වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සහලින් සැකසෙන විවිධ බත් වර්ග
ආහාරවලින් මුල් තැන ලැබෙන්නේ බතටය. වී බුද්ධ භෝගයක් වශයෙන් සලකන අතර වී කෙටීමේදී සුණුසහල් සහ හොඳ හාල් ද දහයියා කුඩු වෙන්කර ගන්නා අතර හොඳ හාල් ලබාගත් පසු බත් උයා ගැනීම සඳහා ඉතිරිව ඇති සහල්වල වැලි දහයියා සහ ගල්කැට ඉවත්කර ගැනීමෙන් පසු සහල් කීපවාරයක්ම ගරා සෝදා ගනියි. සෝදා ගත් හාල් භාජනයකට දමා අවශ්‍ය ප්‍රමාණයට වතුරද මුසුකර ලිප උඩ තබනු ලැබේ.
සුන්සහල් බත්
සුන්සහල්වලින් පිළියෙල කර ගන්නා බතට මේ නම ව්‍යවහාර කරනු ලැබේ. සුන්සහල් නම් වී කෙටීමේදී කුඩා කැබලිවලට කැඩෙන සහල්ය. ඒවා එකතු කර හොඳට පිරිසුදු කරගත යුතුය. සෝදාගත් සුන්සහල් බත් මෙන් උයා ගනියි.
දිය බත්
රෑ කාලයේ උයන ලද බත සීතල ඇල් වතුරේ දමා එළිවෙනතුරු තබා ගත යුතුය. ඉන්පසු බත් ඇට ජලයෙන් බේරා එයට පොල් දෙහි ඇඹුල් දමා පදමට මිශ්‍ර කරන අතර කැමතිනම් අමුමිරිස්, රතුලූනු හීනියට කපා එක්කර ගත හැකිය. ඉතා ගුණදායකය.
වේලන ලද බත්
ගෙදර දොරේ ඉතිරිවන බත් අව්වේ දමා හොඳට වේලාගත් පසු සෑහෙන කාලයක් නරක් නොවී තබාගැනීමට හැකි අතර මේ අන්දමට වේලා ගන්නා ලද බත් මුට්ටියක දමා තැන්පත් කර දුමේ දුම් වදින ඉසව්වකින් තැබිය යුතුය. අවශ්‍ය අවස්ථාවක මෙම වියළි බත්වලින් රසකෑමක් පිළියෙල කර ගත හැකිය. වේලන ලද බත වංගෙඩියේ දමා ඉතා සියුම් ලෙස කුඩුකර ගනු ලැබේ. සියුම් බව රැක ගැනීමට පෙනේරයකින් හලා ගැනීම වඩාත් හොඳය.
වියළි බත් කුඩු සෑහෙන පමණ ගෙන හොඳට ගාන ලද පොල් සමඟ මිශ්‍රකර පොල් පැණී කිතුල්පැණි සීනි වැනි දෙයක් දමා අනා ගුලිකර රසවත් බත් ගුලි පිළියෙල කරගත හැකිය.
පැණි බත්
පැණි බතද රසවත් කෑමකි. බත උයන ලෙසට මෙයද උයාගන්නා අතර බත ලිපෙන් බාන්නට මද වේලාවකට කලින් පොල් පැණි හෝ කිතුල් පැණි බතට එක්කර හැදිමිටෙන් කූරු ගාන්න. කැද ගතිය සිදී ගිය පසු ලිපෙන් බා ගුළි වශයෙන් හෝ කෑලි වශයෙන් හෝ පිළියෙල කරගනු ලැබේ.
හීල් බත
අදටත් බොහෝ නිවෙස්වල හීල්බතට වැදගත් තැනක් හිමිවේ. රාත්‍රියේ කෑමෙන් පසු ඉතිරිවන මේ බතට හීල් බතයැයි ව්‍යවහාර වේ. හීල් බත ඉතා පෝෂ්‍යදායකය.
කහබත්
බත කහපාට නිසා කහබත් යයි කියනු ලැබේ. බත උයා ගැනීමට වතුර යොදන්නේ නැත. මේ සඳහා පොල්කිරි ගන්නා අතර කහකුඩු ස්වල්පයක් එන්සාල්, කරාබුනැටි, මුද්දරප්පලම් වැනි දේවල් බතට මිශ්‍ර කර හැදිමිටෙන් කලවම් කරන්න.
