පැහැපත් සමක් හැඩකාර සිරුරක් ගෙනෙන ගතිපැවතුම්

අගෝස්තු 25, 2023

අපි වෙද නෝනා මුණගැහෙන්න ආවේ ප්‍රතිකාරයක් වගේම උපදෙස් ටිකක් ලබාගන්නා යැයි කීවේ නිර්මලාය. මෙහිදී සචිනි කීවේ ඔව් අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ලස්සන වීම ගැනයි. අපේ මුහුණුවලින් දවල් කාලයේදී තෙල් වගේ දෙයක් මතුවෙනවා. ඒ මදිවට මගෙයි කාන්තිගෙයි මුහුණේ කුරුලෑත් මතුවෙලා. හරි ලස්සනට තිබුණ මුහුණ දැන් ගොරෝසු වෙලා. සමත් අවපැහැගැන්වෙලා යැයි කීවේ නදීකා ය.

වෙද නෝනා- උදේට මුහුණ සේදුවාට පස්සෙ මුහුණේ මොනවද ගාන්නේ.

නදීකා- අපි හතරදෙනාම ගාන්නෙ එකම ජාතියේ කී‍්‍රම් එකක්. ඒ ක්‍රීම් දැන් අවුරුද්දක දෙකක විතර ඉඳල ගානවා.

වෙද නෝනා- ඔළුවට ගාන්නෙ මොනවද,

සචිනි- බෙහෙත් තෙලක් ගානවා.

වෙදනෝනා- ඒ තෙල් වෙද මහත්තයෙක් ද දුන්නේ, නිර්මලා නැහැ නැහැ පත්තරේක තියෙනව දැකල ෆාමසියකිනුයි ගත්තෙ.

වෙද නෝනා- පි‍්‍රයමනාප පැහැපත් ආකර්ෂණීය සමක් ඇති කර ගැනීමට නම් විශේෂයෙන් කෑමෙන් බීමෙන් වගේම ගති පැවතුම්වලිනුත් ක්‍රියා කළ යුතුයි. දුටුවන් මනබඳන සිරුරක් ඇති කර ගැනීමට නම් කෑමෙන් බීමෙන් වගේම ගති පැවැතුම්වලින්ද හැසිරීම් රටාවෙන්ද තැන්පත් විය යුතුය. කාන්තාවක් සතු අගනා වස්තුවක් වන රූප සෝභාව රැක ගැනීමට නම් ආයුර්වේද උපදෙස් පිළිපදිමින් කෑම බීම, ආලේපන, තෙල්වර්ග හා ක්‍රියාකාරකම් ඉටුකිරීමට බැඳී සිටිය යුතුයි. කාන්තාවක් සතු ලස්සන හා පි‍්‍රයමනාප බව ඇතිවෙන්නේ පවතින නීරෝගිකම මත යැයි කී වෙද නෝනා සමෙහි හටගන්නා තෙල් ගතිය පවතින්නේ තරුණ වියේදී බවත් කීවාය.

 

සමේ තෙතමනය

 

සමේ තෙතමනය ස්වභාවයෙන්ම අපිට ලැබී ඇති සෞඛ්‍යාරක්ෂකයෙකි. පිහිටි සම අනුව මෙහි අඩු වැඩිවීමක් පවතී. ඒ සඳහා නිතර ජල පානය කිරීමෙන් එය ආරක්ෂා කර ගත හැකිය. අද අපේ කන්තාවන් සමේ නිරෝගී භාවයට වඩා අගය කරන්නේ සමේ පැහැපත් බව ඇති කර ගැනීමටයි. ඒ සඳහා ගනු ලබන උත්සාහයන් බොහෝය. ඒ අනුව ඔවුහු නොයෙකුත් ආලේපන වර්ග පාවිච්චි කිරීමට පෙලඹෙති. වෙළෙඳ දැන්වීම්වලට බොරු ප්‍රචාරණවලට රැවටී රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේප වර්ග ගෙන භාවිත කරති. මේවායෙහි පවතින විෂ නිසා සමෙහි පැවැති ස්වභාවික වර්ණය වෙනස් වී පැහැපත් බව අවපැහැ වේ. සමහරු වෙළෙඳ පොළේ ඇති ආලේපන වර්ග ක්‍රීම් ගැන නොදන්නා මුත් ඒවා වර්ණනා කරමින් තම මිතුරියන් නොමඟ යැවීමට ද කටයුතු කරති. සමේ පැහැපත් බව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක නිෂ්පාදන හෝ ආයුර්වේද වෛද්‍ය උපදේශ මත ප්‍රතිකාරයකට යොමුවීමකි.

