හදවතට ගුණ දෙන වැල්දොඩම්

දෙසැම්බර් 31, 2021

ලංකාවේ සියලු දෙනාම ඉතාම හොඳීන් දන්නා හඳුනන ලතාවන් වශයෙන් වැල්දොඩම් හැඳීන්විය හැකිය.වැල් දොඩම් යනු ඇඹුල් මිශ්‍ර මිහිරි රසයකින් යුතු පෝෂණ ගුණ රැසකින් යුතු අගනා පලතුරකි. මේවා දම් පැහැය, කහ පැහැය, සහ රන්වන් පහැයට හුරු පැහැයක් ආදී විවිධ ප්‍රභේද කිහිපයකින් ම යුතු වන අතර අප රට තුළද බහුල වශයෙන් දැකිය හැකිය.

බොහෝ නිවෙස් වල දක්නට ලැබෙන වැල් දොඩම් ඉතාමත් පහසුවෙන් වගාකළ හැකි පලතුරු වර්ගයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර ආහාරමය වශයෙන් ඉතා වැඩි ප්‍රයෝජනයක් ගෙන දෙන අතරම ඖෂධීය ගුණයද ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

මෙහි ආහාරමය වටිනාකම නිසාම දේශීය වෙළඳපොළ තුළ ඉතා හොඳ ඉල්ලුමක් පවතින අතර එනිසා වාණිජ වගාවක් ලෙස මෙන්ම ගෙවතු වගාවක් වශයෙන් ද වැල් දොඩම් වගා කරන ලබනවා. වැල් දොඩම් වගා කිරීමේ දී වර්ෂාව අවශ්‍ය සාධකයක් බැවින් තෙත් කලාපීය ප්‍රදේශවල ඉතා පහසුවෙන් වගා කරනු ලබන අතර වියළි සහ අතරමැදි කලාප වලත් සාමාන්‍ය ලෙස වගාකරනු ලබනවා.

වැල් දොඩම් බහුල ලෙස කළුතර, ගම්පහ, රත්නපුර සහ කුරුණෑගල වැනි ප්‍රදේශ තුළ වැවෙන අතර ගාල්ල, කොළඹ, නුවරඑළිය, මාතලේ මහනුවර, කැගල්ල, යන ප්‍රදේශවලත් සාමාන්‍ය වශයෙන් දැකිය හැකිය. එසේම අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, යාපනය ආදී වියළි ප්‍රදේශවලද ජල සැපයුම සහිතව වගා කරනු ලබනවා.

දැනට ශ්‍රී ලංකාව තුළ වගා කරනු ලබන ප්‍රභේද අතර කහ ප්‍රභේදය, දම් ප්‍රභේදය, බණ්ඩාරවෙල පර්පල්, හොරණ ගෝල්ඩ්, රහන්ගල දෙමුහුම වැනි ප්‍රභේද ප්‍රධාන වෙනවා.

වැල් දොඩම් වල ආහාරමය ප්‍රයෝජන සැළකීමේදී

පලතුරු බිම, කෝඩියල්, ජෑම්, මාමලේඩ්, පුඩින් වර්ග, අයිස්ක්‍රීම් ආදිය ප්‍රධානයි. මේ ආදී වශයෙන් වැල් දොඩම් පලතුරක් ලෙස විවිධ රසවත් වට්ටෝරු අනුව ආහාරයට එක්කර ගෙන තිබෙනවා.

වැල් දොඩම් වල ඖෂධීය ගුණ සැළකීමේ දී මෙය අගනා ඖෂධාහාරයක් ලෙස සළකනු ලබනවා.

මේ නිසාම ආයුර්වේදයේදී පවා බොහෝමයක් රෝගාබාධ සමනය කිරීමට වැල් දොඩම් භාවිතා කර තිබෙනවා. විශේෂයෙන් වැල් දොඩම් යනු ශරීරයට අවශ්‍ය සියලුම ඛනිජ ලවන සහ විටමින් අඩංගු පලතුරක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙහිදී වැල් දොඩම්වල විටමින් ජ බහුලව පවතින නිසා ශරීරය තුළ ප්‍රතිශක්තිය ඉතා ඉහළ නැංවීමට උදව් කරනු ලබනවා.එසේම ලේවල සීනි පාලනයටද උදව් කරනවා.

