වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
පණු රෝග කුමන වයසකදී වුවත් ඇති වෙන්න පුළුවන්
කිසිවකු කතා නොකරන නමුත් සමාජයේ බොහෝ පිරිසක් පීඩා විඳීන පණු රෝග පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු රැසක් මේ ලිපියෙන් දිග හැරේ. කොකු පණුවා, පටි පණුවා ආදි වශයෙන් ජීවිත කාලය පුරාම විවිධ පණු ආසාදන ඇතිවිය හැකි අතර කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා මෙම තත්ත්වය දැකිය හැකියි.
නමුත් මෙහිදී පණුරෝග තත්ත්වය වැලඳී ඇති බව රෝගියා නොදනියි. වෛද්‍යවරයා රෝගියාගේ පෙනුම හා ප්‍රශ්න මඟින් පණුරෝග හඳුනාගෙන ඒ අනුව ප්‍රතිකාර ලබාදෙයි.
අතීතයේ මිනිසුන් පණුරෝග වැළැක්වීමේ අරමුණින් බඩ විරේක කිරීම ආදි ක්‍රම යොදාගත් අතර දරුවන්ට පණු අමාරුව හට ගැනීම වැළැක්වීම සඳහා වෙළඳසල් වලින් ලබා ගන්නා ගුලි වර්ග, කල්ක වර්ගද අත් බෙහෙත් ලෙස එරබදු කොළ මැල්ලුම ආහාර වේලට එක්කර දීමට කටයුතු කළහ. ශරීරයට අතුරු ආබාධයක් නොමැති වුවත් මේ ප්‍රතිකාර මඟින් 100% ක්ම ප්‍රතිඵල ලබාගත නොහැකි බව පැවසිය යුතුයි. ළමයින් පැණිරස ආහාර නිතර නිතර වැඩිපුර ආහාරයට ගත්විට පණුවන් හට ගන්නා බව වැඩිහිටියන් පැවසුවද මෙහි ඇති විද්‍යාත්මක පදනම පිළිබඳව අප දැන සිටිය යුතුයි.
පැණිරස ආහාර වැඩිපුර ආහාරයට ගත්විට සෙම අධික වන අතර කුසගිනි නැති වෙයි. බඩගින්න නැති වූ විට බැහැරින් පැමිණෙන පණු බිත්තර වැඩීමට සුදුසු පරිසරයක් කුස තුළ නිර්මාණය වීමෙන් ආමාශ ගත පැණිරස හේතුවෙන් පණුවන් වර්ධනය විය හැකියි. පණු අමාරුව හට ගැනීමට හේතු වන පණු බිත්තර හෝ පණුවන් ශරීරය තුළට ඇතුළු වී උදර කුහරයේ ජීවත් වේ. මෙහිදී ආමාශය තුළ වර්ධනය වන පණුවෝ තම වර්ගයා බෝ කරමින් ජීවන චක්‍රය පවත්වාගෙන යයි. රුධිරය උරා බොමින්ද ආමාශික ආහාර යුෂ උරා බොමින්ද ජීවත් වේ. එක් එක් පුද්ගලයාගේ ශරීර තත්ත්වයන් අනුව මෙහිදී විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
පණුවන් ශරීරගත වන්නේ මෙහෙමයි.
පණු අමාරුව හට ගැනීමට පණු බිත්තර හෝ පණුවන් ශරීරය තුළට ඇතුළු වීම මෙලෙස සිදුවිය හැකිය.
ශාක මඟින්
භූමියෙන්
සත්ව කොටස් මඟින්
මෙලෙස පරපෝෂිතයන් එනම් පණුවන් හෝ පණු බිත්තර ශරීරගත වීම මුඛයෙන් හෝ සම සිදුරු කරගෙන සිදුවිය හැකියි. අප ආහාරයට ගන්නා විවිධ ශාක කොටස් එනම්, එළවළු, පළා වර්ග තුළින් පණු බිත්තර ශරීරයට ඇතුළු විය හැකියි. එළවළු පළා වර්ග ලුණු දමා මේ නිසා පිසීමට පෙර හොඳීන් සෝදා ගත යුතුයි. පලතුරු ආහාරයට ගැනීමේදී පිරිසිදුව පරිභෝජනයට ගත යුතුයි.
