා රාශියක් වේ. එනම්, අක්මා රෝග පිලාව ඉදිමුම්කාමලාව, මුත්‍රා දැවිල්ල, ශ්වේත ප්‍රදර, ශරීරය උෂ්ණාධික බව, පාණ්ඩුව, පිත් රෝග, උන්මාද අපස්මාර, ප්‍රමේහ ප්‍රදර, සමේ රෝග, අතුල පතුල් දැවිලි සහ ලිංගික බෙලහීනතා ආදියට විශිෂ්ට ගුණ දෙන ද්‍රව්‍යයක් ලෙස කොක්මොට හැඳින්විය හැකිය.

කොක්මොට අඩංගු ඖෂධ යෝග

පාණ්ඩුවට කොක්මොට කැඳ දෙනු ලැබෙයි. ප්‍රමේහ රෝග සහ ලිංගික බෙලහීනතා සඳහා කොක්මොට කැඳ ඉතා ගුණ දේ. කුෂ්ඨ, දද, නිසා ඇතිවන දැවිල්ලට

1. වෙනත් ශාක යුෂද මිශ්‍ර කළ කොක්මොට යුෂ ඉතා ගුණදායකය.

2. කොක්මොට තැම්බූ ජලයෙන් සේදීමද ඉතා ගුණදායකය.

සෙංගමාල රෝගයට

කොක්මොට කැඳ ඉතා ගුණ දේ. කුරුමිණී මාන්දමට කොක්මොට කැඳ ඉතා ගුණදායකය. අක්මා රෝග, පිලාව ඉදිමීම, කහ උණ සහ අධික මධ්‍යසාර ගන්නා අයට කොක්මොට කසාය සහ කැඳ ඉතා යෝග්‍යය වේ. මේ ආදි වශයෙන් කොක්මොට අඩංගු ඖෂධ යෝග රාශියක්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ව්‍යවහාර වේ.

මේ අතර කොක්මොට අඩංගු සංස්කාරික ඖෂධයක් වශයෙන් ඉන්ද්‍රනිදෙව් යාවශරිෂ්ඨය හැඳින්විය හැකිය. මෙසේ ඖෂධීය වශයෙන් සහ ආහාරමය වශයෙන් බොහෝ ප්‍රයෝජන ගෙන දෙන ශාකයක් ලෙස කොක්මොට හැඳින්විය හැකිය. තවද මෙයට අමතරව වෙනත් ප්‍රයෝජනද කොක්මොටවලින් ලබා දෙයි. එනම් උද්‍යාන අලංකරණය සඳහා පොකුණු ආශි‍්‍රතව වගා කරනු ලබන අතර, නිවෙස්වල අලංකාරය පිණිස පෝච්චිවල වවා ගැනීම ද කරනු ලබයි. මේ අනුව පැහැදිලි වනුයේ කොක්මොට යනු බොහෝ සෙයින් ප්‍රයෝජන ගෙන දෙනු ලබන පෑළෑටියක් බවයි.

මේ නිසා මෙහි ඇති වටිනාකම හොඳින් අවබෝධ කරගෙන මෙවන් ශාක වඳ වීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් වේ.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.