වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අවුරුද්දේ රුවට පිපෙන එරබදු
පිළිකාවට අලුත් බෙහෙත් වර්ග සොයා ගැනීම බටහිර රටවල විශේෂඥයින් වෙහෙසෙන නව යුගයේ එරබදු ඇටවලින් බෙහෙතක් සොයාගෙන ඇති බව නව වාර්තාවක දැක්වේ. මෙය තවදුරටත් විද්‍යාත්මක සොයා බැලිය යුතු ක්ෂේත්‍රයක් සේ පෙන්වා දිය හැකිය.
ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ වනගත පෙදෙස්වල සුලබව දක්නට ලැබේ. මීට අමතරව ලංකාවේ ගම්බද පෙදෙස්වල වඩාත් ප්‍රචලිතය. බංගලිදේශය, පකිස්ථානය, මැලේසියාව, මියන්මාරය, මලක්කාව, පිලිපීනය, චීනය වැනි විවිධ දූපත්වල දක්නට ලැබේ. ගෙවතුවල මායිම්වල වැටට සුදුසු අලංකාර ශාකයක් සේ සැලකේ. රතු, දම්, රෝස පාට, දුඹුරු පැහැති වන්නට පුළුවන. මාර්තු, අපේ‍්‍රල් මැයි කාලය තුළ මල් හටගනී. එනම් සිංහල අලුත් අවුරුදු මාසයේදී පමණ සිදුවන බව පෙනේ. කරල් මෝරන්නේ මැයි, ජුනි, ජූලි යන කාලසීමාවේය. බුලත් සමන්පිච්ච, මිදි, ගම්මිරිස් වැනි වැල් ශාකවලට හොඳ ආධාරක ශාකයක් ලෙස එරබදු ජනපි‍්‍රයය.
එරබදු නැවුම් පොතු සම කොළ කොටා සමේ ආබාධ හා ඉඳිමීම්වලට ප්‍රතිකාරයක් ලෙස ආලේප කෙරේ. කොළ ඉරීම, කන් කැක්කුමට හා දත් කැක්කුම සඳහා යොදා ගැනේ. එරඬු තෙල් සමඟ මිශ්‍රකොට උග්‍ර අතීසාරය සඳහා යොදා ගැනේ. මැලේසියාවේ, ඉන්දුනීසියාවේ, එරබදු පොතු සියුම් ලෙස කොටා දත් කැක්කුමට ප්‍රතිකාර කිරීම සඳහා ද යොදාගනී. මීට අමතරව දත් කැක්කුමට කපුරු එරබදු දලු, මී පැණියෙන් අඹරා දත මුල නිවැරදිව තැබීම ගුණදායක වේ.
උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ Erythrina Variegata Linn
පර්යාය නම් වනුයේ – Erythrina indica Lam
Erythrina spathacea wall
Erythrina cuneata Blanco
කුලය - ලෙගියුමිනෝසේ
සිංහල – එරබදු,එරමුදු
ඉංගී‍්‍රසි – Indian Coral tree
දෙමළ – කලිපානමුරුක්කු, කවිර්, මුන්චි, පරිසාඩම්,පාලසු, පාරිසාඩම්, සව¢සායම්, සින්සුගම් වෙනිට්ටු
හින්දි – ගොන්වා, කවාන්ච්, දඩාප්, මන්දාර
බෙංගලි – පාලිත මන්දාර්
ගුජරාටි – බන්ගාරෝ
තෙලිඟු – බඩීසා, ඉඩිටා, බරිඩාමු, මොඩුගු
සංස්කෘත – බහුපුෂ්ප, කන්ටාකි, ක්‍රිමිග්න , ක්‍රිමිෂාට්රු, මන්දර, නිබ්බටාරු, පරිභද්‍ර, රක්තපුෂ්ප එරබදු ගස ප්‍රභේද තුනකි.
කටු එරබඳු, යක් එරබඳු,කටු රහිත එරබදු
වියළි කලාපයේ බහුල වශයෙන් දැකිය හැක්කේ යක් එරබදු නමින් හැඳින්වෙන එරබදු වර්ගයයි. මෙය ඖෂධීය එරබදු වශයෙන් ගණන් නොගැනේ. ඖෂධීය ශාකයක් ලෙසින් ද මෙන්ම ගෙවතු අලංකරණ ශාකයක් ලෙසින් ද මෙයට වැඩි වටිනාකමක් හිමිවේ. සිංහල අලුත් අවුරුදු උදාවත් සමඟම එරබදු මලින් නෙත්සිත් වශීවන මට්ටමට එරබදු මලින් පිදෙන අසිරිය සමඟින් එරබදු මල් පොට්ටු පොට්ටු – අවුරුද්දක් කිට්ටු කිට්ටු යන රසවත් පැරණි කවිය ගුවන් තලය වෙත මුසු වේ.