කුඩු බත්
වී කොටන විට සහල් ඇට වලින් දුඹුරු පාට කුඩු වර්ගයක් වෙන්කර ගත හැකිය. මේ කුඩුවල විටමින් වර්ග අඩංගුය. මේ කුඩුවලින් රසවත් බතක් පිළියෙල කරගත හැකිය. කුඩු සෑහෙන පමණ එකතුකර පිරිසුදු කර ඒවාට පොල්කිරි මුසුකර ලිපේ තබා උකුවනතුරු රත්කළ යුතුය. පැණි සමඟ කෑමට ගත හැකිය.
මුං බත්
පළමුවෙන් මුං ඇට වතුරේ දමා පොඟවා සහල් සමඟ මිශ්‍රකර බතක් උයාගනු ලැබේ. මේ අන්දමට පිළියෙල කරගන්නා බත්වලට මුං බත් යැයි කියන අතර මුං බත් කෑමෙන් වාත ආබාධ දුරු කරන බවට මතයක් පවතී. මුං ඇට, සහල් එකට තම්බා කිරි දැමීමෙන් මුං කිරිබත් පිළියෙල කරගත හැකිය.
කිරි බත්
උත්සව අවස්ථාවල කිරිබත් පිළියෙල කර ගැනීම අපේ සාම්ප්‍රදායික පුරුද්දකි. කිරිබත් උයා ගැනීම සඳහා පිරිසුදු කැකුළු සහල් ගැනීම සුදුසුය. සාමාන්‍යයෙන් බත උයන ආකාරයට මෙයද පිළියෙල කරගත යුතුය. බත පැසෙන විට පොල්කිරි හෝ එළකිරි දමා හොඳින් මිශ්‍රකර කිරිබත් සාදාගන්නා අතර උයාගත් කිරිබත් තදවෙන්නට පෙර වට්ටියේ තුනීකර කෑලි කපා ගන්න.
දෙක බත
කෘෂිකාර්මික සමාජයේ ගොයම් කැපීම, සී සෑම, ගොයම් පෑගීම වැනි කාර්යයන්හිදී වැඩපල අතවරවූ පසු ගොවිරාලගේ නිවසෙහි කයිකාරයිනට දෙනු ලබන්නේ දෙක බතය.
මළ බත
මළ බත ඉදෙන්නේ මරණ ගෙදර අවසාන දවසේ හවසය. බත් දෙනු ලබන්නේ බිම පැදුරේ වාඩිකරවා කෙසෙල් කොළවලට බෙදීමෙනි. වට්ටක්කා, පුහුල්, වියළි හාල්මැස්සන්, කරවල මේ සඳහා යොදා ගැනේ.
දොළ බත
දොළ බත පිසෙනනේ කෝවිල් ගෙවල් වලය. යක්ෂ පේ‍්‍රත කුම්භාණ්ඩයින්ට පිදෙන පිදේනි තටුවට දොළ බත් පිඟානක් අවශ්‍ය වේ. දොළ බත පිසීම කාන්තාවන්ට තහනම්ය. පිරිමියාද එයට පේවී ආ යුතුය. කෙළ බිඳක් වැටෙයිදෝ බියෙන් මුඛ වාඩමක් බැද ගනී. අවශ්‍ය බඩු තබාගත යුත්තේ, කුල්ලකය. කුල්ලක් දොළ බත පිසීමට ගන්නේ කැකුළු හාල්ය. ව්‍යංජන සඳහා හත් මාළු සහ ඇටි ගොඩ දිය මස්ද බැද දොළ බත පිඟානේ තබයි. බත් හැළියේ මුව ආවරණය කෙරේ.
උපදෙස් වැල්ලම්පිටියේ කැඩුම් බිදුම් බෙහෙත් ශාලාවේ වෛද්‍ය ස්වර්ණා චන්ද්‍රලතා ඩඩ්ලි චන්ද්‍රසේකර
සටහන
ජයන්ති කුරේ