නාග පොළොං විෂට සැඟවුණු හෙළ වෙදකම්

වෙද ගැට ඇසුරින් නාග විෂට මැල්ලුම්
දෙසැම්බර් 4, 2020

විජය නෝනට අඩගහපල් ලා – මැළි නොව හස්තය අතටම අල් ලා

දිලිහෙන කහලුණු එක්කරපල් ලා – විළිවැද නයි විෂ යයි නුඹ පල් ලා

නාග විෂට රුක් අත්තන කොළ, සහ අත්තන කොළ ,කහ ලුණුූ ලා

කොටා මළවා බැඳීමෙන් නාග විෂ බැස යන බවයි.

තිත්ත මුසුව පොතු අසුකර ගන් නේ – එක්ක ඒ අවිසද අඹ පොතු ගන් නේ

පැත්ත නැතුව තුන් දොර තිබෙන් නේ – දස්ට කරපු මුක වනය ලවන් නේ

වශයෙන් තිත්ත වැලේ පොතු, තුන්දාර වැලේ පොතු, අඹ පොතු මේවා කොටා මලවා ගෙන නාග දෂ්ට මුඛයේ බදිනු. විෂ බසින බවයි.

වැඩිකළ නිදිමත පිසදා පන් නේ – පොඩිකළ විස දූවිලි සමගින් නේ

වෙඩිකල බිය සිවුපාවා වැන් නේ - දැඩි කළ නයි විස බැස යති උන් නේ

වශයෙන් නිදිකුම්බා විෂ දූවිලි, ඇත්දෙමට මේවා කොටා මලවා නාග දෂ්ට කළ මුඛයේ බදිනු. විෂ බැස යන බවයි.

ගොයියෝ සොද නයි විසට යහප ත් – දෙයියෝ වැසෙනා මල් ඇති ගසකු ත්

මයි හා පෝවට කියනා නමකු ත් – අයියෝ යහපති තුඹ කොළ ගනිතො ත්

වශයෙන් නාග විෂට ගොයි වැලේ කොළ, සපු, බිංපොල්, තුඹ කොළ මේවා කොටා මලවා බදින ලෙසයි.

නාග විෂට අංජනම් දැමීමක්

බානට කැප ඇති ඕවිට ගන්නේ – කීමට සතරේ නම දැන ගන්නේ

පානට යදිමින් ඇසට ලවන්නේ – මේවට නයි විෂ යහපත් වන්නේ

වශයෙන් වැල් කැප්පිටියා පහනට අල්ලා රත්කර ඉන් බේරෙන යුෂයෙන් නාග විෂට අංජනම් දැමීමෙන් නාග විෂ බැස යන බවයි.

නාග විෂට නෂ්‍යයක්

මගුලේ යන උන් දැක ලා – කුඹුරේ මඩ කළල් ක ළා

වැස්සට පැල යට ඉඳ ලා – නාග විෂට නස්න ක ළා

වශයෙන් මඟුල්කරද ඇට මද, කුඹුරු ඇට, මද, සමවගෙන නර මුත්‍රයෙන් අඹරා නස්න කිරීමෙන් නාග විෂ සමනය වන බවයි.

වගපුල් සිද්ධිගුරු වද අගනෝ ගන්න – මූණමල් ඇට ද තනකිරි අරගන්න

මළවුන් දොඩයි මේවා නස්නෙට ගන්න – නාග විසට සක්දෙව් කීවා ඔන්න

වශයෙන් තිප්පිලි , වියලි ඉඟුරු,වදකහ, මූණමල් ඇට මද, තනකිරෙන් අඹරා තනකිරි සමඟ නෂ්‍ය කරන ලෙසයි.

නාග විෂට කෂායක්

ඉල් මස පසු කර බෑයක ගන්නේ – උල්කර ලීයේ මුල් අර ගන්නේ

බැටදී ගත්තෙල් වත්කර ගන්නේ – නාග විෂට මෙය නස්න කරන්නේ

වශයෙන් හීන් උදුපියළිය , කූර මුල් ගිතෙළින් අඹරා නස්න කරනු.

නාග විෂට ආලේප

දිවියාගේ රෝඹුත් දැනගෙන – රාජ විෂට ලේප කර න

යකු අල්ලා නසා එමෙ න - ලේපය කරතත් ගුණ වෙ න

වශයෙන් දිවි කදුරු කොළ යකවනස්ස සමඟ අඹරා නාග විෂට ආලේප කරන බවයි.

