සුබසෙත සුවසෙත

ජනවාරි 24, 2025

කුසුමාවතී ද සිල්වා - වෙලේවත්ත

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

අවුරුදු විසි එකක් වයසැති මා ගාමන්ට් එකක සේවය කරයි. මගේ මුහුණේ වම් කම්මුලේ අළුහම් මතුවෙලා. එය අප්‍රසන්න තත්ත්වයෙනුයි පවතින්නේ. බෙල්ලෙත් ඒ වගේම පැත්තක අළුහම් මතුවෙලා. ඒවා සුවකර ගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

අළුහම් කියන්නෙ සමේ ඇතිවන දිලීර සමූහයක්. එක්තැනක මතු වුණාම සිරුර පුරාම විහිදී යා හැකියි. අළුහම් බෝ වීමේ තත්ත්වයකුත් පවතිනවා. සමහර අළුහම් කසන ගතියකුත් පවතිනවා. අළුහම් තිබෙන අය පාවිච්චි කරන කොට්ට, මෙට්ට ඇඳ ඇතිරිලි වගේම පිඟන් කෝප්ප වුණත් වෙන්කර තැබිය යුතුයි. ශරීරගත උෂ්ණත්වයද මෙයට බලපානු ඇත. පේර කොළ දලු ඉස්ම අරගෙන අළුහම් මත ගාන්න. නිතරම පිරිසුදුව ඉන්න. මෙය සමේ රෝගයක් බැවින් ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්නා ප්‍රතිකාර ගැනීම සුදුසුයි.

 

කේ.ඒ.ඩී. මාලතී - සිරිමල්උයන

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

මගේ තුන්වන දරුවාගේ වයස අවුරුදු එකොළහයි. කලින් කඩිසර ගතියෙන් වැඩ කටයුතු කළ එම දැරිය දැන් දින දෙක තුනක ඉඳලා ඉන්නෙ හෝන්දු මාන්දු ගතියෙන් කිසිම කඩිසර කමක් නැහැ. ඉන්නේ මලානික වෙලා. කකුල් දෙක රිදෙනවාලු. නිවසේ උඩ තට්ටුව නඟින පඩිපේළියෙන් යෑමට පවා මැළිකමක් දක්වයි. කකුල් රිදෙනවාලු, ඇඳට වී ඉන්නයි කල්පනාව, හිසරදය තියෙනවා කියල වේදනා නාශක පෙති බොනවා. ඇඟට පණ නැති බවක් කියනවා, මේ රෝගි තත්ත්වය සුවකර ගැනීමට බෙහෙත් ලබා දෙන්න.

 

පිළිතුර

මන්දපෝෂණයෙන් පෙළෙන බව පැවසිය හැකියි. ක්ෂණික ආහාර ලබාදීමෙන් වැළකී පෝෂණීය ආහාර ලබා දෙන්න. සාරණ, ගොටුකොළ, නිවිති, කතුරුමුරුංගා, තම්පලා ආහාරයට එක්කරන්න. නැවුම් එළවළු වඩාත් ගුණදායකයි. බෝංචි, සෝයා බෝංචි, කඩල, මුංඇට, කවුපි, උඳු ආහාරයට එක් කරන්න. පෝෂණීය ගුණයෙන් ඉහළ ආහාර ලබා දෙන්න. දරුවා ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ලබාගැනීම වඩාත්ම සුදුසුය.

 

පී. සෝමවතී - වාද්දුව

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, ලණු අඹරන මැෂිමක වැඩ කරන මම පනස්හය හැවිරිදි කාන්තාවකි. දැනට වසර තුනක සිටම එහි සේවය කරමි. දැනට සති දෙකක් පමණ සිට දකුණු අත පැත්තේ උරහිස රිදෙනවා. සමහර වේලාවට දරන්න බැරි වේදනාවකුයි එන්නේ. ඒ වෙලාවට සර්ව විෂාදිය තෙල් ටිකක් ගානවා. ඉන් වේදනාව අඩුවෙනවා. තද කැක්කුමක් දැනෙන්නේ රෑට සහ උදේටයි. මේ සඳහා කළයුතු ප්‍රතිකාරයක් සඳහන් කරන මෙන් ඉල්ලමි.

 

පිළිතුර

උරහිසේ වේදනාව ආ පසුව අනෙකුත් නැවෙන දිග හැරෙන තැන්වලත් වේදනාව ඇතිවිය හැකියි. අධික ලෙස වෙහෙසට පත්වන විට අත් ක්‍රියා කරන විට එසේ වේදනාව ඇතිවේ. මෙවැනි අවස්ථාවලදී උෂ්ණාධික ආහාරවලින් වැළකීම ගුණදායකයි. නිදාගන්නා විට උරහිසට බරක් ඇති නොවන විදියට නිදාගත යුතුයි. සුදුළූනු සමඟින් ආහාර ගන්න. එළඟිතෙල් මිශ්‍රකර ආහාර ගන්න. නාරායන තෛලය, අශ්වගන්ධ තෛලය උරහිසේ ගා හොඳට අතගාන්න. වඩාත්ම සුදුසුවන්නේ ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගැනීමය.

