දෛව අංකයෙන් හෙළිවන ජීවන තොරතුරු

දෛව අංක 6න් උපන් ඔබ ගැනයි මේ...
ජනවාරි 31, 2025

සමාජයේ බොහෝ දෙනකු වාසනා අංකය නමින් හඳුන්වන දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව අපි දනිමු. පුද්ගලයෙකුගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් කාරණා හෙළි කරගැනීමේදී දෛව අංකයට සුවිශේෂී තැනක් හිමිවෙයි. තමන්ගේ උපන්දිනය දන්නා ඕනෑම කෙනකුට දෛව අංකය පහසුවෙන් සොයාගත හැකිය.

එහිදී ඔබේ උපන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් ලැබෙන තුරු එකට එකතු කිරීම අවශ්‍ය වේ. මේ උදාහරණයේ ආකාරයට ඔබටත් ඔබගේ දෛව අංකය පහසුවෙන්ම සොයාගත හැකිය.

උදා - 1972.05.09

1+9+7+2+0+5+0+9 = 33 3+3= 6

 

උපන් දිනය මාසය අවුරුද්ද තනි අංකයක් වන ලෙස එකතු කළ පසු ඔබගේ දෛව අංකය අංක හය බවට පත්වේ නම් එය සිකුරු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. ඔබ ඉතාමත් යහපත් දක්ෂ පුද්ගලයකු වෙයි. ඉතාමත් ප්‍රායෝගික ගති පැවතුම් ඔබට ඇත.

තරමක් වේගයෙන් ක්‍රියාශීලී වන ඔබ ආවේගශීලීව කටයුතු කරන අවස්ථා ද බොහෝ විට දක්නට ලැබෙයි. ඕනෑම සමාජ මට්ටමක කෙනකු ඉතාමත් ළඟින් ඇසුරු කිරීමේ හැකියාවක් ඔබට ඇත. ඔබ යම් යම් දේවල් දැන ගත්තා කියා උඩඟු බවක් අහංකාරකමක් නැත. එවා පෙන්වන්නට යන්නේ ද නැත. ඕනෑම දෙයක් අන් අයට හොඳීන් දැනෙන ලෙස හොඳීන් තේරුම් කර දීමේ විශේෂ හැකියාවක් ඔබට ඇත. ඒ වගේම අනෙක් අයට හොඳීන් සවන් දීමේ ගුණය ද ඔබට තිබේ. ඔබ රැකියාවක් ව්‍යාපාරයක් කළත් එම කටයුතුවල ඉතාමත් දක්ෂ ලෙස උනන්දුවෙන් යෙදෙන අතර එමඟින් දියුණුවද ඇති කරගත හැකිය.

ජීවිතේ ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා නොහිතන ඔබ ඉතාමත් මධ්‍යස්ථ දිවි පෙවෙතක් ගත කරණ පුද්ගලයෙකි. ඉතාමත් සමාජශීලි පුද්ගලයකු වන ඔබ සමාජයේ උදවු අවශ්‍ය අවස්ථාවන්වලදී ඕනෑම කෙනකු වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිම කැපකිරීම කිරීමට පසුබට වන්නේ නැත. ඔබ ඇසුරු කිරීමට බොහෝ දෙනකු ප්‍රිය කරන්නේ ඔබ තුළ පවතින්නාවූ සුහදශීලී බව නිසයි. ඔබ ළඟින් ඇසුරු කරන සමහර පුද්ගලයන් ගැන වඩාත් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත් වෙයි. ඔබගේ හොඳකම ඔවුන් අනිසි විදියට භාවිත කිරීමට පෙලඹිය හැකි බැවිනි. බොහෝවිට රැවටිලි වංචාවන්වලට පවා හසුවීමේ ඉඩකඩක් පවතී. එබැවින් හැමෝම විශ්වාස කිරීමෙන් වළකින්න. තමන්ට අවශ්‍ය උදවු ඕනම කෙනෙක්ගෙන් කෙසේ හෝ ලබා ගැනීමට ද ඔබ තුළ යම් දක්ෂතාවයක් පවතී. ඔබ මුදල් හම්බ කරනවා වගේම වියදම් කිරීම ද සිදු කරයි. තමන් වෙනුවෙන් යම් තැන්පත් මුදලක් ඉතිරි කර ගැනීමට ඔබ උනන්දු විය යුතුයි.

ඔබ ඉතාමත් විනෝදකාමී පුද්ගලයෙකි. එමෙන්ම සෞන්දර්ය හැකියාවන් ද ඔබ සතුව පවතින අතර සෞන්දර්යය රස වින්දනයට ද බෙහෙවින් ආසා කරයි. විසිතුරු මල් වර්ග වැවීම සුරතල් සතුන් ඇතිකිරීම ඔබගේ විනෝදාංශයක් බවට පත්වෙයි. ඉතාමත් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීම ඔබගේ එකම බලාපොරොත්තුව වන අතර ඔබගේ සහකරුවා සහකාරිය සමඟ විනෝදයෙන් සතුටින් කාලය ගත කිරීමට නිතරම උත්සාහ කරයි. තම යහළුවන් ඥාතීන් මෙන්ම ඇසුරු කරන අයගේ ගති පැවතුම් ස්වභාවයන්ට අනුගත වෙමින් ඔවුන්ට අනුකූලව ජීවත් වීමේ හැකියාවක් ඔබට ඇත. ඒ නිසාම බොහෝ විට අන් අය සමඟ ඇතිකරගන්නා වූ මතභේද ද බොහෝ විට අඩු වෙයි. කෙසේවෙතත් ඉතාමත් සමබර සාර්ථක ජීවිතයක් ගෙවීමේ හැකියාව ඔබට ඇත.

(දෛව අංක 7 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.