කකුල පෙරළුණාද? සැහැල්ලුවට ගන්න එපා

ඔක්තෝබර් 18, 2024

එදිනෙදා ජීවිතයේදී සිදුවන බන්ධනී ((Ligaments)ආශ්‍රිත අනතුරුවලින් ප්‍රධානම අනතුරක් ලෙස වළලුකර ආශ්‍රිත බන්ධනීවලට හානි සිදුවීම හෙවත් වළලුකර පෙරළීම දක්වන්නට පුළුවන්. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුකූලව Ankle Sprain  ලෙස දක්වනවා.

වළලුකර සන්ධිය සෑදෙන්නේ ජංගාස්ථියේ සහ අනුජංගාස්ථියේ කෙළවරවල්  (Medial & Lateral Malleolus )  පාදයේ ඇති  Talas අස්ථිය සමඟ එක්වීමෙනුයි. මෙලෙස සෑදෙන වළලුකර සන්ධියේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට වළලුකර ඇතුළු පැත්තෙන්  Medial Collateral නම් බන්ධනී හතරක් විහිදී පවතිනවා. මේ බන්ධනය ශක්තියෙන් ඉතා ඉහළයි.එම නිසා අනවශ්‍ය පරිදි ආතතියට ලක්වීම හෝ ඉරීයෑමට දක්වන්නේ අඩු ප්‍රවණතාවයක්. එහෙත් වළලුකරේ පිට පැත්තෙන් පවතින  Lateral Collateral  නම් බන්ධනී සංකීර්ණය සාපේක්ෂව ශක්තිමත්භාවයෙන් අඩුයි. එම නිසා ආතතියට ලක්වීමට සහ ඉරියාමට වැඩි ප්‍රවණතාවක් දක්වනවා. වළලුකර ආශ්‍රිත බන්ධනී අනතුරුවලින් වැඩි සංඛ්‍යාවකදී සිදුවන්නේ මේ පිට පැත්තෙන් පවතින බන්ධනය අනවශ්‍ය පරිදි ඇදී යාමකට, ඉරියාමකට ලක්වීමයි. එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී සිදුවන අනතුරු මෙන්ම විවිධ ක්‍රීඩාවල නියැළෙන පුද්ගලයන්ට ද මේ වළලුකර පෙරළීමේ තත්ත්වය බහුලව සිදුවනවා.

වළලුකර පෙරළීමේ තත්ත්වය ඇතිවීමට පුද්ගලයකුගේ වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය බලනොපායි. මෙය වැදීමක් වැටීමක් හෝ තැලීමක් ආකාරයේ  Traumatic Injury එකක් ලෙස දැක්වීම වඩාත් යෝග්‍ය වේ. ඇවිදීම, දිවීම සහ ලිස්සීම වැනි ක්‍රියාකාරකමකදී කකුල ඇතුළු පැත්තට කරකැවීම නිසා මේ බන්ධනී අනතුරට පත්වීම සිදුවෙනවා. මෙවැනි අනතුරක් සිදුවූ වහාම අඩිය තබා ඇවිදීම ඉතා අපහසු වෙනවා.බන්ධනීවලට අමතරව ඒ ආශ්‍රිතව පවතින සන්ධි, අස්ථි සහ රුධිර නාලද මෙවැනි අනතුරකදී හානියට පත්වන්නට පුළුවන්.

 

රෝග ලක්ෂණ

වළලුකර ආශ්‍රිත බන්ධනී අනතුරකදී පහත රෝග ලක්ෂණ දැක ගන්නට පුළුවන්.

වළලුකරයේ පිට පැත්තේ ඇතිවන ඉදිමීම

අනතුරට පත් වූ බන්ධනිය ඇල්ලීමේදී හෝ තද කිරීමේදී වේදනාවක් දැනීම

අනතුරට පත් වූ බන්ධනීය ආශ්‍රිත සම කළු පැහැ හෝ නිල් පැහැවීම

අනතුරට ලක් වූ පාදය පොළොවේ තබා ඇවිදීමට නොහැකි වීම සහ හිටගෙන සිටීමේ අපහසුව.

