සෙනසුරුගෙන් සම්මාන ලැබූ රෝද හතරේ මනමාලයා

ජනවාරි 31, 2025

අධ්‍යක්ෂකවරයකු, තිර පිටපත් රචකයකු සහ රංගන ශිල්පියකු ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති සුනිල් කොස්තා මහතාට තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී මුහුණදීමට සිදු වී ඇති අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේ දී බලාපොරොත්තු වෙමි.

ඒ මහතා 1959 වසරෙහි අප්‍රේල් 6 වනදා ප.ව. 10.51ට උත්පත්තිය ලබා ඇති අතර චන්ද්‍රයා මීන රාශිය තුළ තැන්පත්ව ඇත. ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව අර්ධ ධර්ම කර්මාධිපති රාජ යෝගයක් ඇත. මීට අමතර ලෙස විපරීත රාජ යෝගවලින් කීපයක්ම මේ කේන්ද්‍ර සටහන තුළ ඇති බව පෙනේ. ශනි සහ සිකුරු යන ග්‍රහයන් එකම දිශාවේ පිහිටීම මඟින් ඒ මහතා ප්‍රසිද්ධ කලාකරුවෙකු බවට පත් කර ඇත. එමෙන්ම, කුජ සහ ශනි යන ග්‍රහයන් මුහුණට මුහුණලා පිහිටීමට අනුව, සුනිල් කොස්තා මහතා අධ්‍යකෂකවරයකු ලෙස ඉමහත් සාර්ථකත්වයට පත්ව ඇත.

කොස්තා මහතා විවාහප්‍රාප්ත වන්නේ 1993 අගෝස්තු මස 26 වැනිදාය. ඒ වන විට ඔහුට ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියරේ උණුසුම පවතින්නේ ඒ වසරේ ඔක්තෝබර් මස 15 නිම වූ ඒරාෂ්ටකයෙන් දින 11ක් පමණක් ගෙවී ඇති අතර නැවත නොවැම්බර් 09 ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ලබන්නට සති දෙකක් පමණක් පැවැති නිසාය.

එමෙන්ම ඔහුගේ කුලුඳුල් පුත්‍රයා උපදින්නේ 1994. 09.19 වන අතර ඒ වනවිට ඒ මහතා ජන්ම ඒරාෂ්ටකයේ පළමු අදියර ගෙවමින් පසුවිය.

දෛවෝපගතව දියණිය උපදින්නේද ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගතවද්දීය. ඒ 1995.10.20 දිනය. විස්මයට කරුණ නම් ඔහුට තම බාල පුතණුවන් උපදින්නේ ද ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වි දින කීපයක් ඇතුළත එනම් 2000 වසරේ ජූනි මසදීය.

2012 වසරෙහි පින්සර දොස්තර පැවති සුමති ටෙලි සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂකවරයකු, හොඳම තිරනාටක රචකයා සහ හොඳම නිෂ්පාදකවරයා ලෙස සම්මාන දිනා ගනිද්දී සුනිල් කොස්තා මහතාට ලග්න ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර වන චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇති බව පෙනේ. 2023 මාර්තු මාසයේ දී පැවති 2022 රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී ඔහුගේ නම සම්මාන කීපයක් සඳහා නිර්දේශ වන විට ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයාට යාබද රාශියෙහි නොහොත් කුම්භ රාශියෙහි ශනි ගමන් කරමින් සිට ඇති බව පෙනේ. එනම් ඒ මොහොත වන විට ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වෙමින් තිබී ඇති බව පෙනේ. එසේම ඔහු තවත් විවිධ නාට්‍ය නිර්මාණය කරන අවස්ථාවල ඒරාෂ්ටක කාල ගත කර ඇති බව කාලවකවානු පිළිබඳ නිෂ්චිත මතකයක් නැතත් ඔහුගේ අනුමාන කාල අනුව පැහැදිලි වෙයි.

