ඔබ අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා ද?

සුබසෙත සුවසෙත
ජුනි 2, 2023

වෛද්‍යවරයෙක් රෝගියකු පරික්ෂා කිරීමේදී අනිවාර්යයෙන්ම සිදු කරන කාර්යයක් වනුයේ රෝගියාගේ රුධිර පීඩනය හෙවත් නපඥඵඵභපඥ මැන බැලීමය. රෝගියාගේ රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවතී ද එසේ නොමැති නම් එය අධිකව පවතී ද යන්න වෛද්‍යවරයා සොයා බලන්නේ රුධිර පීඩනය වැඩිවීම යම් යම් රෝගවලට හේතු සාධකයක් වන බැවිනි. අද සමාජය දෙස බලන කල අධික රුධිර පීඩනයෙන් පෙළෙන පිරිස සංඛ්‍යාත්මකව වර්ධනය වෙමින් පවතී. බොහෝ අය පවසන්නේ මට ප්‍රෙෂර් තිබෙනවා යන්නයි.රුධිර පීඩනය පිළිබඳ ඔබට නිවැරැදි අවබෝධයක් ලබා ගැනීම සඳහා අද සුබසෙත සුවසෙත හමුව සඳහා එක් වන්නේ රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්‍රිය මහතාය.

 

රුධිර පීඩනය පරීක්ෂා කර ගන්න

 

ප්‍රථමයෙන් පැවසිය යුතු කරුණක් වන්නේ අධි රුධිර පීඩනය ප්‍රතිකාර මඟින් වළක්වාගත හැකි රෝගයක් බවයි. රුධිර පීඩනය පාලනය කළ හොත් දීර්ඝ කාලයක් නිරෝගීව ජීවත් විය හැකි නමුත් ඔබටත් නොදැනීම, ඔබට රුධිර පීඩනය අධිකව තිබිය හැකිය. එය ඉතා භයානක තත්ත්වයක් වන බැවින් වයස අවුරුදු 40න් පසු රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීම වඩාත් උචිත වන්නේ ඇතැම් විට ඔබටත් නොදැනීම රුධිර පීඩනය අධික වී විවිධ රෝගාබාධවලට ඔබ ගොදුරු විය හැකි තත්ත්වයක් උදා වීමට ඉඩ ප්‍රස්ථාව ඇති හෙයිනි.

 

හෘදයාබාධ, අංශභාගය

 

පාලනය නොකළ අධි රුධිර පීඩනය, හෘදයාබාධ සහ අංශභාගය වැනි රෝගී තත්ත්වයන්ට අත වනන ප්‍රධාන සාධකයකි. හෘදයාබාධවලට අමතරව හෘදයේ ක්‍රියාකාරීත්වය බාල වීම, වකුගඩු නරක් වීම, සිහිකල්පනාව සහ ස්නායු දුර්වල වීම ,අකල් මරණය යන අවාසනාවන්ත තත්ත්වයන් ද අධි රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි භයානක තත්ත්වයන් වේ. එබැවින් පළමුවෙන් පැවසිය යුතු වන්නේ තමා අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නෙක් ද යන්න පිළිබඳ තමා විසින් අවබෝධ කරගෙන සිටීම වැදගත් බවයි. යම් හෙයකින් අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නේ නම් ප්‍රතිකාර වෙත යොමු වීමෙන් එය සාමාන්‍ය තත්ත්වයකට පත් කර ගත හැකිය.

 

රුධිර පීඩනය වෙනස් වීමට හේතු

 

නිරෝගී පුද්ගලයකුගේ රුධිර පීඩන අගය වන්නේ 120/ 80 ය. රුධිර පීඩනයට විවිධ කාරණා අනුව වෙනස් වේ. වයස, මානසික තත්ත්වය, විවිධ ලෙඩරෝග අනුව රුධිර පීඩනයේ අගය වෙනස් විය හැක. රුධිර පීඩනය වැඩි වූ විට ශරීරය තුළ ගැටලු සහ සංකූලතා වැඩිවීම ස්වභාවික සංසිද්ධියකි .කෙටියෙන් පවසන්නේ නම් රුධිර පීඩනය වැඩි වූ විට හෘදයාබාධ සහ අංශභාගය නිසා මිය යාමේ සම්භාවිතාව යම් කිසි ප්‍රතිශතයකින් වැඩි වශයෙන් පවති. මේ නිසා අධික රුධිර පීඩනය කලින් හඳුනා ගැනීමත්, එය වැළැක්වීම සඳහා ප්‍රතිකාර කිරීමත්, අතිශයෙන් වැදගත් කරුණකි.

