පෝෂණ ගුණයෙන් යුත් ශක්තිජනක මාංස භෝග

ඔක්තෝබර් 7, 2022

අධික පෝෂණ ගුණයෙන් යුත් මාංසභෝග ශක්තිජනක ආහාරයකි. දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ඉතා ගුණවත්වන රෝග රැසක් වළකාලන ඖෂධයක් වන එහි තන්තු, විටමින්, ඛනිජ වර්ග අඩංගු වේ. මාංසභෝග ආහාරයට ගැනීමෙන් ස්ථුලතාවය නොහොත් අධික තරබාරුව, රුධිරයේ සීනි මට්ටම, පිළිකා ඇතිවීමේ අවදානම ආදී රෝග රැසක්ම අවම කරයි. මාංසභෝග ආහාරයට එක්කර ගැනීම ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ රෝග, අජීර්ණ තත්ත්වයන් හා මළබද්ධය වළක්වාලීමට වඩාත්ම ගුණදායකය.

වියළි ඇට ලෙස ආහාරයට ගන්නා මාංස භෝග රනිල කුලයේ භෝගයක් ලෙස හැඳින්වේ. කවුපි, මුං ඇට, පරිප්පු, කොල්ලු සහ උළුඳු එම භෝග ගණයට අයත්ය. මේවා තම්බා පොල් සමඟ හෝ ව්‍යාංජන ලෙස සකසා හෝ ආහාරයට ගැනීමට පුරුදුව ඇත.

කවුපි - කවුපිවල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත වේ. පිළිකා මර්දනය කරනු ලබන අතර දියවැඩියාවද පාලනය කරයි. කොලෙස්ටරෝල් අඩු කරනු ලබන අතර වේදනා නාශක ගුණයක් ද පවතී. හෘදය වස්තුව, පෙණහලු, අක්මාව ආරක්ෂා කිරීමේ ගතියක් පවතී. මුත්‍රාගල් දිය කිරීමේ ගුණයක් පවතින අතර මළබද්ධය දුරුකරනු ලබයි. වියළි කවුපි ඇට ග්‍රෑම් සියයක පෝෂණය ගුණය ශක්තිය කිලෝ කැලරි 342 ජලය ග්‍රෑම් 11 ප්‍රෝටීන ග්‍රෑම් 23.95 කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 59.88 කෙඳිති ග්‍රෑම් 10.68 මේදය ග්‍රෑම් 2.04 ද වේ. මීට අමතරව කැල්සියම් යකඩ, මැග්නීසියම් පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක්, විටමින් ද කවුපිවල සුළු වශයෙන් අඩංගුව ඇත. එබැවින් කවුපි ගුණාත්මක ශක්තිජනක ආහාරයකි.

මුං ඇට - මුං ඇට දිරවීමට ඉතා පහසුම ආහාරයකි. මෙහි අඩංගු ප්‍රෝටීන් ඉතා ඉහළ අගයක් ගනී. වෙනත් ආහාර ගැනීමේදී මෙන් මුං ඇට ආහාරයට ගැනීමෙන් බඩේ වාතය පිරීමක් ඇති නොවේ. මුංඇට තැම්බූ වතුර ද පෝෂ්‍ය ගුණයෙන් යුත් බැවින් පානය කිරීම ගුණදායකය. මුං ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ජලය ග්‍රෑම් 10.1 ශක්තිය කිලෝකැලරි 348 ප්‍රෝටීන් ග්‍රෑම් 24.5 මේදය ග්‍රෑම් 1.2 කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 59.9 ද වේ. ඊට අමතරව කැල්සියම් පොස්පරස් මිලිග්‍රෑම් 326, විටමින්, යකඩ, කැරොටින් යන පෝෂ්‍ය පදාර්ථ ද අන්තර්ගතය. මුං ඇට ශීත ආහාරයකි. සෙම අධික අයට එතරම්ම ගුණයක් නොවේ. මුං ඇට අංශභාගය, ස්නායු ආබාධ, අක්මා රෝග ආදී රෝග ගණනාවකටම ගුණ දෙන ප්‍රබල ඖෂධයකි.

