එළවළු, පළාවල වස විස මෙහෙම ඉවත් කරගන්න

පෙබරවාරි 25, 2022

 

පළා වර්ග හා එළවළු වගා කිරීමේදී කෘමීන්ගෙන් සිදු වන හානි වළක්වා ගැනීමට විවිධ කෘමිනාශක හා දිලීර නාශක වර්තමානයේ බහුලව යොදා ගනී. එළවළු හා පළා වෙළඳපොළ වෙත යැවීමට නෙළා ගැනීමට දින කීපයකට කලින් ද මේවාට කෘමිනාශක ඉසිනු ලැබේ.

 

වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් එළවළු හා පළා වගාවන්ට කෘමිනාශක හා දිලීර නාශක යෙදිය යුතු මාත්‍රාව ඉක්මවා භාවිතා කිරීම නව කෘෂිකර්මාන්තයේ සිදුවන බරපතළ වරදකි. මේ අනූව අස්වැන්න නෙළීමට ආසන්න කාලයේදීත් අධික මාත්‍රාවෙන් කෘමිනාශක මෙන්ම දිලීර නාශක යෙදීම ඉතාම බරපතළ සෞඛ්‍ය ගැටලු රාශියක් අපට දායාද කරයි.

කෘමිනාශක හා දිලීර නාශක යෙදීම පිළිබඳ අනවබෝධයෙන් හෝ දැන දැනම හෝ මෙලෙස සිදු කිරීම බොහෝදෙනෙක් ලෙඩුන් බවට පත් කරවන සාධකයක් බව පාරිභෝගිකයන් වන අප දැනුවත් විය යුතුම කරුණකි.

 

කෘමිනාශක හා දිලීර නාශක වලින් කෙරෙන කාර්යය

කාමි නාශක මගින් සිදු කරන්නේ කෘමීන්ගේ දේහ ක්‍රියාකාරීත්වය ව්‍යාකූලත්වයට පත් කිරීමයි. දිලීර නාශක මගින් බෝගවලට හානි කරන කෘමීන් ඇතුළු පළිබෝධකයන්ගේ එන්සයිම ක්‍රියාකාරීත්වය ද අඩපණ කරයි.

මෙහිදී කෘමිනාශක හා දිලීර නාශකවල අඩංගු “ කැඩ්මියම් ” , “ ඊයම් ” , වැනි “ බැර ලෝහ ” නිරන්තරයෙන්ම බෝග වගාවන්ට එකතු වේ. එවැනි ආහාර බෝග අපේ කෑම වේලට එක්කර ගැනීමෙන් අප බරපතළ ලෙස රෝගී වීම වැළැක්විය නොහැකිය.

මෙයින් මිදීමට එකම මඟ වන්නේ කෘමිනාශක හෝ දිලීර නාශක නොයොදා වවන එළවළු හා පළා වර්ග ආහාරයට ගැනීමයි. එහෙත් එය අප සිතන තරම් පහසු කරුණක් නම් නොවෙයි. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද ?

 

ගෙවතු වගාවක වැදගත්කම

වස විෂෙන් තොර එළවළු හා පළා ලබා ගැනීමට හොඳම විසඳුම වන්නේ එළවළු හා පළා අපේ ගෙවත්තේ වවා ගැනීමයි. කාබනික පොහොර භාවිතයේ හා සාම්ප්‍රදායික පලිබෝධනාශක මගින් ගෙවත්ත තුළ තමාට අවශ්‍ය දේ වගා කිරීම වර්තමානයේ කිසිසේත් අපහසු කටයුත්තක් නම් නොවෙයි.

ගෙවත්තට ඉඩක්

 

පැරණි ගම ශීඝ්‍රයෙන් නාගරීකරණය වීම, සැමියා මෙන්ම බිරිඳ ද මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් රැකියාවක නිරත වීම මෙන්ම සීමිත ඉඩකඩම් තවදුරටත් ඉතා කුඩා බිමි කැබලි බවට පත් වීම්, ජනගහනය අධික වීම ශීඝ්‍රයෙන් සිදු වීමත් නිසා අපේ රටේ වත්මන් ජනගහනයෙන් 15 % ක පමණ පිරිසකටවත් ගෙවත්තක් උරුම නොවීම මෙහිදී පැන නගින ප්‍රධානම ගැටලුවයි.

අමුමිරිස් ගස් දෙකක්, වම්බටු ගසක් දෙකක්, බණ්ඩක්කා පැළ දෙක තුනක්, මෑ වැලක්, කතුරුමුරුංගා පැළයක්, අඟුණ වැලක් ආදී වශයෙන් බෝග කීපයක් හෝ ඉතාම කුඩා ගෙවත්තක වුවත් ඉතාම පහසුවෙන් වවාගන්න අපට හැකියාවක් තිබුණත් බොහෝදෙනෙක් එවැනි දේට උනන්දු නොවීම කණගාටුදායක තත්ත්වයකි. දිනකට අප පරිභෝජනය කරන එළවළු, පලා හා පලතුරු ප්‍රමාණය ඉතා විශාලයි. එලෙස වෙළඳපොළෙන් මිලට ගෙන අප ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍යවල අඩංගු වස විෂ පිළිබඳ අප දැනුම්වත්ව සිටිය යුතුමයි.

