වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මානසික පීඩනයෙන් මිදෙන්න සති යෝගා
සොබාදහම දේවත්වයෙන් ඇදහූ ආදි මුතුන්මිත්තන් ජීවන සටනේ කටුක හා දුක්බර අත්දැකීම් තුළ විඳි දැඩි මානසික පීඩනයෙන් යම් තරමකට හෝ නිදහස් වූයේ වත්මන් නිමේෂයේ තම සිත දෙවියන්ගේ පාමුල සමාධිගත කිරීමෙනි. ඉෂ්ට දේවතානුස්මරණය නමින් වහරට ආවේ එයයි. එය අද මෙන් එදා නමින් පමණක් කරන හුදු චාරිත්‍රයක් නොවිනි. සැබෑම මානසික අත්දැකීමකි.
වනාත පාහින දවසේ සිට වී ටික ගෙට ගන්නා තෙක්ම අත්විඳි දුක් කම්කටොලුවලට වේදනාව දරාගෙන වත්මන් සිතට ගලා එන අතීත මතක විසින් වේදනාබර අසහනකාරී බවක් ඇතිකිරීම ස්වභාවයකි. සියල්ල මොහොතකට අමතකකොට අවුරුදු චාරිත්‍රවලට අනුගතව ප්‍රමෝදමත් සිතින් ගෙවන අවුරුදු උලෙළත් සමඟම එදා මිනිසාගේ මනසේ පිරී අසහනකාරිවූ මනෝධර්මයන් ඉවත්වන්නට ඇත.
මේ සන්සිද්ධියම වෙනත් දියුණු ආකාරයකට අනුගමනය කොට යෝගීහු චිත්ත සමාධියෙහි පිහිටා විශ්ව යථාර්ථයක් ප්‍රත්‍යක්ෂ කළෝය. එමඟින් ආධ්‍යාත්මය පිළිබද එක්තරා නියමයක් ලොවට ඉදිරිපත් කළෝය. එනම් “එළවාගත් සිහියෙන් සිත වත්මන් සංජානනය මත රඳවාගත්විට නොසන්සුන් අතීතයෙන් මනස අතමිදේ’ යන්නයි.
බෞද්ධ ත්‍රිපිටක පාලියේ මජ්ක්‍ධිමනිකායේ අන්තර්ගත මහා සතිපට්ඨාන සූත්‍රය ආදි එවැනිම තවත් සූත්‍ර ධර්මයන්හි මේ පිළිබඳ විස්තර අන්තර්ගතය. පතඤ්ජලි යෝග සූත්‍ර වැනි පශ්චාත් වෛදික ඉගැන්වීම්වලද මීට සමාන ඉගැන්වීම් දක්නට ලැබේ.
එළඹගත් සිහියෙන් යුතුව ජීවිතය ගතකරන තැනැත්තා ජීවිතය ජයගන්නා බව මේ අනුව අපට සිතාගන්නට හැකිය.
වත්මන් සමාජයේ වැඩිහිටියන් මෙන්ම පාසැල් දරුවන්ද දැඩි අසහනකාරී බවකින් පෙළෙනු පෙනේ. පාසැලට යන දරුවාට ගුරුවරයා උගන්වන පාඩම පැහැදිලි නැත. දැනුමේ අඩුව පුරවාගන්න පොත් පාඩම් කරන්න ගත්තත් අකුරු සහ රූ සටහන් තුළ අන්තර්ගතය දරුවාගේ බුද්ධියට එකතු නොවෙයි. තව තවත් උත්සාහ කිරීමේදී මොළය සහ දෑස විඩාබර වීමෙන් නිදිමත ක්ලාන්ත ගතිය ඇතිවේ. ළඟ එන විභාගයට ළමයා මුහුණදෙන්නේ කෙසේද? විභාග භීතිකාව තව පැත්තකින් මනස පීඩා කරයි. මේ සියල්ල තුළ දුක්විඳින දරුවා ඉගෙනීමේ වැඩවල යෙදෙන්න දෙමව්පියෝ බල කරති. දරුවා තවත් වේදනාවට පත් වෙයි. මෙබඳු මානසික තත්ත්වයකින් පීඩිත දරුවකුට තම පීඩිත මනස ඉවත්කොට සහනදායි මානසික ස්වභාවයකට ඒම අත්‍යවශ්‍ය වෙයි.