වළලුකර සන්ධියේ ඇතිවන තද ස්වභාවය.

වළලුකර ආශ්‍රිතව බන්ධනී අනතුරට ලක්වීම කලින් පාද ආශ්‍රිතව කිසිම රෝගී තත්වයක් නොතිබුණු නිරෝගී පුද්ගලයකුට පවා ඇතිවීමේ හැකියාව පැවතුණත් ඔබට පාදාශ්‍රිතව හෝ ඇවිදීමේ යම්කිසි අපහසුතාවයකට අදාළ රෝගයක් පවතිනවා නම් වළලුකර පෙරලීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. එම නිසා ඔබ දැනටමත් දණහිස් සන්ධියේ හෝ උකුල් සන්ධිය ආශ්‍රිතව වේදනාවලින් හෝ විවිධ ආබාධවලින් පෙළෙනවා නම් සෑම විටම දිවීමේදී, ඇවිදීමේදී සහ පඩි පෙළවල් නැඟීම වැනි ක්‍රියාකාරකම්වලදී ලිස්සීම් සහ වැටීම් අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන්න. එමෙන්ම ඔබට එක් වරක් වළලුකර ආශ්‍රිත බන්ධනී අනතුරක් සිදුවී තිබේ නම් එයට නියමාකාරව ප්‍රතිකාර සිදුකොට සුව කරගෙන නොමැති නම් අලුතෙන් බන්ධනී අනතුරක් සිදුවීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

වළලුකර බන්ධනිය ආශ්‍රිත අනතුරු ඇති වීමට බලපාන තවත් සාධකයක් ලෙස ඔබ පළඳීන පාවහන් දක්වන්නට පුළුවන්. ඔබ කාන්තාවක් නම් උස් අඩියක් සහිත පාවහන් පැලඳීමේදී කකුල වළලුකරින් ඇඹරීමට හෝ කරකැවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. එලෙසම පිරිමි පුද්ගලයකු නම් වඩාත් හිර පාවහන් පලඳින අවස්ථාවේදීද කකුල පෙරළීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

 

වළලුකර ආශ්‍රිත බන්ධනි අනතුරු වළක්වා ගැනීමේ පියවර

තමන්ගේ පාදයට ගැළපෙන ආකාරයේ පාවහන් සහ සෙරෙප්පු සෑම විටම භාවිත කරන්න. අනවශ්‍ය තද සහ අනවශ්‍ය පරිදි අඩි උස පාවහන් පැලඳීමෙන් වලකින්න.

ඔබ ක්‍රීඩා සහ ව්‍යායාම්වල නිරත වන පුද්ගලයකු නම් ව්‍යායාම හෝ ක්‍රීඩා පුහුණුවට කලින් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම සහ වළලුකර ආශ්‍රිත මාංශ පේශි ඉහිල් කිරීමේ ව්‍යායාම හෙවත් Stretching ව්‍යායාම නිවැරැදිව සිදු කරන්න.

සමමිතික නොවන මතුපිටවල්වල වේගයෙන් ඇවිදීම සහ දිවීම හැකිතාක් අඩු කරන්න.

පාද ආශ්‍රිත මාංශපේශීවල ශක්තිමත්භාවය පවත්වා ගැනීමට ව්‍යායාම සිදු කරන්න.

