නීරෝගිභාවයට හේතු වන ශරීරය වර්ධනය කරන ආහාර

දෙසැම්බර් 15, 2023

නීරෝගිභාවයට මූලික හේතුවක් වන්නේ පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීමයි. එවැනි පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීම කෙසේ වෙතත් වර්තමාන ආහාර රටාව අප රෝගීන් බවට පත්කිරීමට ක්‍රියාත්මක වෙමින් පවතී. එය මේ වන විටත් බෙහෙවින් සාර්ථක වී ඇති බව වෛද්‍ය මධ්‍යස්ථාන කරා පැමිණෙන රෝගීන්ගෙන් පෙන්නුම් කෙරේ. සුවඳට, රසයට, වර්ණයට අලංකාරත්වයට මුළා වී කට පරෙස්සම් කර නොගැනීම නිසා දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකාවන්ට සහ වෙනත් රෝගාබාධයන්ට ද ගොදුරු වන සංඛ්‍යාව ඉහළ යමින් පවතී. මෙවැනි රෝගී තත්ත්වයන්ට බෙහෙවින් හේතු වී ඇත්තේ ගුණයක් අගුණයක් නොබලා අප ගන්නා ක්ෂණික ආහාරයයි.

ක්ෂණික ආහාර

ක්ෂණික අහාර ලෙස අප දැනගත යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන ශරීරයට නුසුදුසු අහිතකර සංඝටක වැඩියෙන් පවතින ලෙස පිළිවෙළ කර ඇති ආහාරයි. ඒ ආහාර අතර පේස්ට්‍රීස්, පීට්සා, ෆ්‍රයිඩ් රයිස් යන ආහාරවල තෙල්, ලුණු, සීනි බෙහෙවින් ඇති අතර අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු විටමින්, ඛනිජ ලවණ හා කෙඳි අඩුවෙන් පවතී. මේ තත්ත්වය නිසා ක්ෂණික ආහාරවලින් ලැබෙන්නේ ගුණාත්මක බවෙන් තොර පෝෂණයයි. මේ නිසා සිරුර තුළ විවිධ වෙනස් වීම් සිදු වන අතර, නොයෙක් ආකාරයෙන් සිරුරේ බර වැඩි වීමත් රෝගී තත්වයන්ට ලක්වීමත් සිදු වේ. තෙල්, ලුණු, සීනි, කෘත්‍රිම රසකාරක සිරුරට අහිතකර ලෙස බලපෑමට ලක්වේ. ක්ෂණික ආහාර මඟින් සකස් වන පිට්සා වර්ග, සෝස් වර්ග අනෙකුත් සමහර ආහාර වර්ගවල ලුණු අධික ලෙස පැවතීම නිසා එවැනි ආහාර ගැනීමෙන් ලුණු වැඩියෙන් ශරීරයට එකතු වේ.

කොලෙස්ටරෝල්

ඒ අනුව ශරීරයේ ජලය ප්‍රමාණය ද වැඩි වේ. කෑමට ගන්නා ලද පිටි සහිත ආහාර වර්ග මෙන්ම අධික තෙල් යොදා පිළියෙළ කළ ආහාරද ශරීරයේ බර වැඩි වීමටත් හේතුවකි. පිටි සහිත අහාරවල කෙඳි පවතින්නේ සුළු වශයෙනි. මේ නිසා මෙවැනි ආහාර ඉතා ඉක්මනින් ජීර්ණය වී රුධිරයට එකතු වන සීනි ප්‍රමාණය ක්ෂණිකව ඉහළ යයි. වැඩිපුර සීනි හා තෙල් අධික ආහාර ගැනීමෙන් රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණයද ඉහළ යන අතර, රුධිර වාහිනීවල ඒවා තැන්පත් වීමෙන් ඒවා කොටස් ලෙස එකතු වීමෙන් රුධිවාහිනී බිත්ති ඝන වීමෙන් අධිරුධිර පීඩනයද ඇති වේ. එසේ තැන්පත් වන කොලෙස්ටරෝල් හෘදයට රුධිරය සපයන රුධිර නාලයක් ඔස්සේ අවහිර වීමෙන් හෘදයාබාධයකට ද හේතු විය හැකිය.

දරුවන්

සමහර ආහාර ගැනීමෙන් ලැබෙන කොලෙස්ටරෝල් ඉහළ යෑමෙන් සමහර විට පිළිකා පවා ඇතිවීමට හේතු වේ. කුඩා දරුවන් නිතර නිතර ගැනීමට පුරුදු වී සිටින පැණිබීම, කෝලා බීම වර්ග නිසා දත් දිරායාම සිදු වන අතර, කෘත්‍රිමව සකස් කරන ලද ආහාර ගැනීමෙන් වකුගඩුවලට පවා අහිතකර තත්ත්වයක් ඇති කෙරේ. ක්ෂණිකව සකස් කරනු ලබන ආහාර බොහොමයකම ඇත්තේ ලුණු, සීනි, තෙල් සහ රසකාරක වර්ග වන අතර, ඒවායෙහි අඩංගු විටමින් වර්ග, ඛනිජ වර්ග වන යකඩ, අයඩින්, කැල්සියම්, සින්ක් වුවද බෙහෙවින් අඩු තත්ත්වයේ පවතී. විටමින් සහ ඛනිජ හෙවත් ක්ෂුද්‍ර පෝෂක ඉතා සුළු ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය වන අතර, සිරුරේ ආරක්ෂාව, රෝග මර්දන ශක්තිය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා ක්‍රියා කළ යුතුය. රටේ අනාගත පරපුර වූ තරුණ තරුණියන්ගේ නිවැරදි පෝෂණය නිසි ඵලදායිතාවයකින් යුත් පුරවැසියන් උදෙසා අවශ්‍ය වේ. ක්ෂණික ආහාර නිවැරදි පෝෂණයට පටහැනි වන බැවින් ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