උප්පත හරහට මුත්‍රා ගන් නේ – බුත්සරණේ දළු කකාරමින් නේ

ගස්වල මානෙල් මුණි වැඩ උන් නේ – සෙත්කර නයිවිස දුරට ලවන් නේ

වශයෙන් බුත්සරණ දළු, ගොඩමානෙල් අල, බෝ පොතු යනාදිය උක්පැණියෙන් උයා නයා දෂ්ටය කළ මුඛයේ ගෑමෙන් විෂ බැස යන බවයි.

පොළොං විෂට මැල්ලුම්

හොස්සට කියනා නම දැන ගන්නේ– පස්යට ඒකේ පොතු ගන්නේ

කහ ලුණූ ලා මලවා අර ගන්නේ – පොළොං විෂට ගෙන දවටා ගන්නේ

වශයෙන් තොලබෝ පොතුගෙන කහ ලුණු ලා කොටා මළවා බඳිනු

කින්නරාගේ හිස අර ගෙන – රදලියගේ සම්පොතු ගෙන

බඩසැළයන් තිදෙනකු ගෙන – කහලුණු ලා මලවා ගෙන

වශයෙන් කවුඩු බෝ, රදලිය පොතු හා කුඹල් කුරුමිනියන් තිදෙනකු ගෙන කහලුණූ ලා දමා කොටා මලවා බඳිනු.

වදන ළදුන් නිකමට ඉදගෙන කහනා – හැදුන එකා විළිලජ්ජාවෙන් හඬනා

මෙවග කණා මඟුලෙදි පොල්ලෙන් කොටනා – හිතට මනා නයි කෑ මුඛ තුළ වෙළනා

වශයෙන් නාග විෂට වදකහ,නික කොළ, කහඹිලියා කොළ, නිදිකුම්බා, තිප්පිලි , මගුල්කරද පොතු, අමුකහ ලුණුලා කොටා මලවා බඳින ලෙසයි.

කටු ඇති ගසකින් පොත්තක් ගන්නේ – කිරි ඇති ගසකින් පොත්තක් ගන්නේ

ගෙඩි ඇති ගසකින් පොත්තක් ගන්නේ – පොළගුන්ගේ විස දේසේ යන්නේ

වශයෙන් කටුඅන්දර, රුක් අත්තන , රත් එඩරු, ආදියේ පොතු කොටා මලවා පොළොං විෂට බඳින බවයි.

වැලෙන් කපා වැල් කරවිල ගන්නේ – කැලෙන් කපා කැටකෑලය ගන්නේ

රුකෙන් කපා රුක්අත්තන ගන්නේ – පොළොං විෂට කීවා දැන ගන්නේ

වශයෙන් පොළොං විෂට වැල් කරවිල, කැටකෑල පොතු රුක්අත්තන පොතු කොටා මලවා බඳින බවයි.

පොළොං විෂට නෂ්‍යයක්

වංගවාලු කොයි දේසේ – වංගවාලු මේ දේසේ

නස්න කලෝතින් නාසේ– පොළොං විසේ යයි දේසේ

වශයෙන් පොළොං විෂට පුස් වැල් යුෂ නස්න කරන් ලබන බවයි

පොළොං විෂට කැඳක්

වඳ ගෑණිගෙ කෙස් කොළ ගෙන – රෑට පැලට එන කොළ ගෙන

තනඅල්ලා තෙල් ගනිමින – පොළොං විෂට කැඳ පිස දෙන

වශයෙන් පොළොං විෂට වදකහ කොළ, මදුරු කොළ කැඳ පිස එළඟිතෙලින් දෙන බවයි.

එළුවකු අල්ලා කුර අරගන්නේ – තොටියෙකු අල්ලා මිරිකා ගන්නේ

කළු සුදු එළුවන් යුෂ අරගන්නේ– පොළොං විෂට මෙය කැඳ පිස දෙන්නේ

වශයෙන් එළබටු, තොටිල පොතු, කළු හා සුදු උක්පැණි සමඟ තණ හාලෙන් කැද පිස දීමෙන් පොළොං විෂ බැස යන බවයි.

පොළොං විෂට බීමට

ඉස් සෝදන කොට ගනිති බොලන්නේ – තපසගෙ නම යොදයි කියන්නේ

එසේම නිබොරුව රැසි පවසන්නේ– බොහොසේ යහපති පොළඟට දන්නේ

වශයෙන් පොළොං විෂට මුඩමහණ සහමුලින් ගෙන කොටා දෙහි ඇඹුලින් මිරිකා පොවන ලෙසයි

(ලබන සතියේ වෙනත් සර්ප විෂ සඳහා ප්‍රතිකාර වෙදගැට ඇසුරින්)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.