කොන්ද කෙළින් තියාගන්න මේ යෝගාසන කරන්න

ඔක්තෝබර් 25, 2024

තාක්ෂණයේ දියුණුවත් සමඟ විවිධ කාර්‍යයන් පහසු කර ගැනීම සඳහා විවිධ උපකරණ රැසක් අපි ප්‍රයෝජනයට ගනිමු. මේ නිසා අප ශරීරයට ලැබෙන ව්‍යායාම හෝ වැයවන ශක්ති ප්‍රමාණය ඉතා අවම මට්ටමක පවතියි. අතීතයේ අපේ මුතුන් මිත්තන්ට වඩා වැඩි වේගයකින් වර්තමානයේ දරුවන්ගේ සිට මහලු අය දක්වා රෝගවලින් පීඩා විඳීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක පවතියි. ඒ අතර වර්තමානයේ පුද්ගලයන් අතර විශේෂයෙන් දකින්නට ලැබෙන රෝගාබාධයක් ලෙස කොන්දේ වේදනාව ප්‍රමුඛ වේ. එයින් පීඩා විඳීන බාල මහලු කාටත් සුදුසුම විසඳුමක් ලෙස යෝග අභ්‍යාසවල යෙදීම පෙන්වා දිය හැකිය.

මේ ලිපිය දිග හැරෙන්නේ යෝග අභ්‍යාස අපේ ශරීර සෞඛ්‍යයට කෙතරම් යෝග්‍යය ද යන්න සොයා බැලීමටයි. සෑම වසරකම ඔක්තෝම්බර් මස 16 වැනි දින ලෝක කොදු ඇට පෙළ දිනය සැමරේ. නීරෝගිව සෞඛ්‍ය සම්පන්න ජීවත් වීමට සෞඛ්‍ය සම්පන්න කොදු නාරටියක් තිබිය යුතුමයි. එහි යම්කිසි සමබරතාවයක් නොමැති වූ විට බොහෝ දෙනකුට කොන්ද ආශ්‍රිතව විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ. දිනපතා යෝග අභ්‍යාසවලට හුරු වීමෙන් හොඳ කොඳු ඇට පෙළක් ඇති වී නිරෝගී සම්පන්නව ජීවත් වීමට අවස්ථාව උදා වේ. එනිසා කොඳු ඇට පෙළ ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා ඔබට සුදුසු යෝග අභ්‍යාස පුහුණු කිරීමට සිදුවේ.

නිරන්තරයෙන්ම සිදු කරන යෝග අභ්‍යාස ක්‍රම සිරුරේ නම්‍යශීලී බව සහ ඉරියව් වැඩිදියුණු කරන අතර කොඳු ඇට පෙළට ආධාර කරන මාංශ පේශී ශක්තිමත් කරයි. එමෙන්ම ආතතිය අඩු කිරීමට ද උපකාරී වන බව වෛද්‍යවරු පවසති. යෝග මඟින් ඔබේ කොඳු ඇට පෙළ ශක්තිමත් හා නිරෝගීව තබා ගත හැකි හොඳම යෝග අභ්‍යාස ක්‍රම කිහිපයකි.

ඩව්න්වර්ඩ් ෆේසින්ග් ඩෝග්

(Downward-facing dog)

යෝගාසනවල නියැළෙන නවකයන් අතර අධෝ මුඛ ස්වනාසනය ලෙසින් හඳුන්වන මේ යෝග අභ්‍යාස ක්‍රමය ඉතාම ජනප්‍රිය එකකි. මේ අභ්‍යාසය මඟින් පිටුපස මාංශ පේශී ශක්තිමත් කර කොඳු ඇට පෙළ සෘජු කරයි. මෙහිදී අත් සහ දණහිස්වලින් ආරම්භ කර පසුව ඔබට හැකි තරම් ඉණ ඉහළට එසවීමට සිදු වේ. මේ ආසනය ම ආකාරයේ හැඩයක් ගනියි.

කැට් කව් පෝස්

(Cat-cow pose)

මර්ජාරියාසන බිතිලාසන ලෙසින් හඳුන්වයි. මේ අභ්‍යාස ක්‍රමය අත් සහ දණඉස්වලින් ආරම්භ කරන්න. මැණික් කටුව උරහිසට සමාන්තරව පහළට සිටින සේත්, දණහිස ඉණට සමාන්තරව බිමට වන සේත් පළමුව කොඳු ඇට පෙළ පහළට කරන්න. ඒ සමඟම හිස ඉහළට ඔසවා ආශ්වාස කරන්න. පසුව කොඳු ඇට පෙළ ඔසවා නිකට පපුව දෙසට ගෙන එමින් ප්‍රශ්වාස කරන්න. මේ ආසනය ප්‍රගුණ කිරීම ශරීරයේ නම්‍යශීලී බව වැඩි කරන අතර කොඳු ඇට පෙළේ වේදනාව සමනය කරයි.