එරබදු ඉක්මනින් වර්ධනය වන ගසකි. හොඳින් වැඩුණු ගසක් මීටර් 20ක් උසින් යුක්තව වැඩේ. වෛරම් සහිත වූ කඳ අළු පැහැතිය. එහෙත් ප්‍රභේද අනුව කටු සහිත විය හැකි හෝ නැතිවිය හැක. බොහෝ විට එක් අත්තක කෙළවර පත්‍ර තුනක් පිහිටයි. මෙම පත්‍ර තුනෙන් අවසාන කෙළවරෙහි පිහිටන පත්‍රය තරමක් විශාල වේ. පිට පොත්ත සිනිඳුය. තුනීය. කඳේ තැනින් තැන කළු පැහැති පළල් වූ පාදස්ථ කොටසකින් යුත් තියුණු තුංඩකර දක්නට ලැබේ. මල් අක්‍රමවත්ය. ද්විලිංගිකය. දීප්තිමත් ළා රතු තද රතු පැහැයෙන් යුක්තය. තරමක් මහත ඒකාක්ෂයක මල් දෙක හෝ තුන බැගින් කෙළවරට වන්ට බහුලව සකස් වී ඇත. මණි පත්‍ර පහකි. රේණු දහයකි. ඩිම්බ කෝෂය පරිණතවී කරල් හටගනී. කරලක බීජ 12 ක්වා තිබිය හැකිය. කරල් මෝරන්නේ මැයි, ජූලි යන මාසවලය.
බීජ සිටවීමෙන් හෝ අතුකැබලි සිටවීමෙන් එරබදු බෝ කර ගත හැකිය. එරබදු ශාකයේ පොතු, පත්‍ර, ඇට, දළු, මල් ආදී කොටස් රසායනික විශ්ලේෂණයට භාජනය කොට ඇත. එරබදු කොළ පොහොරක් ලෙසද යොදා ගත හැකි බැව් සොයා ගෙන ඇත.
එරබදු පොත්තේ මේද අම්ල, තිරතෙල්, රෙසින්, පොටෑසියම් කාබනේට්, පොටෑසියම් ක්ලෝරයිඩ්, අන්තර්ගතය. එරබදු බීජවලින් විෂ නැති තෙලක් නිස්සාරණය කර ගත හැකිය. අමුවෙන් කෙසේ වුව ද තම්බා බැද, බීජ ආහාරයට ගත හැකි යැයි ගෝසාල් ප්‍රමුඛ ඉන්දියානු පර්යේෂක කණ්ඩායමක් වාර්තා කොට තිබේ. ඉන්දියාවේ හිමාලයේ ඇති සමහර එරබදු ගස්වල පැහැය වෙනස් වී ඇත. කටු සහිත ශාකයේ කඳ කළු පැහැ මිශ්‍ර සුදු වෛරමකින් වර්ණවත් වී ඇති අතර කටු රහිත ගසේ කඳ තද කහ පැහැයෙන් අලංකාර වී ඇත. එහෙත් ගුණයෙන් දෙවර්ගයම එක සමානය. නමුත් යක් එරබදු නැමති වර්ගය ඖෂධයක් හෝ එළවළුවක් වශයෙන් ගැනීමට ගැමියන් පෙළඹී නැත. යක් එරබදු විවිධ සතුන්ගේ පරිහරණයට එරට වැසියන් භාවිත කරනු ලැබේ.
රස – තිත්ත, කටු
ගුණ – ලඝු
වීර්ය – උෂ්ණ
විපාක – කටු
මීට අමතරව පාචන ගුණයෙන් පොහොසත් එරබදු ශාකයේ කොළවල කෘමිනාශක ගුණය බහුලව පවතී. සියලු සර්ප විෂට හදන බෙහෙත් ගුලිවලට ද වෙනත් ඖෂධ සමඟ එරබදු ගසේ පොතු මුල් ඇතුළු කොටස් යොදනු ලැබේ. පීනසට ප්‍රතිකාර වශයෙන් හිසේ ගෑම සඳහා හිඳින තෙල්වලට සමහර ආයුර්වේද වෛද්‍යවරු යක් එරබදු කොළ ගනු ලැබේ. එරබදු නිද්‍රාජනකයි. එරබදු මැල්ලුම් දරුවන්ට ආහාරය පිණිස දුන්විට සුව නින්දක් ලැබෙන බව සමහර වෛද්‍යවරුන් සඳහන් කරයි.
