බෙහෙත් මඩිස්සලේ මුල්තැන ගත් අරළු

මැයි 6, 2022

 

අතීත ලංකා සමාජයේ ඇත්තන්ට නැතුවම බැරි මඩිස්සල දෙකක් විය. බෙහෙත් මඩිස්සලය, බුලත් මඩිස්සලය යනු ඒ අත්‍යාවශ්‍ය මඩිස්සල දෙකයි. මෙය සෑම ගෙදරකම නැතුවම බැරි දෙයක් විය. අද මෙන් ප්‍රථමාධාර පෙට්ටි නොතිබුණ එකල සමාජයට මෙය ඉතා ප්‍රයෝජනවත් විය. ඒ බෙහෙත් මල්ලේ මුල්තැන හිමි වූයේ තිපල් කසායේ ද මුලටම ඇති අරළු නමැති දිවඔසුවට ය. ඒ ගැන මඳක් විස්තර කිරීම දැන් අපි සංස්කෘත ශ්ලෝකයකින් අරඹමු.

 

 

“පථ්‍යා පඤ්චරසායුෂ්‍යා චක්ෂුෂ්‍යා ලවණාසරා

මෙධ්‍යොෂණා දීපනි සර්වදෝෂශොථ වුණා පභා”

 

අරළු රස පහකින් යුක්තය. ඇසට ද ආයුෂයට ද හිතය. ප්‍රඥා ඇති කරයි. උෂ්ණ ද ගිනි දීපන ද තුන් දොස් නැසීම ද කෙරේ. ලුණු රස ද සාර ද වේ. අරළු වර්ග හතක් තිබේ. ජීවන්ති, රෝහිණි, විජයා, අභයා, අමෘතා, පුතනා, කාලිකා යනු ඒ සත් වර්ගයයි.

අපේ ජන සමාජය හා අරළු බැඳී පවතින්නේ ඉතා ඈත අතීතයේ පටන් බව කිව හැකිය. අම්මා තරහ වුණත් අරළු තරහ වන්නේ නෑ, අරළු වගේ තිත්තයි, යන ජන වහරවලින් ද මේ අගනා ඔසුව ගැන කියා ඇත.

සිංහලෙන් – අරළු

දෙමළෙන් – කඩුකර්ක්

සංස්කෘත –හරිතකී

උද්භිද විද්‍යා නාමය –ටර්මිනාලියා වෙබුලා

ඉන්දියාව,බුරුමය, මලයාව යනා දී රටවල ද ලංකාව මෙන් අරළු වැවෙන රටවල් වේ. ගල්ඔය. බිබිලේ, මඩකලපුව, නිල්ගල, ලුණුගල, පස්සර ආදී අපේ රටේ ප්‍රදේශවල මේ වටිනා ගස ඉතා හොඳින් වැවේ.

අරළු මධ්‍යම ප්‍රමාණයේ ගසකි. සිහින් කඳකින් හා ඝනකම සහිත අළු දුඹුරු පාට පොත්තක් මේ ගසට ඇත. කඳ පුරාම අතු බෙදී ඇත. කොළ දලු අවස්ථාවේ දී පත්‍ර බූව සහිතය. එහි හැඩය අන්ඩාකාරය. අපේ‍්‍රල් මාසයේ දී අරළු ගසේ මල් හට ගනී. ඒවා කහපාටය. එහි අමිහිර ගන්ධයක් ඇත. රතු දිගැටි ගෙඩිය සෙන්ටිමීටර් 4ක් පමණ දිගවේ. ගෙඩියේ මතුපිට කහ පැහැ දාර පහක් තිබේ. වේලෙන විට ගෙඩිය දුඹුරු පැහැයෙන් යුක්තය. අරළු පොත්තේ ගෝලික් ටැනික් අම්ල ආදී රසායනිකයන් අඩංගුව පවතී.

ගුණ වශයෙන් බලන විට කුසගිනි වඩන ආයුෂ වඩන ඇසට හිතකර තුන්දොස් නැසෙන බව ආදිය වෙද පොත්වල සඳහන් වේ. අරළු පොත්ත විවිධාකාර කෂාය සඳහා ගනු ලැබේ. ඇස් රෝග, උණ රෝග, දත්මුල් දියවීම ආදියට ද යොදා ගනියි.

වයස් භේදයකින් තොරව බොහෝ ඔසු සඳහා අරළු භාවිතා කරති. සුප්‍රකට තිපල් කසායේ තුන් පංගුවේ මුලට එන්නේ ද අරළුය. දත් පිරිසුදු කර ගැනීමට අරළු පුලුස්සා ඒ අළුවලින් දත් මැදීම නිසා දත් මුල් දියවීමේ රෝගය සුවවේ. අරළුවල ඇති විශේෂිත ගුණ නිසා කුඩා දරුවන්ට ද අරළු මුසු බේත් දෙති.

වෙදැදුරු ජේ.සී. කන්නන්ගර වියතාණන්ගේ ඔසුවන නාමාවලිය නම් පොතේ පහත සඳහන් කවියෙන් සුවිශේෂ කරුණු සඳහන් වේ.

පණපති අමොද අමයොන් ගරිඩ යවරො ද

ගිරිදා කනකපල මල සතුරු පල රද

සැකෙවින් මෙයද දන් දින අරළු නම ලද

එහි බෙය උගනු වියතුන් ඇසුරු කරසෙ ද

මේ කවිය ‘වෙද ගැටයකි. මෙයින් කියවෙන්නේ අරළු ගෙඩියේ ගුණ සහ වටිනාකම ඉගෙන ගත හැකි වන්නේ වියත් වෙදවරුන්ගේ ආශ්‍රයෙන්ම පමණක් බවය. එතරම්ම අරළු ගෙඩිය ඉතා අගනා ඔසුවක් වෙයි.

බටහිර වෙදකම රටවල ව්‍යාප්ත වෙන්නට බොහෝ කලකට පෙර සිංහලයිනට බෙහෙත් මඩිස්සලය හුරුව තිබුණ බව ජනප්‍රවාදයෙන් හා ඉපැරැණි පොත්වලින් පෙනේ. අද මේ ඔසුව ගැන දන්නේ කීයෙන් කී දෙනා ද? මෙවැනි දිවඔසු ගැන දැනගැනීම ඉතා ප්‍රයෝජනවත් වන බව පුන පුනා කිවයුතු නොවේ.

 

කලාභූෂණ ශාස්ත්‍රශූරී

ඡ්‍යොතිෂ ඉඳුවර

කිවිපති අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.