ඔබේ කේශ කල්‍යාණය මෙසේ රැකගන්න

මැයි 17, 2024

 

පංච කල්‍යාණයෙන් එකක් වන කේශ කල්‍යාණය කෙරෙහි එදා අපේ කාන්තාවන් දැක්වූයේ මහත් ආදරයක් ළැදිකමක්. මේ නිසා කෙස් කලඹ රැක ගැනීමට දේශීය වශයෙන් ගන්නා වූ ඖෂධ උපයෝගී කරගනු ලැබුවේ කෙස්වල වර්ණය රැක ගැනීමටත් කෙස් ගැලවීයාම නවතාලීමටත් හිසේ හටගන්නා වූ හිස්හොරි වළකාලීමටත්ය.

විශේෂයෙන් කෑමෙන් බීමෙන් හා ඇවතුම් පැවතුම් ක්‍රම මඟිනුත් කෙස් කලඹ ආරක්ෂා කර ගැනීමට පියවර ගත්හ. වර්තමානයේ මෙන් කෙස් කලඹ වර්ණවත් කිරීමක් හෝ කෙස් දඟර ගැසීමක් රැලි ගැසීමක් හෝ නොකළහ. මේ නිසා කෙස්කලඹ නීරෝගී විය. කෙස්වල වර්ධනය ද බෙහෙවින් සිදු වන සෑම ආහාර වේලකටම එළවළු සහ පලතුරු වැඩියෙන් එක්කර ගැනීමට ඔවුන් උනන්දු විය. අවේලාවේ නෑමෙන් හා හිස සේදීමෙන් වැළකී සිටියහ. පාරම්පරික හෝ දේශීය වෛද්‍යවරුන් විසින් සිඳිණු ලැබූ ඖෂධීය තෙල් වර්ග පමණක් හිසට දමන ලදි. කෙස්මුල්වලට හොඳින් කාවදින ලෙස මේ තෙල් ඇඟිලිවලින් තවරන ලදී. මේ නිසා කෙස් ගස් ප්‍රාණවත්ය. අලංකාරවත්ව වැඩෙමින් පැවතිණි.

කෙස් කලඹට සිදු වන දේ

අකලට හිසකෙස් සුදුවීම කෙස් කැඩීයාම වැටීම මෙන්ම දුර්වර්ණ වීම පිළිබඳව බෙහෙවින් ළතවෙන්නේ කාන්තාවන්ය. මේ සඳහා හේතු ගණනාවක්ම ඇත. ළමා කාලයේදී පැසීම නොහොත් සුදුවීම තරුණ කාලයේදීත් එසේම සුදුවීම හා පැසීම සුදු වර්ණවීම සිදු වේ. මෙවැනි තත්ත්වයන් රෝගී තත්ත්වයන් හේතුවෙන්ද සිදු වන අතර ගන්නා ලද ආහාර නිසාද සිදු විය හැකිය. මවුපියන්ගේ හිසකෙස් සුදු වී ඇත්නම් සමහර විට ඒ දරුවන්ගේ හිසකෙස් ද සුදු විය හැකිය. එමෙන්ම පීනස ආදිය නිසාද සමහර අයගේ හිසකෙස් සුදු වේ. නාසාගත රෝගාබාධවලින් පෙළෙන අය ගන්නා සමහර බෙහෙත් නිසාද කෙස් සුදුවීම ඇති කෙරේ. එසේ කෙස් සුදු අයට දේශීය ප්‍රතිකාර ගැනීමෙන් නැවත යථා තත්ත්වයට පත් විය හැකිය. කාන්තාව වඩාත්ම මානසික පීඩනයට පත්වන්නේ හිසකෙස් ගැලවී යෑමෙනි.

පනාවෙන් හෝ කෙඳි සහිත පනා විශේෂයකින් හෝ හිස පීරනවිට පොතු ගැලවී ඇඳහිටි ඇඳුමට කුඩු හෝ පොතු වශයෙන් වැටී තිබීම ඔවුන්ගේ මානසිකත්වයට බෙහෙවින් බලපානු ඇත. ඒ කෙස් කෑලි පොතු අන් අයගේ නෙත ගැටීමෙන් ඇතිවන ලැජ්ජාව හේතුවෙනි. හිස කෙස් ගැලවී යාමකින් ද කාන්තාවන් දැඩි මානසික පීඩනයට පත් වේ. හිසේ පිහිටි සමේ රෝග නිසා හිසකෙස් කැඩී ගැලවී යාමක් සිදු වේ. මන්දපෝෂණය හිස කෙස්වලට ඔරොත්තු නොදෙන ආලේපන රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පු වර්ග සුවඳවිලවුන් වර්ග ගැල්වීමෙන් කෙස්වලට හානි සිදු වේ. හිසේ හටගනු ලබන රෝග අතර ප්‍රධාන වශයෙන් වධ දෙන රෝගයකි හිස්හොරි. හිස්හොරි තිබීමෙන් හිස පීරනවිට පොතු කෑලි මෙන් සියුම් කුඩා කෑලි විශේෂයක් පනාවට සිරී උඩුකයට අඳිනු ලබන ඇඳුම්වලට වැටෙන අතර සුළඟට ද ඒවා පතිත වේ. මෙවැනි අවස්ථාවලදී තමා ඉන්නා තැන නොතැන නොබලා ඇඟිලි තුඩුවලින් හිස කැසීමට පෙලඹේ. මේ ක්‍රියාව නිසා ඇඟිලිවල පිහිටි නියපොතුවලට හිස තුවාල වී කෙස්මුල්වලට ද හානි සිදු වේ.