විශේෂයෙන්ම සනීපාරක්ෂක වැසිකිළි පරිහරණය නොකිරීම නිසා භූමියේ තැනින් තැන මළපහ කිරීමෙන් පණුවන් නැවත නැවත ශරීරයට ඇතුළු වේ. සත්ත්වයින්ගේ මළ නිසාද, කසළ හා අපිරිසිදු ජලයෙන්ද පණුවන් ඇතුළු වීම සිදුවේ. සත්ව කොටස් මඟින්ද පණුවන් ඇතුළු වීම සිදුවේ. විශේෂයෙන්ම ඌරු මස්, හරක් මස් වැනි මස් වර්ග හොඳීන් පිස ආහාරයට ගත යුතුය. ගෘහ ආශි‍්‍රත සතුන් වන බල්ලා, බළලා වැනි සතුන්ගෙන්ද ගවයා, ඌරා වැනි සතුන් මඟින්ද පණුවන් සිරුරට ඇතුළු වීමට පුළුවන.
පණු රෝග හට ගැනීමට බලපාන හේතු -
අපිරිසිදු ආහාර පරිභෝජනයට ගැනීම.
දූෂිත ජලය පානය
පාවහන් පාවිච්චි නොකිරීම
පවුල් සෞඛ්‍ය පිළිබඳව සැළකිලිමත් නොවීම
පෞද්ගලික සෞඛ්‍ය පුරුදු නොසළකා හැරීම.
පණු රෝග වලින් ආරක්ෂා වීමට නම්,
විශේෂයෙන් කුඩා දරුවන් බිම වැටුණු ආහාර ඇහිඳගෙන කෑම නිසා පණු බිත්තර සහිත විෂබීජ සිරුරට ඇතුළු විය හැකිය. විවෘත ස්ථාන වන ගංඟා, වැව්, ඇළදොළ ආදියෙන් ජලය පානය නොකළ යුතුයි. හොඳීන් උතුරවා නිවාගත් ජලය පානය කිරීම සුදුසුයි. පරිසරයෙහි ඇවිදින විට පාවහන් පැළඳීම නොකළහොත් භූමිය තුළ සිටින පණුවන් සම තුළින් සිරුරට ඇතුළු විය හැකියි. දෙපයේ ඇඟිලිකරු
යටිපතුලේ වැනි ස්ථාන වලින් සිරුරට ඇතුළු වෙත. “දියමිටියන් කාලා” යනුවෙන් පවසන්නේ එවැනි අවස්ථා වලදීය.
පවුලේ සෞඛ්‍යය පිළිබඳව සැළකිලිමත් වීම වැදගත්ය. එක් අයෙකුට පණු රෝග වැළඳී තිබුණහොත් පවුලේ සියලු දෙනාගේම සෞඛ්‍යයට මෙය බලපානු ඇත. එහෙයින් පවුලේ සියලු දෙනාම යහපත් සෞඛ්‍ය පුරුදු අනුව කටයුතු කළ යුතුයි.
පණුරෝග ආසාදිත පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීමේ දී නිවසේ සියලු දෙනාමත් ප්‍රතිකාර ලබාගත යුතුයි. කුඩා දරුවන්ට වයස අවුරුදු 12 පසුවනතුරු පණු බෙහෙත් ලබාදිය යුතුයි. බොහෝ විට රාතී‍්‍ර කාලයේ දී ගුද මාර්ගයෙන් සුදු පැහැති කුඩා පණුවන් පිටවීම(කිරිපණුගාය) හේතුවෙන් පවුලේ අන් අයටද රෝගය සෑදීමට හැකිය. වැසිකිළි භාවිතයේ දී සබන් ගා හොඳීන් අත් සෝදා ගැනීම, පෞද්ගලිකව පාවිච්චියට ගන්නා ඇඳුම් පැළඳුම්, ඇඳ ඇතිරිලි පිරිසිදුව තබා ගැනීම, දිනපතා ස්නානය කිරීම, පිරිසිදු ජලය පානය මඟින් පණුරෝග වළක්වා ගත හැකිය.
පණු රෝග හටගත් විට දැකිය හැකි රෝග ලක්ෂණ.
ආහාර අරුචිය, බඩ බුරුල් කර යාම, අලසකම, මුණින් අතට නිදා ගැනීම, ඇඟ කැසීම, නොසන්සුන්කම, ගුද මාර්ගය කැසීම, ශරීරය දුර්වල වීම වැනි රෝග ලක්ෂණ පණුගාය වැඩි වීමේදී දැකිය හැකිය. පණුවන් අධික ලෙස රුධිරය උරා බීම නිසා රක්තහීනතාවය ඇති වේ. පණුවන් ආමාශයේ ඉහළට ගමන් කිරීමේ දී උණ, වමනය, ඔක්කාරය ආදිය ඇතිවිය හැකිය.
ආයුර්වේද වෛද්‍යාචාරිනී, දීපිකා උනන්තැන්න