1994 වසරේ දී, සුනිල් කොස්තා මහතා “අරුන්දතී” කලා නිර්මාණයෙන් අධ්‍යක්ෂ වෘත්තිය ආරම්භ කරද්දී, ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වෙමින් තිබී ඇති බව පෙනේ. එම කලා නිර්මාණයට, හොඳම කැමරා ශිල්පියාට හිමි උණ්ඩා සම්මානය ලැබෙන විටද කොස්තා මහතා අති ප්‍රබල ජන්ම ඒරාෂ්ටකයක් ගත කර ඇති බව ඉතා හොඳින් තහවුරු වෙයි. එමෙන්ම 1995 වසරෙහිදී ඒ මහතා ‘කාක්කෝ’ කලා නිර්මාණය වෙනුවෙන් ‘උණ්ඩා’ ගෞරව සම්මානය ලබන විටද ඒ මහතා ප්‍රබල ජන්ම ඒරාෂ්ටකයක් ගත කරමින් සිට ඇති බව පෙනේ. 1996 වසරේදී, සුනිල් කොස්තා මහතාගේ ‘කණ්ණාඩි කුට්ටම’ ටෙලි නිර්මාණය හොඳම ‘අධ්‍යක්ෂවරයා, හොඳම තිර නාටක රචකයා, හොඳම වේශ නිරූපණ ශිල්පියා සහ 1996 වසරෙහි හොඳම ටෙලි චිත්‍රපටය’ ලෙස උණ්ඩා ගෞරව සම්මාන දිනා ගනිද්දී ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇති බව ඡ්‍යොතිෂය පිළිබඳව ආධුනික දැනුමක් ඇති අයකුට වුවද කොස්තා මහතාගේ උපන් විස්තර ඇසුරින් නිගමනය කළ හැකි වනු ඇත. 1997 වසරේදී සුනිල් කොස්තා මහතා ඔහුගේ සෙල්ලම් ගේ ටෙලි චිත්‍රපටය වෙනුවෙන් ‘හොඳම ටෙලි චිත්‍රපටය’ සඳහා වූ ‘සුමති’ සම්මානය ලැබෙන විට, ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇති අතර ඒ මහතා රූපවාහිනියෙන් විකාශය වූ ‘රෝමියෝ සහ ජුලියට්’ සඳහා අධ්‍යක්ෂයෙන් සහ තිර රචනයෙන් දායක වී ඇත්තේ ඉන් පසුවය.

2015 වසරේදී සුනිල් කොස්තා මහතා ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘පියස’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කර ඇති අතර මේ ටෙලි නාට්‍ය සඳහා 2017 වසරේදී හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් හොඳම තිර පිටපත වෙනුවෙන්ද, හොඳම ටෙලි නාට්‍යය වෙනුවෙන්ද ජාතික මට්ටමේ සම්මාන ලැබී ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඉහත ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන විට ඒ මහතා ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිටීමය. 2022 වසරේදී සුනිල් කොස්තා මහතා කැන් යූ හියර් මී වෙනුවෙන් රයිගම් සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණය ලෙසද, හොඳම තිර පිටපත් රචකයා ලෙසද නිර්දේශිත නම් අතරට එක් වූ අතර 2020 සුදු ඇඳගෙන කළු ඇවිදින් සඳහා සම්මාන හිමි විය. ඒ කාලවලදී කොස්තා මහතා ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත කර ඇති බව පෙනේ.

එමෙන්ම 2003 වසරේ ‘රෝද හතරෙ මනමාලයා’ කලා නිර්මාණය වෙනුවෙන් ‘හොඳම අධ්‍යක්ෂවරයා’ ලෙස හොඳම තිර පිටපත් රචකයා’ ලෙස පිදුම් ලබන විටද ශනි ග්‍රහයා මිථුන රාශිය තුළින් ගමන් කරමින් තිබී ඇති අතර ඒ වන විටද ඒ මහතාට අතිප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වෙමින් තිබී ඇත. එසේනම් ඒරාෂ්ටක කාල වකවානුවල ප්‍රතිඵල පමණක් ලැබෙන්නේ යැයි යමෙකු පවසන්නේ නම් එය සාවද්‍ය බව පෙනේ.

