රෝග නැසීමට බෙහෙවින් යොදාගන්නා පස්තෙල්

සැප්තැම්බර් 16, 2022

දේශීය මෙන්ම ආයුර්වේද වෙදකමේ තෙල් බෙහෙත් නිෂ්පාදනයේදී බෙහෙවින් යොදාගන්නා පස්තෙල් දේව පූජා, ග්‍රහපූජා, සෙත්ශාන්තිවලට මෙන්ම ශාන්ති කර්මවලට ද යොදා ගනියි. තල තෙල්, එඬරු තෙල්, මී තෙල්, ගිතෙල් සහ කොහොඹ තෙල් යන පස්තෙල් ඉතා ගුණාත්මක ප්‍රබල ඖෂධයකි.

මෙම පස්තෙල්වලින් නිතර දෙවේලේ ගෘහ කටයුතුවලදී අවශ්‍යවන්නේ ගිතෙල් නොහොත් එළඟිතෙල්ය. එහි විශේෂයක් වන්නේ එළඟි තෙල්, තෙල් බෙහෙත්වලට ගැනීමට අමතරව පිලිස්සුම් තුවාලයකදී ඒ මත ගෑමවත් දේව පූජාවලදී වගේම යම් යම් සෙත්ශාන්තිවලදී එළඟි තෙල් පහනක් දැල්වීමත් සෙනසුරාදා දිනයන්හිදී දෙනු ලබන කපුටු දානයේදී පහන්තිර එළඟි තෙලෙන් පොඟවා කිරිබත්වල සඟවා කෑමට තැබීමත්ය. චූර්ණ හා ගිරිත සමඟ කෑමට ගන්නා එළඟිතෙල්වල ගුණ අපමණ ය.

පර්පීර්‍ගවෘංචාප්‍ය මෘතං විෂස්නං 
චක්ෂුෂ්‍යමා රෝග්‍යකරංච වෘෂ්‍යම් 
රසායනං දො දම තීව මෙධ්‍යං 
සේවහොත්ත මාංගාං විබූධඞ ස්තුවන්ති 

එළඟි තෙල්

එළඟි තෙල් අමෘතයක හා සමාන ගුණදෙයි. විෂ නසයි. ඇසට හිතයි. වීය¸වඩයි රසායනයි. බොහෝ සෙයින් නුවණ වඩයි. සියලුම තෙල් වර්ගවලට වඩා උතුම් වේ. ගුණත්මක වේ. එළඟි තෙල් , මී තෙල්, එරඬු තෙල්, තල තෙල් හා කොහොඹ තෙල් යන පස්තෙල්ම හෙණරාජ තෛලයට යොදාගන්නා තෙල් වට්ටෝරුවේ එක් කවියක මෙසේ සඳහන් කර ඇත.

පළමුව අඹරා දොඩමේ පැඟිරෙන් හිගුරු වැලේ යුෂ දෙවනුව ගන් 
අඹරා ඉන්පසු තලද එඬරු මී කොහොඹ ගිතෙල් නැලි බාග බැගින් 
පරණ එපොල්තෙල් අඩ නැලියක් ගෙන මෙකී ලෙසටම එක්කර සන් 
සිනිඳු ලෙසින් ඇඹරූ කල්කය ගෙන තෙලෙහි කලතා මෙලෙසින්

එරඬු තෙල්

එරඬු තෙල් ධාතු පෝෂණය කිරීමේ ගුණයකින් හෙබි එරඬු තෙල් වා සෙම් නසයි. ආමවාතයට ද ඖෂධයක් වන හෘද රෝග ඉදිමුම්ද නැසීමේ බලයක් ද පවතී.

එරණ්ඩ තෛලං කෘමිනාශනවච 
සව¢ත්‍ර ශුලස්න මරුත් ප්‍රනාශනම් 
කුෂ්ඨො පහං වා පි රසායෙනං ච 
පිත්ත ප්‍රකෝපාන ශෝධනංච

එරඬුතෙල් පණුවන් නැති කරයි. සියලු රුජා නසයි. විෂ නැති කරයි. කුෂ්ඨය නසයි. රසායනයි. පිත් කිපේ. අග්නිය යුද්ධ කරයි. එරඬු තෙල් චන්ද්‍ර කාන්ති තෛලය, දිව්‍යාංගනාදි තෛලය, නයනා කේතකී තෛලය, බුද්ධරාජ තෛලය ආදී ඖෂධීය තෙල් රැසකටම යොදාගනී. එරඬු තෙල් උණුසුම්ය. සෙම නසන ගතියක් පවතී. සියලු වායු දොස් නැති කරයි. ඇඟ ගෑමටද යහපත් වේ.