පරිප්පු - බොහෝ නිවෙස්වල ලෙහෙසියටත් පහසුවටත් පිසිය හැකි ව්‍යංජනයක් ලෙස සලකන පරිප්පු වැඩිහිටියන් මෙන්ම දරුවන්ද කෑමට වැඩි කැමැත්තක් දක්වන ආහාරයකි. නමුත් පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ පරිප්පු වැඩියෙන් ආහාරයට නොගත යුතු බවයි. ඒ රනිල භෝගවල ඇති ප්‍රතිපෝෂක කෑම වේලහි පෝෂණ කොටස් ශරීරයට උරා ගැනීම වළක්වාලන ගතියක් පරිප්පුවල පවතින බැවිනි. පරිප්පු ග්‍රෑම් 100ක ඇති පෝෂණ කොටස් ශක්තිය කිලෝ කැලරි 353 කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 60 සීනි ග්‍රෑම් 2 කෙඳිති ග්‍රෑම් 31 මේදය ග්‍රෑම් 1 ප්‍රෝටීන් ග්‍රෑම් 26 ජලය ග්‍රෑම් 10.4 ද වේ. විටමින් වර්ග 7 ක් පමණ ද පවතින අතර කැල්සියම් යකඩ මැග්නීසියම් පොස්පරස් සෝඩියම් සින්ක්, පොටෑසියම් වැනි ඛනිජ වර්ග ද අන්තර්ගතය. කොලෙස්ටරෝල්්, දියවැඩියාව, හර්ද රෝග ආදී රෝග පාලනයට පරිප්පු උපකාරී වේ.

කඩල - ප්‍රෝටීන් බහුල ආහාරයක් වන කඩලවල වැඩි යකඩ ප්‍රමාණයක් අඩංගු ය. තයමින් රයිබොරාලේවින් හා කැල්සියම් ද වැඩි ප්‍රමාණයක් ඇත. කඩල දිරවීමට තරමක් අපහසු ආහාරයකි. විටමින් බී වර්ග වැඩිපුර අඩංගු කඩලවල ඔක්සික් අම්ලය ද ඇත. කඩල ග්‍රෑම් 100 පෝෂණය ශක්තිය කැලරි 360 කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 60.9 පොස්පරස් ග්‍රෑම් 312 කැරොටින් මයික්‍රොග්‍රෑම් 189 නියැසින් මිලිග්‍රෑම් 1.3 - 2.9 ප්‍රෝටීන් ග්‍රෑම් 17 - 20 කැල්සියම් මිලි ග්‍රෑම් 202 යකඩ මිලිග්‍රෑම් 10.2 තයමින් මයික්‍රොග්‍රෑම් 210 - 1100 විටමින් සී මිලිග්‍රෑම් 3 යි.

කොල්ලු - තරබාරුකමින් යුත් මහත වැඩි අයගේ තරබාරුකම අඩුකරගැනීමට කොල්ලු හොඳම ඖෂධයකි. අනෙකුත් ධාන්‍ය වර්ග මෙන් නොව කොල්ලු රෝග රැසකටම ගුණ ගෙන දේ. කොල්ලු වර්ග හතරකි. ඒ සුදු කොල්ලු, කළු කොල්ලු, පුල්ලි කොල්ලු සහ රතු කොල්ලු වශයෙනි. කොල්ලු ග්‍රෑම් සියයක පෝෂණ ගුණය, ශක්තිය කැලරි 321 කැල්සියම් මිලිග්‍රෑම් 287 යකඩ මිලිග්‍රෑම් 8.4 මේදය ග්‍රෑම් 0.5 රයිබොරාලේවින් මයික්‍රොග්‍රෑම් 200 ප්‍රෝටීන් ග්‍රෑම් 22 කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 37.2 පොස්පරස් මිලිග්‍රෑම් 311 තයමින් මයික්‍රො ග්‍රෑම් 420 නියැසින් මයික්‍රොග්‍රෑම් 1500.

තල - කැල්සියම් අධික ආහාරයක් වන තල ඖෂධීය තෙල්වලින් විශිෂ්ටම තෙලක් වන්නේ තල තෙල්ය. කැඩුම් බිඳුම්වලට මෙන්ම රුධිර නාළිකාවල මේදය අඩු කිරීමේ හැකියාවක් ද පවතී. කෙට්ටුකම දුරලා සිරුර තර කරයි. දියවැඩියාව මර්දනය කරනු ලබන අතර පියයුරු පිළිකා ආහාර මාර්ගයේ පිළිකා ඇතිවීම වළකාලයි. කොලෙස්ටරෝල් ද අඩු කරයි. රුධිර පීඩනය අඩු කරනු ලබන අතර ස්නායු පද්ධතිය ආරක්ෂා කරයි. ඉතාම ගුණදායක තල එළකිරි පෝෂණයට වඩා අට ගුණයකින් වැඩි වේ. තල ඇට හා තල තෙල් වටිනා ඖෂධයකි. ඇඟ සිසිල් කරයි. ශක්තිය වර්ධනය කරයි. කාම ශක්තිය ඇති කරයි. මුත්‍රාබාධ දුරලන අතර අර්ශස් නසයි. තල ඇට මඟින් තල කැරලි, තල ගුළි, තල අලුවා, තල කැවුම් ආදී රස කැවිලි වර්ග සාදයි. තල තෙල් ඖෂධීය තෙල් බෙහෙත් තෙල් නිෂ්පාදනයට බෙහෙවින් යොදා ගනී.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.