අන්තර්ජාලයෙන් ලබා ගත් තොරතුරුවලට අනුව සුනිල් කොස්තා මහතා 2024 වසරෙහි දෙසැම්බර් මාසයේ දී, ටෙලි නිර්මාණවේදීන්ගේ සංගමයේ අභිනව ගරු ප්‍රධාන ලේකම් ධුරයට පත්ව ඇත. ඒ වන විට ශනි ග්‍රහයා කුම්භ රාශිය මතින් චලිත වෙමින් සිටින අතර ඒ අනුව, ඒ වන විට ඒ මහතා ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත කරමින් සිට ඇති බව පෙනේ.

අප විසින් කතාබහ කරන ලද්දේ සුනිල් කොස්තා මහතා ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී මුහුණ දුන් සිදුවීම්වලින් කිහපයක් පමණි. අප සොයා ගත් තොරතුරුවලට අනුව, එම සිදුවීම් බොහොමයක් සුබදායක සිදුවීම් වන බව පෙනේ. එහෙත් සුනිල් කොස්තා මහතාට සුබදායක සිදුවීම් සිදු වී ඇත්තේ තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී පමණක්ම නොවන බව අප හට නිරීක්ෂණය කළ හැකිය. තවද අප ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ නොකළ ද ඒ මහතාට ඒරාෂ්ටක කාල වකවානුවලදී සිදු වූ ඇතැම් සිදුවීම් අසුබදායක, දුක්ඛදායක මෙන්ම පීඩාකාරී වන්නට ඇත. එනම් අප හැම විටම පවසන්නාක් සේ අපගේ අදහස වන්නේ ඒරාෂ්ටක කාල වකවානුවලදී සුබ සිදුවීම් පමණක් සිදු වන බව පෙන්වා දීම නොවේ. අපගේ අරමුණ වන්නේ ඒරාෂ්ටක කාල වකවානුවලදී අසුබ සිදුවීම්වලට අමතර ලෙස සුබ සිදුවීම්ද සිදුවන බව පෙන්වා දීමය.

කෙසේ වෙතත්, සුනිල් කොස්තා මහතාට 2025 වසරෙහි මාර්තු 29 වැනිදා සිට 2027 වසරෙහි ජුනි 03 දක්වා කාල සීමාව තුළද 2027 වසරෙහි ඔක්තෝබර් 21 සිට 2028 වසරෙහි පෙබරවාරි 23 වනදා දක්වා කාල සීමාව තුළද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වන බව පෙනේ. ඒ අනුව එම කාලසීමාව ඒ මහතාගේ ජීවිතයේ ඉතා ආන්දෝලනාත්මක කාල සීමාවක් වීමට ඉඩ ඇති අතර ඒ මහතාගේ ප්‍රසිද්ධිය උපරිම වීමට ඉඩකඩ ඇත. ඉහත කාල සීමාව තුළ, ඒ මහතාගේ වෘත්තීමය කටයුතුවල පවා බරපතළ වෙනස්කම් සිදුවීමට ඉඩ ඇත. කෙසේ වෙතත්, විශාල අභියෝග මධ්‍යයේ අති විශාල ජයග්‍රහණ පෙන්නුම් කරන ඉහත කාල වකවානුව තුළ සුනිල් කොස්තා මහතා තම අසනීප තත්ත්වයන් පිළිබඳවද, අනතුරු පිළිබඳවද, රැවටිලිවලට හසුවීම පිළිබඳවද, සොරසතුරු උපද්‍රව පිළිබඳවද බෙහෙවින් සැලකිලිමත් වීම නුවණට හුරුය.

 

සේයාරූ - තුසිත ලොකුගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.