 

ආහාරපාන

 

සමේ ඇතිවන වියළි බව මුහුණේ අත්පාවල ඇතිවන වියළි බව බොහෝවිට සම අප්‍රසන්න භාවයට පත්විය හැකි හේතුවකි. මේ තත්ත්වය ඇතිවීමට කරුණූු රාශියක්ම බලයි. මූලිකව කළ යුතු වන්නේ තෙල් මිශ්‍ර ආහාර කෑමෙන් වැළැකීමය. අනෙක් කරුණ වන්නේ ආහාර රසවත් කිරීමට මෙන්ම වර්ණවත් කිරීමට යොදන අධික තුණපහ වර්ගවලින් හා ලුණු යෙදුම් හා තෙල් මිශ්‍ර කෑමෙන් වැළකී සිටීමය. රසකැවිලි තෙල් බැදුම් බෙහෙවින් කෑමට පුරුදුව සිටීම අත්හළ යුතුය. සමේ ආරක්ෂාව හා සම පිරිසුදුව තබා ගැනීමට නම් මුහුණ අත්පා සේදීම සහ ස්නානය කිරීම අත්‍යාවශ්‍යමය.

 

ප්‍රතිකාර

 

සමේ ආරක්ෂාවටත් සමේ පැහැපත් බවටත් ආයුර්වේද ප්‍රතිකාර බොහෝය. රණවරා මල්, අඹරා ඇඟේ ගෑමත් කොකුම් පොතු ඇල්දියෙන් ගලගා දියකර මුහුණේ සහ අත්පාවලත් ශරීරයේ ගෑමත් ශරීර පැහැපත් බව ඇති කර ගැනීමට හේතුවකි. මීකිරි හට්ටියේ ගැට්ටෙහි හා හට්ටිය ඇතුළත බැඳෙන යොදය මුහුණේ අත්පාවල සහ බෙල්ලේ හා ඇඟේ ගෑමෙන් පසුව ටික වේලාවක් සිට ස්නානය කිරීමෙන් මතුවන තෙල් ගතිය වළක්වා ගත හැකිය. විශේෂයෙන් එසේ හට්ටියේ එක්ව තිබෙන කිරියොදය සිනිඳුවට මුහුණේ සහ අත්පාවල ආලේප කර ටික වේලාවක් සිට ස්නානය කිරීම ගුණදායකය.

කහ පැහැති සහ තදකොළ පැහැති එළවළු හා පලතුරු මෙන්ම පලා වර්ග ද දිනපතා ආහාරයට ගැනීම සුවදායකය. එසේ ආහාරයට ගැනීමෙන් ශරීරයේ පැහැපත් බවට මෙන්ම නිරෝගීතාවයට ද හේතු වෙයි. සමේ තෙල් ගතිය වැඩියෙන් මතුවන්නේ නම් ඉදුණූ තක්කාලි ගෙඩියක් ගෙන තක්කාලි ගෙඩියේ ඉස්ම ගෑම හොඳ ප්‍රතිකර්මයකි. මුහුණේ පවතින ගොරෝසු ගතිය මෙන්ම මුහුණේ ඇති ලප කැළැල් නැති කර ගැනීමට මුං ඇට, කඩල හා පරිප්පු, එක පමණට ගෙන ඒවා පිටිකර දෙහි ඉස්මෙන් එම පිටි කලවම්කර මුහුණේ ගෑමත් සුවවන හොඳ ඖෂධයකි. සමේ පවතින දැඩි ගොරෝසු වැනි වියළි බව නිසා කොරළ ගතියක් ඇති වේ. ඒ සඳහා අලිගැටපේර මදය, ඔලිව් තෙල් වලින් හෝ ආමන්ඩ් ඔයිල් සමඟ මිශ්‍ර කර කොරළ මතුවී ඇති ස්ථානවල ආලේප කර පැය භාගයක් පමණ සිට සෝදා හැරීමෙන් තත්ත්වය යහපත් වේ. ශරීරයේ වර්ණය පැහැපත් බව වෙනස් කරමින් තැන තැන මතුවන අළුහම් තිබෙන විට සබන් වර්ග ගෑම සුදුසු නැත.

කොහොඹ කොළ කොටා නැවුම් මුට්ටියකට දමා එම කොහොඹ කොළ වැසී යන පරිදි එළකිරි දමා දින දෙකක් පමණ අව්වේ තබා පසුව ගෙන අළුහම් ඇති ස්ථානවල හොඳින් ආලේපකොට සුළු වේලාවක් සිට ස්නානය කිරීමෙන් අළුහම් පැහැය වෙනස් වී යථා තත්ත්වයට පත්වේ. අළුහම් ශරීර මත සෑදෙන්නේ දිලීර පුස් වර්ගයක් හේතුවෙනි. සමේ පැහැපත් බව නැතිවීම, මුහුණ පියකරු බව නැතිවීම, අළුහම් සමේ කොරළ, හිස්හොරි, වැලමිට, බෙල්ල, දණහිස කළු පැහැගැන්වීම, හිසකෙස් දුර්වර්ණ වීම, නියපොතු අවපැහැ ගැන්වීම මේ හැම වෙනසකට ආයුර්වේද උපදෙස් මෙන්ම නිසි ප්‍රතිකර්මද ඇත. මුහුණේ පවතින ලප කැළැල් මැකී මුහුණේ සුන්දරත්වයට වෙනිවැල්ගැට සහ අබ ඇල්දියෙන් සිහින්ව අඹරා ඇස්වල නොගෑවෙනසේ මුහුණේ ආලේපකොට ටික වේලාවකින් ඇල්දියෙන්ම සෝදා හරින්න. මුහුණේ සුන්දරත්වය ඇතිවේ.

 

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.