නිම්බතෛලං කිඤවිදුෂ්නං තික්තං කෘමිකථා පහම් 
කුෂ්ඨං ව්‍රණං වාත පිත්තං පිත්තංචා ශිං ජවරං තථා 
ශොථොදරං රකතං රුජා කථං පිත්තජ්වරා ඤ්ජයෙත් 

කොහොඹ තෙල්

කොහොඹ තෙල් මඳක් උෂ්ණගතියක් ඇත. තිත්තයි. පණුවන් සේම කුෂ්ඨ වණ වාත පිත්තය පිත අර්ශස් උණ ඉදිමුම් උදර රෝග සෙම සහ පිත් උණ නැති කරයි. කොහොඹ හිසට මෙන්ම ඇසට ද හිතකර වේ. ප්‍රධාන වශයෙන් විස නැසීමේ ගුණයක් පවතී. බොහෝ නිවෙස්වල විෂබීජ නාශකයක් ලෙස කොහොඹ තෙල් යොදා දුම් අල්ලයි. ඖෂධීය තෙල්වලට මෙන්ම කණ්ඩමාල කල්කයට ද කොහොඹ තෙල් එක්කර ගනියි.

මී තෙල්

මී තෙල් මධුරයි. බෙලසුල් වෙයි. කෂටයි. පිත්,උණ දාහය ඇති කරයි. මී ඇට තෙල් පිත නසා කෘශ බව ඇති කරයි. ශුක්‍ර වර්ධනය කෙරෙයි. හටගන්නා වූ ගෙඩිවලට අංකෙන්ද කොළ, කවුඩු , කැකිරි කොළ, තැල් කොළ, මලිද කොළ, කපු කොළ, වනේලා කොටා මීතෙල් එක්ක තම්බා මිරිකා තෙල් සිඳගෑමෙන් සුවවේ. මධුක තෛලං මධුරං පිච්චිලං තුවරංමතම් – කථපිත්තජ්වරං වෛච්චදාහං පිත්තංච නාශයෙක් 

තල තෙල්

තල තෙල් වා සෙම් නැතිකරයි. ශරීර වර්ණය ලබා දෙයි. ධාතු පෝෂණය කරන අතර කුසගින්න ඇතිකරයි. සිරුර සැහැල්ලු බවට පත් කෙරේ. කෘශගතිය නැති කරන අතර තරවූවන්ගේ සිරුර සැහැල්ලු බවට පත් කෙරේ.

තෛලං තිලානං මධුරං කථස්නං 
වාතෙහිතං පිත්ත විවර්ද්ධනංච 
වදනති පාකාග්නි විශොධනං ච 
ප්‍රසාදනෙ ක්ෂණයංතු මලාපහංච

තල තෙල් මිහිරිය සෙම නසයි පිත් වඩයි. පැසවයි. අග්නිය ශුද්ධ කරයි. මලනසයි. තල තෙල් සංයෝගකරන බෙහෙත් තෙල් කීපයක් නේත්‍රපටල තෛලය, පසකුරු තෛලය, පිණ්ඩ තෙල, භෘංගරාජ තෛලය, රත්පිත් කේතකී තෛලය, රත තෙල, වාත තෙල, ත්‍රිඵලා තෛලය, අඩුක්කු තෛලය, අර්ශස් තෙල, කෝලෂෙලෙස්මා තෛලය, චන්ද්‍රකාන්ති තෛලය, දිව්‍යාංගනාදී තෛලය, නයනාකේතකී තෛලය, නාරායන තෛලය, නවපටල තෛලය, ඉරුදෑපන තෛලයේ තෙල් වට්ටෝරුවේ කවියක්

පළමු ඇබුරු බෙහෙත් දියකොට භාජනෙක ළිප තබා ලා 
දෙවනු නිබතෙල් ගිතෙල් තලතෙල් මී තෙලුත් එහි යොදා ලා 
මෙවැනි තෙල් සිදුනොත බලාගන දෙපෝදා කෙම්මුර බ ලා 
පළමු කී පොඩි දැහැන දෙකයෙන් අටෝරාසිය පුරව ලා

පස්තෙල් රෝගී අවස්ථාවේදී පොට්ටනි බැඳ තැවීමටත් යම් යම් අවස්ථාවලදී ඇඟ ගා පිරිමැදීමටත් බෙහෙත් දීමේදී ගනු ලබන අනුපානුවලටත් තෙල් බෙහෙත්වලට මෙන්ම අනෙකුත් දේව කටයුතු සෙත්ශාන්ති හා ඖෂධ සඳහාත් ගනු ලබන ඖෂධීය ගුණයෙන් පිරිපුන් මහඟු තෙලකි.

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර

සටහන - මාධ්‍යවේදී බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.