 

ඒ.කේ.ඩී. සුමනරත්න රත්කරව්වල

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම වයස තිස් අටක ගරාජ් එකක වැඩ කරන කාර්මිකයෙකි. දින කීපයක සිට දවල්ට ආහාර ගත් පසුවත් රෑට ආහාර ගත් පසුවත් බඩේ වේදනාවක් ඇති වෙනවා. ඔක්කාරයක් එනවා. යටි බඩේ කැක්කුම නම් ටිකක් වේදනාත්මකව පවතිනවා. මුත්‍රා පිටකරන කොටත් වේදනාවක් ඇතිවනවා. ඒ නිසා දොස්තර මහත්තයෙකුගෙන් දෙවරක්ම බෙහෙත් ගත්තා. ඒවාටවත් අඩු වුණේ නැහැ. මෙය සුව කර ගැනීමට කුමක් කළයුතුද යන්න දැන ගැනීමට අවශ්‍යයයි.

 

පිළිතුර -

මුත්‍රාශ්මරී රෝගයයි හටගෙන ඇත්තේ. අක්කපාන කොළ සලාදය, කුප්පමේනිය කොළ ව්‍යාංජනය, නීරමුල්ලිය, පොල්පලා කොළ, රණවරා, හාතාවාරිය, බෙලිමුල් තම්බා බීමට ගන්න. වැටකොළු, පතෝල වැනි දියර එළවළු, ඉදුණු ගස්ලබු, කෝලිකුට්ටු, අමු නෙල්ලි ආහාරයට ගන්න. උණුකර නිවාගත් ජලය බීමට ගන්න. තෙල් බැදුම් තෙම්පරාදු කිරීම් පිටි හා අලවර්ග ක්ෂණික ආහාර නොගන්න. වේදනාව අඩු නොවන්නේ නම් ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්නා ප්‍රතිකාර ලබා ගන්න.

 

අසෝකාද සිල්වා - ජඹුරලිය

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මාගේ පියාගේ වයස අවුරුදු හැට හතරකි. මා ගෙදර උයන පියන විදියට තුන්වේලටම පියාට කන්න දෙනවා. ඒත් හැම වේලාවකම කියන්නේ ඇඟට පණ නැහැ. නිතරම නිදිමත එනවා. පත්තරයක් බලන්නවත් හිත දෙන්නේ නැහැ කියමින් අනෙක 'දුවේ උඹලා කන බොන දේ මට අල්ලන්නේ නැහැ' කියමින් ඇඳට යනවා. එබැවින් වෛද්‍යතුමනි පියාගේ මේ තත්ත්වයට කළයුතු යමක් තිබේ නම් උපදෙසක් ලබා දෙන්න.

 

පිළිතුර -

වයස්ගත වූ විට නිසි පෝෂණයෙන් යුත් ආහාර ලබාදිය යුතුය. ආහාර වේලට යකඩ අයඩින් තිබිය යුතුය. කාබෝහයිට්ඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද, ඛනිජ නිසි අයුරින් තිබෙන එළවළු හා පලතුරු කෑමට දීමට පියවර ගන්න. මුං ඇට, කඩල, පරිප්පු, උඳු වැනි ධාන්‍යවර්ග මෙන්ම කුරක්කන්, තිරිඟු වැනි ධාන්‍යමය ආහාර ද ලබා දිය යුතු ය. බෝංචි, මෑකරල්, දඹල වැනි එළවළු ද ඉතා හොඳයි. සමබල ආහාර වේලට ප්‍රෝටීන්, ඛනිජ, බී විටමින් අඩංගු බැවින් එම ආහාර වේල සකස් කර දෙන්න. පවතින රෝගී තත්ත්වය අඩුවී යයි.

 

නාලිකා ද සිල්වා ගංතොට

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මගේ එකොළොස් හැවිරිදි පිරිමි දරුවා නින්දෙන් පිබිදුණු වේලාවට කිවිසුම් අරින ගතියක් තියෙනවා. එමෙන්ම නාසයෙන් සොටු දියර ගලනවා. ඇස් දෙකත් කසනවා කියනවා. සමහර වෙලාවට කඳුළු ගලනවා. ඔළුව රිදෙන බවක් කියනවා. ඒ නිසා දොස්තර මහත්මයකුට පෙන්නා බෙහෙත් ගත්තා. ඒ බෙහෙත්වලට කිවයුතු සුවයක් තවම ලැබුණේ නැහැ. එබැවින් කළයුතු ප්‍රතිකාරයක් ගැන සඳහන් කරන්නේ නම් හොඳයි.