සිංහල ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය තුළ ‘රක්ත පුෂ්ප’ නමින්ද හඳුන්වාදී ඇත්තේ එරබඳු ශාකය වේ. මෙම ගසේ කොළවල ළපටි කොළ, දළු ඖෂධ ලෙසින් බහුලව භාවිත වේ. මුත්‍ර අඩස්සිය. සමනය කර ගැනීම සඳහා මෙම ඖෂධීය ශාකය උපකාරී කර ගත හැකිය. දලු හට ගැනීමත් සමඟ එරබදු ශාකයේ මල් කිනිති බිහි වී කිනිත්තේ මල් හතළිහක් පමණ ඇත. එරබදු මල් මාසයකට වැඩි කලක් ක්‍රමයෙන් පිපී ලස්සන හැඩරුව පෙන්වයි. එරබදු ඇටවලින් පැළ බෝකර ගැනීමට පුළුවන් වේ. ඒත් මේ ගසේ දළඹුවන් බෝවීම ගසට වන හානියකි.
නිවර්තන කලාපයේ අර්ධගෝල දෙකෙහිම වැවෙන ශාකයක් ලෙස සැලැකේ. ශ්‍රී ලංකාවේ පහතරට වියළි ප්‍රදේශවල හා වෙරළාසන්නයේ දක්නට ලැබේ. ගාල්ල, මතුගම, මාතර, කුරුණෑගල, මැල්සිරිපුර, අනුරාධපුරය, හම්බන්තොට. පොළොන්නරුව, පුත්තලම, මහනුවර , මඩකලපුව, අම්පාර ආදී ප්‍රදේශවල එරබදු ශාකය දැක බලාගත හැක. ආයුර්වේද ඔසු උයන්වලදී සජීවි නිදර්ශන සංරක්ෂණය කර ඇත. තුවාල සේදීමට කොළ පොතු තම්බාගත් වතුර යොදයි. එරබදු ආර්ථික භෝගයක් නොවේ. කොළ සත්ත්ව ආහාර ලෙස භාවිත කරයි.
එරබදු වල මල් පිපෙන කාලයට මල්වල පෙති කඩාගෙන සිහින්ව කපා රතුලූනු. උම්බලකඩ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු ස්වල්පයක් බැගින් යොදා පොල්කිරි සහ දෙහි ඇඹුල් , ලුණු අවශ්‍ය පදමට දමා සකස් කරන මල් සම්බල පි‍්‍රයජනක ආහාරයක් සේම වා, පිත්, සෙම නසන භෝජනයක්ද වෙයි.
එරබදු පත්‍රවල පෝෂ්‍ය පදාර්ථ
තෙතමනය – 6.85%
ඊතල් නිස්සාරණය – 5.35%
ඇල්බියුමින් නොයිඩ් -16.13%
කාබොහයිඩ්‍රේට් (ජීර්ණය කළ හැකි) – 37.12%
කෙඳිති – 22.05%
අළු – 11.25%
දරුවන් ලැබුණු කාන්තාවනට එරබදු කොළ මැල්ලුම වැඩිපුර කෑමට දීම ගැමි සිරිතයි. ඊට හේතුව එසේ දීමෙන් ඔවුනට කිරි එරෙන බවට ඇති විශ්වාසයයි.
සමාජ රෝග සඳහා ප්‍රතිකාරයේදී එරබදු බහුල ලෙස යොදා ගැනේ. එරබදු නැවුම් පොතු සහ කොළ කොටා සමේ ආබාධ හා ඉදිමීම්වලට ප්‍රතිකාරයක් සේ ආලේප කෙරේ. කොළ ඉස්ම කන් කැක්කුම හා දත් කැක්කුම සඳහා යොදා ගැනේ.
කුෂ්ට රෝගයට අමු තක්කාලි, එරබදු කොළ හා පෙති තෝර කොළ සමව ගෙන කොටා යුෂ ගෙන කුෂ්ටය මත ගා පැය දෙකකට පමණ පසු නෑම ගුණදායක බව දැක්වේ. එරබදු ගසේ සියලුම අංග වාතය, සෙම සමනය කිරීමටත්, සියලුම ආකාරයේ පණුවන් මර්දනය කිරීමටත් ශරීරගත හොරි, දද, කුෂ්ට සුව කිරීමටත් අගනා ඔසුවකි.
ආයුර්වේද වෛද්‍ය ආර්.බී. ලෙනෝරා
පිවිතරු පදනම
ආර්. සනත් ලෙනෝරා