 

140/90 අගය

 

වර්තමාන සමාජයේ රුධිර පීඩනය වැලඳී ඇති රෝගීන් සංඛ්‍යාව සුළුපටු නොවේ. වැඩිහිටි ජනතාවගෙන් 1/4 එකකට පමණ රුධිර පීඩනය වැඩි බව අනුමාන කරන අතර, වයස අවුරුදු 60ට වැඩි අයගෙන් අඩක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව වාර්තා වේ. අධි රුධිර පීඩනය රෝගයක් ලෙස තීරණය කිරීම සඳහා වෛද්‍යවරුන් කිසියම් ඉලක්කමක් තෝරා ගත යුතුයි. මේ අගය සලකා බලන්නේ 140/90 ලෙසය.

 

හෘදය හැකිළීම සහ දිග හැරීම

 

රුධිර පීඩනයේ අගය අංක දෙකකින් දැක්වේ. අපගේ හෘද වස්තුව හැකිළීම සහ දිග හැරීම මඟින් රුධිර නාල දිගේ රුධිරය ශරීරය පුරා ගමන් කරවනු ලබයි.

හෘද වස්තුව හැකිළීමේදී ටිකක් අධික පීඩනයකින් රුධිරය ගමන් කරන අතර, හෘද වස්තුව දිග හැරීමේදී අඩු පීඩනයකින් රුධිරය ගමන් කරන බව මෙයින් සනාථ වේ. .මේ ආකාරයට හෘදය හැකිළීම, දිග හැරීම සිදුවන නිසා රුධිර පීඩනය සටහන් වන්නේ ඉලක්කම් දෙකකින්. වැඩිය අගය හෘදය හැකිළීමේදී සහ අඩු අගය හෘදය දිග හැරීමේදී රුධිර පීඩන අංක ලෙස පෙන්නුම් කෙරෙයි.

 

නිශ්චිත අගය

 

රුධිර පීඩන අගයන් දෙක 140/ 90 ඉක්මවූ විට අධික රුධිර පීඩනයෙන් පෙළෙන බව නිගමනයකට එළඹිය හැකි නමුත් මතක තබාගත යුතු විශේෂ කරුණ වන්නේ රුධිර පීඩනය නිතර වෙනස් වන බැවින් ඔබට නියමිත රුධිර පීඩන අගය නිශ්චිතව තීරණය කිරීමට කිහිප වරක් රුධිර පීඩනය මැන බැලීම අවශ්‍ය බවයි. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට වෛද්‍යවරුන්ට මැනවින් හැකියාව ලැබෙන්නේ එවිටය.

රුධිර පීඩනයේ අගය කාණ්ඩ ගත කෙරේ. 140/90 වඩා ඉහළ අගය පළමු වැනි කාණ්ඩයේ රෝගීන් ලෙසත්,160/100 වැඩි දෙවැනි කාණ්ඩයේ රෝගීන් ලෙසත්,180/ 110ට වැඩි තුන්වෙනි කණ්ඩායම රෝගීන් ලෙසත් කාණ්ඩ කරනු ලබයි.

පළමු වර්ගයට අයත් අයට 140/90 රෝගින්ට විශේෂිත රෝග තත්ත්වයක් හෝ දියවැඩියාව නොමැති නම් එකවරම ප්‍රතිකාර නියම නොකෙරෙන අතර, රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කිරීමේ දී ඖෂධ වර්ග මෙන්ම අවදානම් සාධක (risk factors) සැලකිල්ලට ගනිමින් එය මත ද රඳා පවති.

සැලකිය යුතු ප්‍රධානතම කරුණ වන්නේ ඔබ අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගියෙක් ද එසේ නොමැති නම් ඔබට අධි රුධිර පීඩනය නොමැති ද යන්න රුධිර පීඩනය මැන බලා වෛද්‍යවරයෙකු විසින්ම සනාථ කර ගැනීම මිස තනිව තීන්දු ගැනීමෙන් වැළකීමයි.

 

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.