වර්ෂ 2024 ක්වූ November 01 වැනිදා Friday
අධික උණුසුම් කාලගුණයට ආයුර්වේදීය පිළියම්
අම්මෝ, පුදුම රස්නයක්නේ, ඇඟම පිච්චිලා යනවා, මුළු ඇඟම දනවා, දහදියෙන් මුළු ඇඟම තෙත්වෙලා. නින්ද යන්නෙත් නැහැ. රෑ පුරාම ඇඟ සෝදනවා. ඇඟ පුරාම බිබිළි, කසනවා, කුෂ්ඨ වගෙයි, වතුර පිපාසය ඉවසන්නම බැහැ. ඇඟට කටු අනිනවා වගෙයි. ඔළුව, අතුල්, පතුල්, දැවිල්ල, වැසිකිළි යන්නත් අමාරුයි. බඩ වේළිලා.
මෙවැනි කතා මේ දිනවල ඔබේ ගෙදර, කන්තෝරුවේ පාසලේ දී, මහ පාරෙදි, කඩ පිලෙහි දී ඇසෙන මැසිවිලිය.
ලංකාව සමකයට ආසන්නව පිහිටි රටක්.ඉතින් ඔබ දන්නවා මාර්තු, අප්‍රේල්වල ඉර මුදුන් වන්නේ සමකයට ආසන්නවයි. ඒ නිසා මේ කාලසීමාවේදී කොයි වසරෙත් තද උණුසුමක් අපට පවතිනවා. එහෙත් මෙවර ඒ උණුසුම ඉතාම වැඩියි. දරාගන්නම බැරි උණුසුම් කාලගුණයක් දිවා රාත්‍රී දෙකේම මේ උණුසුම තදින් දැනීම අපට දරා ගැනීමට අපහසුයි. අපගේ ක්‍රියාශීලී බව නැවුම් බව මේ නිසා නැතිවෙලා ගිහින්.
පුද්ගලයෙකුගේ ශරීර බරෙන් 50% - 70%ක් දක්වා ප්‍රමාණයක් ජලය පවතින බව ඔබ දන්නවාද? අපගේ සෑම ඉන්ද්‍රියයකම ක්‍රියාකාරීත්වයට ජලය අවශ්‍යයි. ඉන්ද්‍රියන් චලනයේදී ලිහිසි ද්‍රව්‍යයක් ලෙස, ආහාර ජීර්ණයට ආහාර අවශෝෂණයට රුධිර සෛල සංසරණයට හෝමෝන වර්ග ශ්‍රාවයට ශරීරයේ ක්‍රියාකාරීත්වය නිසා පටකවල ඇතිවන අපද්‍රව්‍ය එනම් දහදිය මළ මූත්‍ර ලෙස පිටකිරීමට, රසායනික ක්‍රියාකාරීත්වයන් තුලනය කිරීමට විටමින්, ග්ලුකෝස්, මේද අම්ල, ඔක්සිජන් පරිවහනයට ජලය අත්‍යවශ්‍යයි. පුද්ගලයෙකුට දිනකට සාමාන්‍යයෙන් ජලය ලීටර් 2 - 2 1/2 ක් පමණ අවශ්‍ය වූවත් පරිසර උෂ්ණත්වය අධික මෙවැනි කාලවල ශරීරයෙන් අධික ලෙස දහදිය පිටවීම නිසා ඉහත කී ක්‍රියාවන් අඩපණ වෙනවා. එම නිසා අපට අධික විඩාබර ගතියක් මානනසික නොසන්සුන්තාවයක් ඇති වෙනවා.
අධික ලෙස දහදිය පිටවීම නිසා, ශරීරයට අවශ්‍ය පමණ ජලය නොමැති වීමෙන් විජලනය, මූත්‍ර ආසාදන, මූත්‍ර ගල්, මළ බද්ධය, ශරීරයේ දුර්ගන්ධය, චර්ම රෝග, ගුද මාර්ගය ආශි‍්‍රත අර්ශස්, ගුද පාක, ගුද දාහ, ගුද මඟ පැළීම් (පරිනර්තිකා) ඇති විය හැකි රෝගයි.
ආයුර්වේදයේ උපත සිදුවී ඇති භාරතයේ අපේ රටට සාපේක්ෂව විශාල ලෙස සෘතු විපර්යාස ඇති වෙනවා. එම නිසා ආයුර්වේදය ඉගෙන ගැනීමේ දී ස්වස්ථවෘත යටතේ සෘතුචර්යා නමින් වෙනම අධ්‍යයනයක් ඇත. එක් එක් සෘතුවලදී සිදුවන කාලගුණික විපර්යාසවලට ගැළපෙන චර්යා, ඖෂධ වෙන වෙනම දක්වා ඇත. මෙවැනි කාලවලට ගැළපෙන, ශීත ගෘහ, ජල තටාක ශීතධාරා ප්‍රතිකාර සහ පිත්ත ශාමක ප්‍රතිකාර පිළිබඳව දක්වා ඇත. එම නිසා මේ දිනවල දී අප රටෙහි පවතින උෂ්ණ කාලගුණයට අදාළව පිළිපැදිය යුතු කරුණු මොනවාද බලමු.
