තම සැතිරිය සොයා මහ රෑ පිටත් වූ ලේඛකයා

අද්භූත ගනුදෙනුකරුවා - 7 කොටස
පෙබරවාරි 7, 2025

 

මෙතෙක් කතාව

බරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයකු වූ රූපට් ඔරේන්ජ් නැමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි. එක්තරා ලේඛකයකු විසින් ඔහුගේ ජීවිත ඉරණම පිළිබඳ කතාන්තරය සොයා ගනී, දැන් ගලා යන්නේ එම කතාවය. එම කතාවට අනුව කෲර ඥාතිවරියක නිසා පාරට වැටුණු තරුණයකු වූ රූපට් ඔරේන්ජ් හට දිනක් රාත්‍රිකාලයේ ඇවිදීමට යද්දී අද්භූත මහලු මිනිසකු හමුවෙයි. මහලු මිනිසා තරුණයා කැටුව අවන්හලකට ගොඩවෙයි. එහිදී තරුණයාට ප්‍රකෝටිපතියකු වී මේ දුප්පත් දිවි පෙවෙතින් මිදීමේ අපූරු ක්‍රමවේදයක් මහල්ලා විසින් පැහැදිලි කරයි. ඒ අතර තරුණයාට ලැබෙන ලියුම ඔහුට අතට බාරදීමට තැපැල්කරු පැකිළෙයි. තැපැල් පෙට්ටියට දැමූ ලියුම රැගෙන එහි ඇති ලිපිනයට යන රූපට් හට ආයතනයේ අය සලකන්නේ ඉතා පහත් අයුරිනි. කෙසේ හෝ ඔහු මහා ධනකූවේරයකු වීමට වරම් ලබා ඇති බව දැනගත් පසු බැංකුකරුවන් ඔහුට ඉතා ඉහළින් සලකන්නට වන අතර පොහොසත් ඔරේන්ජ් පිළිබඳ පුදුම සහගත වීරකතා සමාජයේ පැතිර යයි.

මේ සමඟම තමා විසින් වරින්වර ලියන ලදුව එක් රැස් කර තිබූ නිර්මාණ රාශියක් ග්‍රන්ථයක් ලෙස එළි දැක්වීමේ උත්සවය අවසන් වුයේ සියලුම පුවත්පත් කතුවරුන්, විචාරකයන් සහ ප්‍රකාශකයන් මෙන්ම රටේ ශ්‍රේෂ්ඨ ලේඛක ලේඛිකාවන්ටද ආරාධනා කරනු ලැබූ උත්කර්ෂවත් රාත්‍රී භෝජන සංග්‍රහයකිනි. ලොව පුරා දුර්ලභ සියලු වයින් වර්ග ඇතුළු මධුවිත සපිරි එහිදී සියලුම ආරාධිතයන්ට වටිනා රක්ත මාණික්‍යයක් අල්ලන ලද ස්වර්ණමය කොපුවක් සහිත ඉතා වටිනා සාක්කු ඔරලෝසුව බැගින්ද, පුරා හය මසක් නගරයේ ඉහළම සාප්පු සංකීර්ණයකින් නිවෙස් සඳහා වූ සියලුම පාරිභෝගික භාණ්ඩ ලබාගත හැකි වටිනා වවුචරය බැගින්ද පිරිනමනු ලැබුවේ ඔවුන් විස්මයෙන් මුසපත් කරවමිනි. සීමාව ඉක්මවා මධු විතෙන් සන්තර්පණය වී නිවෙස් බලා ගිය බොහෝ මාධ්‍යවේදීන්ට බිරින්දන්ගේ කන්දොස්කිරියාවෙන් බේරෙනු සඳහා රූපට් විසින් පිරිනමන ලද වටිනා වවුචරය දේවාර්ශීවාදයක්ම වූ බව ඔහුට පවසනු ලැබුවේ පෙර කී කතුවරයකු විසින්මය.