ශරීරයේ පවතින උෂ්ණත්වය හේතුවෙන්ද හිසට පෝෂණයක් නොලැබීමෙන් ද අහිතකර රසායන ද්‍රව්‍ය හිසට ආලේප කිරීමෙන් ද හිසකෙස්වල තත්ත්වය අඩපණ කිරීමට හේතු වේ. හිස සෝදන විට දෙහි ඇඹුල් ස්වල්පයක් ජලයට මිශ්‍රකොට හිස සේදීමෙන් හිසකෙස් ආරක්ෂා කර ගැනීමට හැකි වේ. නෙල්ලි, වෙරළු, පේර, මුද්දරප්පලම්, පෙයාස්, ඇපල් වැනි පලතුරුවර්ග කෑමට ගත යුතුය. පිරිසුදු ජලය පානය කිරීම ඉතාම වැදගත්ය. අධික ඇඹුල් සහිත කෑම බීම රාත්‍රි නිදිවැරීම වැඩි වේලාවක් ස්නානය කිරීම ආදි කරුණු හිස කෙස් වැටීමට හේතු වේ.

ප්‍රතිකාර

කීකිරිඳිය, මුකුණුවැන්න මුල් අමු නෙල්ලි ගෙන වෙන වෙනම කොටා යුෂ වෙන වෙනම එක පමණට ගෙන කිරිද එක් ප්‍රමාණයකට ගෙන දමා තලතෙල්, එරඬු තෙල්, එළඟිතෙල්, කලින් යුෂ වෙන් කරගත් ප්‍රමාණයෙන් භාගයක් පමණ ගෙන ගන්නා ලද යුෂට කලවම් කර ළිප තබා හොඳින් කකාරවා ගෙන දෙහිගැට තුන හතරක් ගෙන කපා උළුහාල් සමඟ තම්බා අඹරා නිවා හිසේ ගා ටික වේලාවක් සිට ස්නානය කළ යුතුය. එය හරියාකාරව කරන්නේ නම් හිස් හොරි දුරුවී යථා තත්ත්වයට පත් වේ.

හිස කෙස් වැටීම

 

අකලට හිසකෙස් වැටීම නිසා කාන්තාවෝ බෙහෙවින් මානසික පීඩනයට පත්ව සිටිති. මෙයට හේතුවන්නේ ශීර්ෂ රෝග හෙවත් හිසේ හටගනු ලබන රෝගයි. කුසගින්න දරා සිටීම මූත්‍රා හා පිපාසා වේග වළක්වා ගැනීම ප්‍රමාණය ඉක්මවා ආහාරගැනීමද පිත්, වා, සෙම් කුපිත වන ආකාරයට නුසුදුසු ක්‍රියාවල නිරත වීම හා ආහාර ගැනීමද අධික ශීත කළ ආහාර හා පානවර්ග ගැනීමද හිසේ රෝගවලට තවත් හේතුවකි. සමෙහි ප්‍රධාන උපාංගයක් වන කෙස් චර්මයේ තිබෙන්නාවූ කෙරටින් සෛල චර්මය දෙසට වර්ධනය වීමක් හට ගනී. කෙස් ගහක් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. එය කෙස් ගසේ කඳ සහ කේශ මූලය යනුවෙන් හැඳින්වෙයි.

සවස් කාලයේ නෑමත්, රාත්‍රියේ නිදිවැරීමත් ඉතාම අගුණයි. දිගු කෙස් කලඹක් තිබේ නම් සවස් කාලයේ ස්නානය කිරීමෙන් පසු වියළෙන්නේ නැත. ගසමුල තෙතමනය නිසා කෙස් ගසට නිසි සේ පෝෂණය නොලැබීමෙන් කෙස් හැලී යයි. සුදු පැහැ ගැනීමටත් බලපායි. මානසික උද්වේග හිසට බෙහෙවින් බලපායි. එමෙන්ම ඊර්ෂ්‍යාව, කේන්තිය හිසට තදින්ම බලපායි. ඍජුවම ඇතිවන සුළු සුළු පීඩාවන් නිසාත් කෙස්ගස දුබල වෙයි. මෙවන් තත්ත්වයන් ඇතිවීමෙන් කෙස් ගස් පැළීම කඩිනම්ව සිදු වෙයි. කෙස්වල දීප්තිය හා ආරක්ෂාව ඇති කර ගැනීමට ඇල්වතුර වීදුරුවකට තේකොළ හැන්දක් දමන්න. එසේ දැමූ තේකොළ සහිත ජලය වෙනත් භාජනයකට දමා රත් කරන්න. රත්වූ පසු ළිපෙන් ඉවතට ගෙන නිවුණු පසු දෙහි ඇඹුල් ටිකක් දමා හිසකෙස්වල ගාන්න. මෙසේ දින දෙකක්වත් නෑමට පෙර කළ යුතුය.

 

පෝෂණය

හිසකෙස්වල මනා පැවැත්මට පෝෂණය අත්‍යවශ්‍ය වේ. එම නිසා නීරෝගී කෙස් කලඹක් සඳහා මිශ්‍ර ආහාර වේලක් ගත යුතුය. ඒ සඳහා එළවළු, පලතුරු, ධාන්‍ය ඇට වර්ග, තෙල්වර්ග කිරි ජලයද අඩංගු ආහාරය ඉතාම අත්‍යවශ්‍යය. කැල්සියම් අයඩින්, සින්ක් සහ විටමින් වර්ග ලබා ගෙන කොළ, මල්, ගෙඩි, දලු, මුල්, අල ආදි ආහාර ද්‍රව්‍ය ගැනීමෙන් කෙස් වඩාත්ම ශක්තිමත් වේ.

බත්තරමුල්ල, පැලවත්ත,

රාජපුර වෙද මැදුරේ,

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.