එළවළු සහ පළා භාවිතයේදී වස විෂ ඉවත් කරගත හැකි පහසු ක්‍රම

 

එළවළු, පළා වර්ග පමණක් නොව ධාන්‍ය වර්ග ආදී දේත් තැනී තිබෙන්නේ කාබනික සංයෝග වලිනි. මේවා සඳහා යොදන කෘමිනාශක හෝ දිලීර නාශක එම කාබනික සංයෝගවල පහසුවෙන් දිය වේ. මේ නිසා ඒවා ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට විවිධාකාර වස විෂ රැසක් ඇතුළු වේ.

පළමු පියවර

 

එළවළු , පලතුරු ,පළා සහ ධාන්‍ය වර්ග පිරිසිදු ජලයෙන් හොඳීන් සේදීම (මෙමගින් මෙම ආහාර ද්‍රව්‍යවල අඩංගු විෂ ද්‍රව්‍ය යම් පමණකට ඉවත් වනු ඇත)

 

දෙවැනි පියවර

 

කොළ, එළවළු, පළා වර්ග ආදිය දෙවැනි වර සේදීමේදී එම ජලයට ලුණු මද වශයෙන් මිශ්‍ර කිරීම (මෙමගින් ඉතා ක්‍රඩා ජීවීන්ගේ බිත්තර විනාශ වී යාමත් විෂබීජ හරණයත් යම් තරමකට සිදුවේ)

 

තුන්වෙනි පියවර

 

එළවළු කුඩාවට කපා සෝදා ගැනීමෙන් ඒවායේ ඇතුළත කාබනික සංයෝගවල දියවන කෘමිනාශක හා දිලීර නාශක සංයෝග තවදුරටත් ඉවත් කර ගැනීමට පුළුවන.වස විෂ ඉවත් කරන තවත් සේදුම් ක්‍රම කිහිපයක්.

පිරිසිදු ජලය කෝප්පයක් සමග, විනාකිරි තේ හැඳී දෙකක් මිශ්‍රකර එළවළු හෝ පළා එම ද්‍රාවණයෙන් සෝදන්න. විනාකිරි මිශ්‍ර කිරීමෙන් ජලයේ ර්‍ථඩ් අගය අඩු වන බැවින් කාබනික සංයෝගවල දියවන කෘෂි රසායන ද්‍රව්‍ය තවදුරටත් සෑහෙන පමණට ඉවත් කරගත හැකිය. අවසානයට පිරිසිදු ජලයෙන් නැවත සෝදන්න.

පළා වර්ග පිස ගැනීමට පෙර කපා ලුණු ද්‍රාවණයක විනාඩි 5 - 10 ක් පමණ තබා පිසීමට ගැනීම, මෙම කුමය මගින් ඒවායේ අඩංගු දිලීර හා බැක්ටීරියා විශාල වශයෙන් ඉවත් කරගත හැකිය. කාර්යබහුලත්වය හෝ කාලය හරස් කර නොගෙන මෙම ක්‍රමයට හුරු වීමෙන් ඔබට ඒවා පහසුවෙන් පිරිසිදු කරගත හැකිය.

 

සිට්‍රික් අම්ලය (දෙහි යුෂ) සහ ජලය පිළිවෙලින් 1 : 3 අනුපාතයට මිශ්‍ර කර සාදා ගත් ද්‍රාවණයකින් කපා ගත් එළවළු සෝදා පසුව පිරිසිදු ජලයෙන් හොඳීන් සෝදා පිසගන්න.

දෙහි යුෂ තේ හැඳී 1 ක් බේකින් සෝඩා තේ හැඳී 2 ක් ජලය කෝප්පයක මිශ්‍ර කර සේදුම් ද්‍රාවණය සාදාගන්න. මෙහිදී ආහාර ද්‍රව්‍ය දෙතුන් වරක් පිරිසිදු ජලයෙන් හොඳීන් සෝදන්න. (මෙලෙස කරන්නේ බේකින් සෝඩා යහමින් ශරීරගත වීමෙන් මළපහ වීම වැඩි වශයෙන් බුරුලට සිදු වීමට ඉඩ ඇති බැවිනි) මෙම ද්‍රාවණයේ විනාඩි 5 ක් පමණ පිසින ද්‍රව්‍ය තබා ගැනීම ප්‍රමාණවත්ය.

විනාකිරි තේ හැඳී 2 ක් හා දෙහි යුෂ තේ හැඳී 2 ක් සමග වතුර කෝප්ප දෙකක් මිශ්‍ර කර සාදා ගන්නා ද්‍රාවණයකින් පිසුම් ද්‍රව්‍ය වරක් සෝදා දෙවනුව පිසින ද්‍රව්‍ය පිරිසිදු ජලයෙන් සෝදාගන්න.

 

මෙම සරල ක්‍රම කීපය මගින් එළවළු, පලතුරු, පළා හා ධාන්‍යවල අඩංගු වස විෂ වලින් 60 % ක් පමණ ඔබට ඉවත් කරගත හැකිය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.