එතැන් සිට රූපට් ඔරේන්ජ්ගේ කීර්තිය දසදිග පතළව ගියේ නගරයේ ආශ්චර්යමත් ධනවතා වශයෙන් පමණක්ම නොවේ. ධනවත්ම චින්තකයා ලේඛකයා හා කවියාද වශයෙන් අසීමිත කීර්තියක්ද හිමිකර ගනිමිනි. අනෙක් කවරකුට කෙසේ වුවද තම නිර්මාණ කෙරෙහි හැකිතාක් අවංක වීමට ඔහුට වුවමනා වූවා පමණක් නොව ඒ තුළින් යම් ආත්ම ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට තරම් ජීවිතාවබෝධයක්ද ඔහු තුළ වූයේය. මෙතරම් සැප සම්පත් සාගරයක කිමිදී දිවි ගෙවන ධන කුවේරයකු ජීවිතයේ ශෝකජනක යථාර්ථය ගැන මෙතරම් අවබෝධයකින් නිර්මාණ බිහි කරනු ලබන්නේ කෙසේදැයි යන්න ඇතැමෙකුට බරපතළ ගැටළුවක් වූ අවස්ථා ද ඇති වූ නමුත්, ඒ වන විට ඒවාට නිසි පිළිතුරු ලිවීම සඳහා ඔහු වෙනුවෙන්ම කැප වූ විචාරක හමුදාවක්ද රූපට් පසුපසින් වූයේය. විචාරකයන් පමණක් නොව රූපට් මුදල් ආයෝජනය කරන්නේ නම් ඔහුගේ නමින් නවකතා හෝ කෙටිකතා නිර්මාණය කිරීමට පමණක් නොව චිත්‍ර නිර්මාණය කර දීමට සුදානම් කලාකරුවෝද පෙළ ගැසී සිටියහ. එහෙත් කලා කෘති අරබයා ඔහු කිසි විටෙක එසේ කළේ නැත.

“ධනය ”

මේ සෑම අවස්ථාවකම රූපට්ගේ සිහියට මහලු පුද්ගලයා අවධාරණය කළ ඒ වචනයේ බැරැරුම්කම සිහියට නැගිණි. ඒ සමඟම ඔහු විසින් මහලු ආගන්තුකයා හමුවන තෙක් ගෙවා දැමු අපා දුකට මුල් වූ ගැහැනිය හමුවනු පිණිස කාලය උදාවී ඇතැයි රූපට් කල්පනා කළේය. ධනවතකු වීමෙන් අනතුරුව ඕනෑ කමින්ම ඇය හමුවීම කල්දමා සිටි රූපට් පෙබරවාරි මාසයේ අගභාගයේ සන්ධ්‍යාවක ඇය හමුවනු පිණිස පිටත් වූයේය.

ඇය අනිස් නම් ගැහැනිය වුවාය.

වොෂිංටන් චතුරශ්‍රය සමීපයේ වූ අනිස් මහත්මියගේ මන්දිරය ගෑස් ලාම්පු ආලෝකයෙන් මනා සේ බැබලෙමින් තිබුණේ හාත්පස රන් පැහැයෙන් දිදුලවමිනි. සිහින් උසැති කඩවසම් තැනැත්තියක වූ අනිස් මහත්මිය ඇඳ පැලඳ සිටි ආකාරයෙන් ඇයගේ සරාගික පෙනුම වඩාත් ඉස්මතු වී පෙනුන අතර, ලාම්පුවෙන් නිකුත් වූ රන් පැහැති ආලෝක ධාරා ඇයගේ රූමත් මුහුණේ හැඩ නිල වඩාත් ඉස්මතු කරවා තිබිණි. අතීතයේදී අල්පමාත්‍ර වූද වරදක් තමා අතින් රූපට්ට සිදු නොවූවා සේ ඇය ඔහුව පිළිගත්තේ කලකට පසු තම ප්‍රේමවන්තයා හමුවූ පෙම්වතියක පරිද්දෙනි.

“ඉතින් මගේ ආදරණීය රූපට්, කොයිතරම් කාලයකට පස්සේද අපි මේ හමුවුණේ? ඔබට නීත්‍යානුකූලව උරුම වුණු ඒ වාසනාව ගැන දැන ගැනීම නිසා මමත් මගේ සැමියාත් කොයිතරම් නම් සතුටට පත් වුණාද? එයා භෝජන සංග්‍රහයකට පිටතට ගිහින්. ඇත්තෙන්ම ඔබව දකින්නට ලැබුණා නම් ඔහු හුඟාක් සතුටු වේවි.”

ඇය රූපට්ට පවසා සිටියේ කිරිගරුඬ පැහැයෙන් දිදුලන සිය උරහිස් නිරාවරණය වන පරිදි සිය ලෝගුව පහතට ඇද ගනිමිනි.

රූපට් ඔරේන්ජ්ද තමා මේ මිහිතලය මත වඩාත්ම ද්වේශ කරන ගැහැනියගේ ගීතවත් කට හඬට සිය සවන් යොමු කරනු ලැබුවේත්, අල්ලාප සල්ලාපයේ යෙදුණේත්, තමාද අතීතයේ ඇය නිසා කිසිදු උපද්‍රවයකට මුහුණ නොපෑ අයෙකු ලෙසිනි.

