වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
දෛව අංක 7න් උපන් ඔබ ගැනයි මේ ...
ඔබේ උපන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් ලැබෙන තුරු එකට එකතු කිරීමෙන් දෛව අංකය ලැබෙන බව දැනටමත් ඔබ දනී. අංක විද්‍යාව ඇසුරින් ඔබේ චරිත ලක්ෂණ සොයා ගැනීමට උනන්දු වන ඔබට පහත උදාහරණයේ ආකාරයට ඔබගේ දෛව අංකය පහසුවෙන්ම සොයාගත හැකිය.
උදා - 1954.05.10
1+9+ 5+4+0+5+1+0= 25
2+5= 7
උපන් අවුරුද්ද මාසය දිනය තනි අංකයක් වන ලෙස එකතු කළ පසු ඔබගේ දෛව අංකය වන්නේ අංක 7 නම් එය නෙප්චූන් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. ඔබ ජීවිතේ ඕනෑම අභියෝගයක් බය නැතිව බාර ගන්නා අයකු වෙයි. නිර්භීතභාවය මෙන්ම එඩිතර ගතිය ඔබගේ චරිතය පුරාම දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. කුමන බාධක පැමිණිය ද තම අරමුණු සහ ඉලක්ක කෙසේ හෝ ජය ගැනීමට ඔබ අවසානයේ සමත් වෙයි. කිසිදු කලබලයකින් තොරව තමාගේ අරමුණු වෙත හෙමින් සීරුවේ ගමන් කරන ගතිය ඔබ තුළින් දැකිය හැකිය.
ඔබ සමාජ සේවය වෙනුවෙන් ඉතාමත් උවමනාවෙන් කටයුතු කරන අයෙකි. අන් අයගේ යහපත වෙනුවෙන් ඔබ ඉතාමත් කැපවීමෙන් කටයුතු කරන අතර ඔවුන්ගේ කටයුතුවලදී ඔබ පුළුවන් උපරිමයෙන් සහයෝගය ලබා දෙයි. එහෙත් තමන්ට උදව්වක් අවශ්‍ය වූ විට අනිත් අයගෙන් ඔබට එතරම් සහයෝගයක් ලැබෙනවාද යන්න පිළිබඳ ගැටලුවක් පවතී. ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසය අතින් ඔබ ඉතාමත් ඉහළ තැනක සිටී. නැහැ බැහැ කියමින් පස්සට යනවට වඩා ඔබ කෙසේ හෝ එය සාර්ථක කර ගැනීමට උත්සාහ දරයි. ඔබට පැමිණෙන සියලු අභියෝගවලට ඉතාමත් සැහැල්ලුවෙන් මුහුණ දීමේ හැකියාවක් ඔබට ඇත. ඔබ තරමක් නිදහස් මතධාරී පුද්ගලයකු වන අතර තම කටයුතුවලට අන් අය ඇඟිලි ගසනවාට කිසිසේත්ම කැමැති නැත. යම් වැඩ කටයුත්තකදී තමන්ට රිසිසේ නිදහසේ එම කටයුත්ත කිරීමට ඔබ ආසා කරයි. ඔබ තුළ මනා සැලසුම් සහගත භාවයක් පවතින අතර ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කිරීමට නිරන්තරයෙන් උත්සාහ ගනී.
ජීවිතය තුළ සාර්ථක වීම් මෙන්ම අසාර්ථක වීම්වලට ද ඔබට මුහුණ දීමට සිදු වන අතර සාර්ථකත්වය තුළ බොහෝ මතක සටහන් සහ වාර්තා ඔබට ඉතිරි කළ හැකිය. එමෙන්ම ඔබට ජීවිතේ තුළ බලාපොරොත්තු නොවන ආකාරයේ වාසි ද උදාවනු ඇත. අවුල් සහගත මනසක් ඔබ කිසිසේත් ම ප්‍රිය නොකරයි. ඉතාමත් ප්‍රියමනාප පුද්ගලයකු ලෙස පැහැදිලි මනසකින් කටයුතු කිරීම ඔබගේ ගති ස්වභාවයක් වෙයි. ඕනෑම ප්‍රශ්නකාරි අවස්ථාවකදී සංයමයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාවක් ඇත. එමෙන්ම ඕනෑම ගැටලුකාරී තත්ත්වයකදී විශ්ලේෂණාත්මකව එය විසඳීමේ හැකියාවක් ද ඇත. නායකත්ව ලක්ෂණද ඔබ තුළ පවතින අතර හොඳ සමාදාන ගතියක්ද පවතී. ඔබට ඕනෑම දෙයක සමස්තය දැකීමේ හැකියාවක් ඇත. ඒ නිසාම බොහෝ විට නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ද පවතී. ඔබ තුළ අලුත් අදහස් පවතින අතර අලුත් නිර්මාණාත්මක දේ බිහි කිරීමේ හැකියාව ද පවතී. වයස අවුරුදු 30 පසුවන විට බොහෝ විට ජීවිතයේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගනී. ඔබ සිහින මව මව සිටිනවාට වඩා ප්‍රායෝගිකව ඒ දේවල් සැබෑ කර ගැනීමට නිතරම උත්සාහා ගන්නා පුද්ගලයකි.
(දෛව අංක 8 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න...)