පීඩාකාරි මානසික තත්ත්වයක් ඉවත් කළ හැකි එක් මගක් තමයි “සතිය” පුරුදු කිරීම. සතිය යනු එළඹගත් සිහියයි. එය පුරුදු කරන්නේ කෙසේද?
පවුලේ සියලුදෙනා ගේ මැද සාලේ හෝ එළිමහනේ රුක් සෙවණක හෝ වාඩිවෙන්න. හරියට සමාධි පිළිවෙත ඉරියව්වට සමාන ඉරියව්වක වාඩි වී දෑත් දෙදණ මත උඩුකුරුව තබාගෙන අත්වල මාපටැඟිල්ල තර්ජනී ඇඟිල්ලේ අග ගෑවෙන ලෙස තබාගන්න.
දැන් හුස්මක් ගෙන සැහැල්ලුවෙන් පිටකර නිසල වන්න. දැන් ඔබේ සිත ඔබ ළඟට ගන්න. හොඳින් සිහිය පවත්වාගන්න. මේ දැන් සිදුවන දේ ගැන මේ දැන් ඔබේ සිතට දැනෙන දේ ගැන ඔබ වාඩි වී සිටින සැටි දැනෙනවා. පොළොව මත සිරුර ස්පර්ශවන සැටි දැනෙනවා. දෑත, දෙපය, පිහිටා ඇති අයුරු සිතට දැනෙනවා. සිරුර කෙළින් සැහැල්ලුව තිබෙන සැටි දැනෙනවා.
ඔබ ඔබේ සිත සමඟ එකතුවන්න. ඔබත් සිතත් එකම වෙලාවකදී එකම දේ කරන්න. ඇහුම්කන් දෙන්න. අවටින් ඇසෙන ශබ්දවලට. සිතත් සමඟම හොඳින් අසා සිටින්න. විනාඩි පහක් පමණ සිතට යන්න දෙන්න එපා ඔබෙන් ඉවතට. සිත සමඟ යාළුවෙලා ඉන්න.
දැන් සිත ළංකරගන්න ඔබේ සිරුරට. සිතට දැනෙනවා ආශ්වාස ප්‍රශ්වාස කරන සිරුරේ චලනයන්. සිරුර පිම්බෙනවා. හැකිළෙනවා. ඔබට දැනෙනවා ස්පර්ශයෙන් සිරුරේ තවත් පුංචි පුංචි වේදනා දැනෙනවා තැන තැන. ඒ හැම එකක්ම සිතින් බලන්න. සිතින් විඳින්න. විනාඩි පහක් විතර.
දැන් ඔබ වඳින විදිහට දෑත් එක්කොට පපුව මට්ටමේ තබා ගන්න. සිතට දැනෙනවා අත්ලෙන් අත්ල ගැටී ඇති සැටි අල්ල ඇඟිලි එකිනෙකාට ගැටෙනවා. ස්පර්ශයෙන් දැනෙනවා.
දැන් අත්ලෙන් අත්ල පිසදමන ආකාරයට එහාට මෙහාට චලනය කරමින් අත්ලෙන් අත්ල ගැටෙන ස්පර්ශය සිතින් විඳින්න. එක් අතතින් අනික් අතේ ඇඟිලි වෙන වෙනම පිරිමදිමින් දැනෙන ස්පර්ශය සිතින් විඳින්න.
දැන් ඔබ ඔබේ සිතත් සමඟම එකතුවෙලා නැගිටින්න. නැගිටිනවිට දැනෙන කායික වේදනා හොඳින් බලන්න සිතින්.
සක්මන අරඹන්න. පාදයක් ඔසවා පොළොවේ තබන්න. පාදය පොළොවේ ගැටෙන සැටි ස්පර්ශයෙන් විඳින්න. මෙසේ හැකි වේලාවක් භාවනාවේ යෙදෙන්න. ප්‍රතිඵල අත්විඳින්න. පීඩනය මනසින් පලා ගොස් ඇති බව මෙනෙහි කර බලන්න.
කේ. මහතුන් ගමගේ