යොවුන් පරපුර

යොවුන් පරපුරට නිවැරැදි පෝෂණයෙන් යුත් ආහාර පානාදිය ගැනීමට සැලැස්වීම වැඩිහිටියන් සතු වගකීමකි. ඔවුන්ට සමබල ආහාර වේලක් ගැනීමට ක්‍රියා කළ යුතුය. නිතරම ලබා ගැනීමට සැලැස්විය යුතු වන්නේ ශක්තිය වර්ධනය කරනු ලබන ආහාරයන්ය. බත්, බඩඉරිඟු, කුරක්කන්, තිරිඟු අල, බතල, ධාන්‍ය, කොස්, දෙල් වඩාත්ම සුදුසු ආහාරයන්ය. එමෙන්ම වඩාත්ම ගුණාත්මක ආහාර වන මාළු, මස්, හාල්මැස්සන්, කරවල, බිත්තර, කිරි සහ කවුපි, කඩල, මුං ඇට සෝයා වැනි ඇට වර්ගද ශරීරය ආරක්ෂා කරන ආහාර වේ. විටමින් හා ඛනිජ අඩංගු එළවළු, පලතුරු හා පළා වර්ගද බෙහෙවින් ආහාරයට ගත යුතුය.

ගත යුතු ගුණාත්මක ආහාර

මුංඇට

රෝග රැසකට ගුණ දෙන පෝෂ්‍ය ගුණයෙන් ඉහළ විටමින් සී අන්තර්ගත ශක්තිය, ප්‍රෝටීන්, මේද, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, පොස්පරස්, යකඩ, කැරොටින් වැනි පෝෂ්‍ය පදාර්ථද අන්තර්ගතව ඇත. විටමින් සී ද පවතින මුංඇට, ස්නායු ආබාධ, අක්මා රෝග අංශභාගය වැනි රෝග රැසකටම ගුණදායකය.

කවුපි

ශක්තිය, ප්‍රෝටීන්, කෙඳිති, මේදය ආදී පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගතය. කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක්, විටමින් වර්ගද අඩංගු වේ. ඉහළ පෝෂ්‍යදායී ගුණයක් ඇති කවුපිවල, හෘදරෝග, පිළිකා, දියවැඩියාව, කොලෙස්ටරෝල් ආදී රෝග රැසකටම ගුණදායකත්වයක් ඇති වේ. කවුපි, ඉහළ පෝෂ්‍යාදායී ශක්තිජනක ධාන්‍යය වර්ගයකි.

බතල

බතලවල විටමින් බී - 6 විටමින් සී, විටමින් ඊ, හා බීටා කැරොටින්, යකඩ, පොටෑසියම්, තන්තු අන්තර්ගත වේ. බතලවල විටමින් සී බහුලව ඇත. බීටා කැරොටින් පවතින නිසා ලෙහෙසියෙන්ම ශරීරයට උරා ගනී. ශරීරය තුළ දී ඒවා විටමින් බවට පත්වේ. මෙය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. විටමින් ඩී මඟින් සමේ පැහැයද වර්ධනය කරයි. බතලවල ඇති කෙඳි ස්වභාවය නිසා ආහාර ජීර්ණය ද පහසු කරයි. එමඟින් ප්‍රතිශක්තියද වැඩි කරයි.

කුඩා මාළු

කුඩා මාළු වර්ග රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ධාරිතාව අඩු කරයි. ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහ විටමින් වර්ග ලබා දෙයි. මේ තුළින් නීරෝගිභාවය ඇති කෙරේ.

බිත්තර

සාමාන්‍යයෙන් එක් බිත්තරයක සියයට හතක් පමණ විටමින් ඩී අන්තර්ගතව ඇත. එමෙන්ම බිත්තර සුදු මදයක සියයට හයක් පමණ ඇති බවත් සඳහන් වේ. විටමින් ඩී මඟින් හිසකෙස් නියපොතුත් වර්ධනය වෙමින් පවතී.

කුරක්කන්

කුරක්කන්වල ඇති තන්තු හේතුවෙන් (කෙඳි) දියවැඩියාව කොලෙස්ටරෝල් අධික ස්ථුලතාවයට සහ රෝග වළක්වා ගැනීමේ ආහාරයක් ලෙස ආහාරයට ගනී. කුරක්කන්වල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, කැල්සියම්, ඛනිජ ලවණ, මේදය සහ ආහාරමය කෙඳි ද අඩංගුව පවතී. මළබද්ධය සඳහා කුරක්කන් කැඳ මහඟු ඖෂධයකි.

මොනරාගල සිරිගල 
ආයුර්වේද වෛද්‍ය 
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.