සමබරතාවය ආශ්‍රිත ගැටලු පවතී නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

 

ප්‍රතිකාර

නිවැරදි පාරම්පරික ප්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි තත්ත්වයක් ලෙස වළලුකර ආශ්‍රිත බන්ධනී අනතුරු දක්වන්නට පුළුවන්. බන්ධනී ආශ්‍රිතව සිදු වූ අනතුරකින් පසුව සිදුකරන ප්‍රථමාධාරත් සමඟම රෝගියා හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. එහිදී නිවැරැදිව සිදු කරන රෝග විනිශ්චයකින් පසුව බන්ධනිවලට අමතරව සන්ධි, අස්ථි හෝ රුධිර නාළවලට ආබාධයක් සිදු වී තිබේදැයි සැක හැර දැනගත යුතු වනවා. ප්‍රතිකාර ආරම්භ කරන්නේ ඉන් පසුවයි. මෙහිදී පාරම්පරික තෙල් සහ පත්තු ප්‍රතිකාරවලින් පමණක් මේ රෝගී තත්ත්වය සුව කරගන්නට පුළුවන්. එහෙත් ප්‍රතිකාර සමඟ රෝගියා පාදය භාවිත කිරීමෙන් වැළකී විවේක ගත යුතු වනවා. සමහර අවස්ථාවලදී අඩිය බිම තබා ඇවිදීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවන්නට පුළුවන්. හානි වූ බන්ධනි සුව වීමත් සමඟ නැවත පාදය බිම තබා ගමන් කිරීම ආරම්භ කළ හැකියි. පාදය නොසොල්වා තබා ගැනීම නිසා බන්ධනී සුව වූ පසුවද වළලුකර සන්ධියේ තද ස්වභාවයක් ඇතිවන්නට පුළුවන්. මේ අවස්ථාවේදී වෛද්‍ය අනුදැනුම යටතේ ව්‍යායාම් මඟින් වළලුකර සන්ධිය නැවත ලිහිල් ස්වභාවයකට ගැනීමේ හැකියාව පවතී. බන්ධනිය සම්පූර්ණ සුවවන තෙක්ම ප්‍රතිකාර ගතයුතු වන අතර රෝග ලක්ෂණ අඩුවීමත් සමඟ අතරමැද ප්‍රතිකාර නැවැත්වීම මඟින් රෝගය වඩාත් උත්සන්න වීම සිදුවනවා.

ප්‍රථමාධාර

වළලුකර නැවීමක් හෝ කරකැවීමක් සිදු වූ විගසම දිගාවී හෝ හිඳගෙන පාදයේ ඇති පාවහන් ඉවත්කර අනතුරට ලක් වූ පාදය නිදහස්ව තබන්න. නැවත අඩිය බිම තබා ඇවිදීමෙන් වළකින්න. බන්ධනි අනතුර සිදුවී ඇති වළලුකරේ පිට පැත්තෙන් අයිස් තැබීම සිදුකරන්න. මෙය වරකට මිනිත්තු පහළොවක් පමණ පැය දෙකෙන් දෙකට වෛද්‍යවරයා වෙත ගෙන යන තෙක් සිදු කරන්න.

මූලික වෙළුම් පිළිබඳව අවබෝධයක් තිබේ නම් හානි වූ වළලුකර පිටතට සිටින සේ (Eversion)  ආකාරයට තබා වෙළුමක් යොදන්න. මෙමඟින් ඉදිමීම සහ බන්ධනි තවදුරටත් හානිවීම වළක්වා ගන්නට පුළුවන්. එහෙත් වෙලුම අනවශ්‍ය පරිදි තද වී තිබේදැයි හොඳින් පරීක්ෂා කර බලන්න.

රෝගියා උඩු අතර දිගා කර අනතුරුට ලක් වූ වළලුකර කොට්ට එකක් හෝ කිහිපයක් තබා අදාළ වළලුකර පාදයේ මට්ටමට වඩා ඉහළින් ඔසවා තබන්න. මෙමගින් ඉදිමීම අඩු කරගත හැකිය. මේ ප්‍රථමාධාර ක්‍රම අනුගමනය කර හැකිතාක් ඉක්මනින් රෝගියා ප්‍රතිකාර සඳහා ගෙනයන්න.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.