පිරිසුදු ජලය නිතර නිතර පානය කිරීම. ඉතාම කුඩා ළදරුවන්ට මව්කිරි නිතර නිතර ලබාදීමෙන් ඔවුන් විජලනයෙන් වළකා ගැනීම.
අව්වේ කරන ක්‍රීඩාවන්, අධික ලෙස කය වෙහෙසන ක්‍රියාකාරකම්, ක්‍රීඩා උත්සව, විනෝද චාරිකා හැකිතාක් අවම කිරීම.
වරින් වර සිසිල් ජලයෙන් ඇඟ සේදීම. නියුමෝනියා වැනි රෝගවලින් පෙළෙන අය හැර අන් අයට දිනකට කීප වරක් ස්නානය යහපත්ය.
සරල ළා පැහැයට හුරු කපු රෙදිවලින් කළ ඇඳුම් භාවිතය.
කෙඳි සහිත ආහාර, පලතුරු, පලාවර්ග ආහාරයට ගැනීම.
උෂ්ණ ගුණයෙන් අධික ආහාර ගැනීමෙන් වැළකීම.
උදාහරණ - තක්කාලි, අන්නාසි, අඹ, අච්චාරු, බල මාළු, ඉස්සන්, දැල්ලන් වැනි ආහාර
කොමඩු, කැකිරි, පිපිඤ්ඤා, පුහුල්, දියලබු වැනි හිතකර ආහාර නිතර කෑමට එක්කර ගැනීම.
සුදුසු පාන වර්ග පිරිසුදු ජලය තැඹිලි, කුරුම්බා වතුර, අමු නෙල්ලිවලින් පිළියෙල කළ බීම, බෙලි කොළ තම්බා පානය, බෙලි කොළ තම්බා ස්නානය, කිරීමෙන් ශරීර දුර්ගන්ධය දුරු කරයි. ඉරමුසු පානය (ඉරමුසු තැම්බූ වතුර කැඳ දාහය සමනය කරයි. සමේ කුෂ්ඨ කැසිලි, ලප, කැලැල්, හිරු රශ්මිය නිසා ඇති වූ දුර්වර්ණය නැති කරයි.
කොත්තමල්ලි තැම්බූ වතුර - මූත්‍ර ශෝධනය කරයි. මූත්‍ර දැවිල්ල නැති කරයි.
පොකුරු වද මල් කැකුළු උතුරන වතුරට දමා පෙරා සීනි ලුණු, දෙහි ඉස්ම යොදා පානය. සමේ කළු පැහැය අව පැහැය නැති කරයි.
නෙල්ලි රසකිඳ තම්බා පානය. රක්තය පිරිසුදු කරයි.
පොල්පලා, නීරමුල්ලිය තම්බා පානය, මූත්‍රා ගල් සෑදීම අවම කරයි. මූත්‍රා පිරිසුදු කරයි.
විශේෂයෙන් මේ ඖෂධීය පාන දිනපතා එකම වර්ගයක් පානය නොකිරීමට වග බලා ගන්න.
මේ සඳහා අත් බෙහෙත්
අධික දහදිය දැමීම, ශරීර දුර්ගන්ධය, දාහයට, සැවැන්දරා මුල් චූර්ණය, ඇල්වතුරෙන් අඹරා ශරීරයේ ආලේපකර පැයකට පසුව සෝදා හරින්න.
මූත්‍රා දාහයට සැවැන්දරා මුල් චූර්ණය තැඹිලි ගෙඩියක ඇස්ස කපා එයට දමා වසා රැයක් පින්නේ තබා උදෑසන හිස් බඩ පානය කිරීම.
අධික පිපාසයට සැවැන්දරා මුල් තැම්බූ ජලයට තිප්පිලි කුඩු ස්වල්පයක් දමා පානය කිරීම.
සර්වාංග දාහයට සුදු හඳුන් කුඩු, තැඹිලි ගෙඩියක ඇස්ස කපා ඇතුළට දමා ඇස්ස හොඳින් වසා රැයක් පින්නේ තබා පානය.
දාහයට පත්පාඩගම් තනිකර තම්බා පානය කිරීම.
උදර දාහ, මූත්‍ර දාහයට අමු කොත්තමල්ලි සෝදා මඳක් තළා රාත්‍රියට පිරිසුදු ඇල්වතුර වීදුරුවකට දමා උදෑසන හිස් බඩ පානය කිරීම.
මළ බද්ධයට අරළු චූර්ණය මේස හැඳි එකක් පමණ ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකට දමා වසා රැයක් තබා උදෑසන පානය කිරීම වඩා වැදගත් වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශීය වෛද්‍ය පීඨයේ
වෛද්‍ය අනෝමා ගොඩගම්පල