තවද වැල් දොඩම් යනු තන්තු බහුල පළතුරක් නිසා ආහාර ජීර්ණ පද්ධතිය නිසි ලෙස පවත්වා ගැනීමටත් බඩවැල් වල නිරෝගී තත්ත්වය රැක ගැනීමටත් හේතු වන අතර බඩවැල් වල තුවාල ඇතුළු ආබාධයන් සහ මළබද්ධය සමනය සඳහා උපකාරී වෙනවා.

එසේම වැල් දොඩම් වල පොටෑසියම් බහුල නිසා රුධිරපීඩනය සාමාන්‍ය අයුරින් පවත්වා ගෙන යාමට උදව් කරනු ලබන අතර හදවතේ ක්‍රියා දියුණු කිරීමට ද උපකාරී වෙනවා.

එසේම සෝඩියම් ප්‍රමාණය වැල් දොඩම් වල අඩු නිසා රුධිර පීඩනය අඩු මට්ටමක තබා ගැනීමට ද වැල් දොඩම් හේතු වෙනවා.

මෙනිසා වැල් දොඩම් හදවත් රෝග ඇති අයට සහ රුධිර පීඩනය වැඩි අයට ඉතා ගුණ දායක පලතුරකි.

මේ අතර වැල් දොඩම් කොළ මැල්ලුම් ලෙස සකස්කර ආහාරයට ගැනීමෙන්ද රුධිර පීඩනය අඩු මට්ටමක තබා ගැනීමට උදව් කරන නිසා බොහෝ දෙනා නිතර වැල් දොඩම් කොළ මැල්ලුම් ආහාරයට එක්කර ගනු ලබනවා.

එසේම වැල් දොඩම් වල තන්තු බහුල නිසා රුධිර නාල වල ඇති අධික කොලෙස්ටරෝල් ඉවත් කිරිමට ද උපකාරී වෙනවා.

තවද මානසික ආතතිය සහ කංසාව වැනි රෝග තත්ත්වයන් ගෙන් පෙළෙන අයට වැල්දොඩම් ඉතා ගුණදායක වන්නේ එහි මැග්නීසියම් අධික නිසයි. මෙමඟින් මොළයේ ඇති සෛලවලට ප්‍රබල ලෙස බලපෑමක් ඇති කරනු ලබන අතර මෙමඟින් මානසික නිරවුල් බව ඇති කරනු ලබනවා.

එසේම ස්නායු පද්ධතියේ ක්‍රියා වැඩි දියුණු කරන අතරම ස්නායු ආබාධ වලින් වැළකිමට ද උපකාරී වෙනවා.

එසේම වැල්දොඩම් වල විටමින් බහුලව ඇති නිසා එය ඇස් නිරෝගීව තබා ගැනීමට උපකාරී වන අතර අසේ සුද වැනි ඇස් රෝගවලින් ආරක්ෂා කරනු ලබනවා.

එසේම සමේ ප්‍රසන්න බව පවත්වාගෙන යාමට උදව් කරන අතර සම රැලි වැටීම් අඩු කරනු ලබනවා. එසේම වැල් දොඩම්වල යකඩ ඇතුළු ඛනිජලවන බහුල නිසා අස්ථි ශක්තිමත් කිරිමට උදව් කරනවා. එසේම අස්ථි දිරායාම (ඔස්ටියෝ පොරෝසිස්) වැනි රෝග සමනයටද උදව් කරනු ලබනවා.

මේ ආදී වශයෙන් සළකා බලන විට පැහැදිලි වනුයේ වැල් දොඩම් පළතුරක් ලෙස මෙන්ම

ඖෂධයක් ලෙසත් ඇතිශයින් වැදගත් බවයි. එසෙම වැල් දොඩම් කොළ වල ඇති පෝෂණ ගුණය මෙන්ම ඔසු ගුණයද ඉතා විශිෂ්ටය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.