 

පිළිතුර -

බෙහෙත් ලබාදෙන්නේ රෝගය අනුවයි. බෙහෙත් බිවූ සැණින් රෝග සුවවෙන්නේ නැහැ. ඒකට කාලයක් අවශ්‍යයි. ඉංගී‍්‍රසි වෙදකමේ දී වගේම සිංහල වෙදකමේදී ක්ෂණිකව රෝග සුවවන්ට බෙහෙත් දෙන්නේ නැහැ. දෙන ලද උපදෙස් අනුව රෝගියාට බෙහෙත් දියයුතුයි. නිසි සුවයක් නොලැබුණොත් පමණක් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්න.

 

විල්ෆ්‍රඩ්ද සිල්වා - මීපේ,

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම පනස් අට හැවිරිදි විශ්‍රාමික රජයේ සේවකයෙකි. ආහාර ගත් විට බඩ රිදෙන ගතියක් ඇතිවෙනවා. යටි බඩේ වේදනාව ටිකක් වැඩියෙන් තියෙනවා. මුත්‍රා කරන විට දන ගතියක් වේදනාවක් පවතිනවා. මුත්‍රාවල තද රස්නයක් තියෙනවා. ඉඳහිට ඔක්කාරයක් තියෙනවා. වෛද්‍යතුමනි මෙය සුවකර ගැනීමට උපදෙසක් පතමි.

 

පිළිතුර -

සඳහන් කර ඇති විස්තරය අනුව පවතින්නේ මුත්‍රාශ්මරී රෝගයයි. නිසි ප්‍රතිකාරයක් ලබා දීමට නම් රෝගියා පරීක්ෂා කළ යුතුයි. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න. අක්කපාන කොළ සලාදය කුප්ප මේනියා කොළ ව්‍යාංජනය, නීරමුල්ලිය, පොල්පලා, රණවරා, හාතාවාරිය, බෙලිමුල් වැනි ඖෂධ තම්බා එම ජලය බීමට ගන්න. වැටකොලු, පතෝල වැනි දියර එළවළු වගේම ඉදුණු ගස්ලබු, කෝලිකුට්ටු, අමුනෙල්ලි ආහාරයට ගන්න. නිතර නිවාගත් ජලය බීමට ගන්න. තෙල් බැදුම් තෙම්පරාදු කිරීම් හා අලවර්ගත් ක්ෂණික කෑම ජාතිවලින් වළකින්න.

 

පි‍්‍රයානි ප්‍රනාන්දු - කඹුරුගමුව

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම දහ අට හැවිරිදි පාසල් සිසුවියෙක්මි. මගේ මුහුණේ කුරුලෑ ඇවිත් මුහුණ අවලස්සන වී ඇත. මුහුණේ තෙල් ගතියක් ද ඇත. කුරුලෑ මිරිකුවාම ඉස්ම සමඟ කිරිපාටට ගොරෝසුවට අබ ඇටයක් තරම් දියරයක් පිටවෙනවා. එය සුවකර ගැනීමට ඔබතුමාගේ පිහිට පතමි.

 

පිළිතුර -

මුහුණේ අලංකාරයට යම් යම් ආලේප ගෑමෙන් හා සමහර සබන් විෂවීමෙන් මුහුණේ සම විෂවීමෙන් කුරුලෑ හටගත හැකියි. පෙනුම වර්ධනය කර ගැනීමට ගාන ක්‍රීම් ජාතිද විස වේ. ශරීරගත උෂ්ණත්වය නිසා රත්පිත නිසාත් කුරුළෑ හටගනියි. මුං ඇට පිටි, අමුකහ, කොහොඹ දළු, සුදුහඳුන්, වෙනිවැල්ගැට එක පමණට ගෙන ඇල්වතුරෙන් අඹරා කුරුලෑවලට ගාන්න. කොකුම් පොතු, කොහොඹ පොතු, පොල් සමඟ අඹරා කුරුලෑ මත ආලේප කරන්න. කොහොඹ දලු, කොකුම් පොතු, පැසුණු පොල් මිටක් පමණ ගෙන අඹරා කුරුලෑ ඇති මුහුණේ ආලේප කරන්න. කොහොඹ දලු සියඹලා කොළ ටික ටික ගෙන තම්බා හුමාලය මුහුණට අල්ලන්න. කලාඳුරු අල ඇල්දියෙන් අඹරා කුරුලෑ මත ගාන්න.

 

ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.