ඉක්බිති ඔහු ඇයට පැවසුවේ තමාට දුර ඥාතියෙකුගේ අන්තිම කැමති පත්‍රයකින් මේ මහා ධනස්කන්ධයට මඟ පෑදුණ බවය.

“එය කිසිම වරදක් නැති ඉතා නිවැරදි අන්තිම කැමති පත්‍රයක් වෙන්න ඇති නේද? එහෙම නේද රූපට්?”

අනිස් මහත්මිය රූපට්ගෙන් විමසුවේ කලින් වතාවේ නැන්දනියගේ දේපළ ඔහුට අහිමි වුණේ, එහි නීත්‍යානුකූල භාවයේ ගැටලුවක් නිසා මිස තමාගේ කෲරත්වය නිසා නොවන බව බොහෝ වීනීතව ඒත්තු ගැන්වීමට උත්සහා කරමිනි.

මේ මොහොතේ රූපට් විසින් කිනම් පිළිතුරක් දෙනු ලැබේදැයි බරපතළ දෙගිඩියාවක් ඇය තුළ මතු වූ නමුත්, ඒ මුළු කාලයම තමාගේ සුන්දර මුවෙහි සිනහවක් රඳවා ගන්නට ඇය සමත් ව සිටියාය. විලියම් ෂේක්ස්පියරයන්ගේ මැක්බත්හි, මැක්බත් ආර්යාවගේ ගති ලක්ෂණවලින් සමහරක් අනිස් මහත්මිය තුළද නොඅඩුව පිහිටා තිබූ බව රූපට් ඉතා හොඳීන් දැන සිටියේය.

මිනිත්තුවක් පමණ එක එල්ලේ අනිස් දෙස නෙත් හෙලා බලා සිටි රූපට්ගේ මුවගට නැගුණේ ඉතා සෞම්‍ය සිනහවකි. ඔහු ඇසුරු කරන සමාජය තුළ රූපට්ගේ අනන්‍යතාවය සනිටුහන් කළ ඵක් දෙයක් බවට පත්ව තිබුණේ ඔහු, ඉතා කිහිප දෙනෙකුට පමණක් ප්‍රතික්ෂේප කළ හැකි පියකරු සිනහවක් සහිත මිනිසකු ලෙසය. ඒ සිනහවද සමඟ අනිස් මහත්මියට පිළිතුරු දුන් රූපට් ඔරේන්ජ් කෙනෙකුට සිතිය නොහැකි තරම්

සන්සුන් ස්වභාවයකින් පැවසුවේ “මේ වතාවේ හැම කාරණාවක්ම අකුරටම නිවැරදියි කියා මම හිතනවා” යනුවෙනි.

තමා කෙරෙහි කිසිදු වෛරයක් ජනිත නොකළ රූපට්ගේ සිනහිවෙන් පිරුණු මුහුණ දෙස තව ටික වේලාවක් බලා සිටි අනිස් මහත්මිය එක්වරම යමෙකුට බියපත් වු ගැහැනියක මෙන් වෙව්ලන්නට පටන් ගත්තාය. මුහුණ ලේ පිරී රත් පැහැ ගැහෙන්නට විය. ඒ සමඟම යම් අද්භූත බලවේගයකට තමාගේ ආත්මය යට වූ බවක් ඇයට හැඟී යන්නට විය. තමා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ හැඟීම්බර තත්ත්වයකට අනපේක්ෂිත ලෙස පත්වෙමින් සිටින බව ඇයට වැටහී යන්නට විය. අනිස් බියපත් වූයේ තමාට පාලනය කළ නොහැකි ලෙස තමා පත්වෙමින් යන මේ තත්ත්වය ගැනය.

මන්ද යත් ඇයට පාලනය කළ නොහැකි අයුරින් ඇගේ හදවත මේ පුද්ගලයා කෙරෙහි ආශක්ත වෙන්නට පටන් ගෙන තිබූ බැවිනි. ඵ් තැනැත්තා, එනම් රූපට් ඔරේන්ජ් යනු තමා මේ මොහොත දක්වාම ලෝකයේ වැඩියෙන්ම වෛර කළ මිනිසා වී සිටි බැවිනි.

 

වින්සන්ට් ඕ සුලිවන්ගේ කෙටි කතාවක් ඇසුරිනි

(මතු සම්බන්ධයි)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.