කෝබ්‍රා පෝස්

(Cobra Pose)


භූජංගාසනය ලෙසින්ද හැඳීන්වේ. භූජනාංගය යනු සර්පයා හෝ නාගයා පිළිබිඹු කරන ආසනයයි. මේ ආසනයේ දී ශරීරය නාගයෙකුගේ පෙණයක් ලෙස ඉහළට එස වේ. පළමුව උදරය මත දිගා වී දෑත් උරහිසට සමාන්තරව යටට තබා ගනිමින් අත්ල තදකර උඩුකය සෙමින් ඉහළට ඔසවන්න. ශරීරයේ බර කශේරුවට නොදැනෙන සේ පාද ස්ථීරව තබා ගන්න. මේ යෝග අභ්‍යාසය කොඳු ඇට පෙළේ දැඩි බව සමනය කිරීමට සහ එහි නම්‍යශීලීබව වැඩි කිරීමට උපකාරී වේ. එමෙන්ම කොන්ද ආශ්‍රිත බාධා තත්ත්වයන් මඟ හැරී යයි. උදර ශල්‍යකර්මවලට ලක් වූ අය මාස දෙක තුනක් අතර කාලය යන තෙක් මේ ආසනය ප්‍රගුණ කිරීම නොකළ යුතුයි.

චයිල්ඩ්ස් පෝස්

(Child’s pose)


මේ අභ්‍යාස ක්‍රමය බාලාසනය ලෙසින් හැඳීන්වේ. මෙහිදී පහසු ආකාරයට පැදුර මත දණ ගසා ඉදිරියට නැමී ඔබේ දෑත් ඉදිරියට දිගු කර තබා විලුඹ මත වාඩි වේ. පසුව හෙඳීන් ආශ්වාස කොට උඩු කය සෙමින් පහළට ගෙන හිස පහළට වන සේ යම්කිසි කාල වේලක් රැඳී සිටින්න. මේ යෝග අභ්‍යාසය කොඳු ඇට පෙළේ ආතතිය මුදා හැරීමට උපකාරී වේ.

ට්‍රෑන්ගල් පෝස්

( Triangle- pose)

ත්‍රි යනු තුනයි. කෝණ යනු කොන් වේ. මේ ආසනයට අනුව බඳ සහ අත්වලින් පාද තුනක ත්‍රිකෝණයක් සාදයි. එනිසාවෙන් මෙය ත්‍රිකෝණාසනය නමින් හැඳීන්වේ. මේ මඟින් කොඳු ඇට පෙළ ශක්තිමත් කරයි. එමෙන්ම සිරුරේ නම්‍යශීලී බවද වැඩි දියුණු කෙරේ. පළමුව පාද ඈතින් තබා පහසුවෙන් සිටගෙන දෙඅත් තිරස් අතට දෙපසට දිගු කරන්න. පසුව දකුණු අත දකුණු පාදයේ පිටුපස ස්පර්ශ වන සේ තබා දකුණු පසට නැමෙන්න. වම් අත දකුණු අතට සෘජුව සිටින ලෙස ඉහළට ඔසවන්න. හුස්ම ඉහළට ගනිමින් ශරීරය සෙමින් කෙලින් කරන්න. මේ ව්‍යායාමය වම් පසටද සිදු කරන්න.

බ්‍රිජ් පෝස්

( Bridge- pose)
 

සේතුබන්ධ යනු පාලමක් එකට එකතු වන ආකාරයයි. සේතු බන්ධාසනය නම් මේ යෝග අභ්‍යාසය මඟින් කොඳු ඇට පෙළ ශක්තිමත් කරයි. මානසික අවපීඩනය සහ ආතතිය සමනය කිරීමටද හේතු වේ. මෙහිදී දෙපා දණහිසින් නමා රැගෙන එමින් දෙපා හා දණහිස් සමාන්තර රේඛාවක තබා ගන්න.සෙමින් හුස්ම ඉහළට ගනිමින් තට්ට්ම සහ බඳ ප්‍රදේශයෙන් ඉහළට හැකි පමණ පාලමක් සේ එසවෙන්න. අවසාන ඉරියව්වේදී උරහිස් සහ හිස පොළව මත තැබිය යුතුයි.

යෝග යනු බෙහෙවින්ම ඵලදායි, බාධාවකින් තොරව ශරීරය සහ මනස දියුණු කරන්නා වූ මාර්ගයකි. සෞඛ්‍යය සම්පන්න පුද්ගලයකු බිහි වීමට නම්, යෝග අභ්‍යාසවල යෙදීම යෝග්‍ය වේ.

(ඉන්දියාවේ ඝාසියාබාද්හි වයිශාලී යෝග අභ්‍යාස ආයතනයේ උපදෙස් අනුව සැකසුනකි.)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.