පඤ්චාංග ලිත් පිටුවක් කියවගන්නේ මෙහෙමයි

ජනවාරි 31, 2025

මෙවර පාඩමෙන් අප ඔබට පහදා දෙනුයේ ලිතේ පඤ්චාංග පිටුවක් තේරුම් ගන්නා ආකාරයයි. ඉන් අනතුරුව එය පාදක කර ගනිමින් කේන්ද්‍රය සෑදීම හා ග්‍රහයන් පිහිටුවීම ආදිය විග්‍රහ කරනු ඇත.

මෙහි යා කොට ඇති පඤ්චාංග ග්‍රහස්පුට ලිතට සම්බන්ධ ක්‍රි.ව. 2009 ජනවාරි මාසයේ ලිත් පිටුව පරීක්ෂා කරමු. මෙහිදී අප අවධානය යොමු කරනුයේ ලිතේ පඤ්චාංගය සම්බන්ධ පිටුවටය. එම පිටුවේ උඩින්ම ශ්‍රී.බු. වර්ෂ 2552, ක්‍රි.ව. 2009 ජනවාරි යනුවෙන් හා ශ.ව 1930 යන්න දක්වා ඇත. මින් අදහස් කරනුයේ 2009 ජනවාරි මාසය ශක වර්ෂ 1930ට අයත් බවත් බුද්ධ වර්ෂ 2552 ට අයත් බවත්ය. එමෙන්ම එම ලිත් පිටුව තීරු නවයකට බෙදා ඇති බව පෙනේ. එහි මුල් තීරුවේ දක්වා ඇත්තේ දිනයයි. ඒ අනුව මුලින්ම සඳහන් කොට ඇත්තේ ජනවාරි 01 දා යනුවෙනි. එම මාසයේ දින 31 වන අතර ඒ දිනයන් කවර දවසකට අයත් බවද සඳහන් කොට ඇත. මේ අනුව ජනවාරි 01 දා ගුරු දිනයක් බවත්, ජනවාරි 02 දා සිකුරාදා දවස බවත්, 03 වනදා සෙනසුරාදා දවස බවත් ගු, ශු, ශ වශයෙන් දක්වා ඇත. මේ අනුව ජනවාරි 31 දා සෙනසුරාදා බවද, ජනවාරි 20 වැනිදා කවදා දැයි සැලකුවහොත් කුජ දින බව ද පැහැදිලි වේ. මීළඟට දෙවැනි තීරයට අවධානය යොමු කරමු. එහි දක්වා ඇත්තේ පඤ්චාංගයේ දෙවැනි අංගයයි. මුල් තීරයෙන් දැක්වූයේ පඤ්චාංගයේ පළමුවැනි අංගයයි. දෙවැනි තීරුව අනුව ජනවාරි 01 වනදා දෙනට 07.13.49 ලෙස දක්වා ඇත. මෙයින් අදහස් කරනුයේ උදයේ පැය 7යි මිනිත්තු 13 තත්පර 49 දක්වා දෙනට නැකත පවතින බවය. එහි පඤ්චාංගයට සම්බන්ධ සෑම කරුණක්ම දක්වා ඇත්තේ එහි ගෙවන වේලාව බව තේරුම් ගත යුතුය. මෙය සෑම ලිතකම පොදු න්‍යායකි.

සෑම ග්‍රහස්ඵුට ලිතකටම පොදුය. උදයේ 07.13.49 අවසන් වන විටම ලබනුයේ සියාවස නැකත බව තේරුම් ගත යුතුය. මෙම තීරයේම ජනවාරි 21 දා සොයා බලමු. ජනවාරි 21 බදාදා දිනයක් බවත් අනුර නැකත පවතින බවත් එය 20.30.22 දක්වා බවත් (රාත්‍රී 08.30.22) දක්වා පවතින බවත් පැහැදිලිය. ඔබ තවදුරටත් තේරුම් ගත යුතු කරුණක් නම් මෙහි වේලාවන් දක්වා ඇත්තේ ඉංගී‍්‍රසි ක්‍රමයට සලකා දිනය ආරම්භය මධ්‍යම රාත්‍රී 12 පදනම යටතේ බවය. එනම් කිසියම් දිනයක පැය 00 මිනිත්තු 45 දක්වා ඇතොත් ඉන් අදහස් කළ යුත්තේ එදින එළිවෙන පාන්දර හෙවත් ඊට පෙර දින රාත්‍රී 12.45 බවය. උදාහරණයක් වශයෙන් මේ ලිත් පිටුවේ ජනවාරි 10 මුවසිරස නැකත පැය 00 මිනිත්තු 45 තත්පර 37 ලෙස දක්වා ඇත. මේ අනුව අදහස් කළ යුත්තේ ජනවාරි 10 වෙනිදාට එළිවෙන පාන්දර හෙවත් 09 වෙනිදා රාත්‍රී 12.45.37 බවය. හැම විටම පෙරදින රාත්‍රී 12 අවසන්වන විටම ඊළඟ දිනයේ පැය 00 බවට පත්වේ. කිසියම් විදිහකින් මෙය තවදුරටත් විස්තර කර දක්වන්නේ නම්, මේ පිටුවෙහි පැය 24 යයි දක්වා තිබුණහොත් එම දින රාත්‍රී 12 බවත්, පැය 12 යයි දක්වා තිබුණහොත් දවල් 12 බවත් අවබෝධ කරගත යුතුය. මේ ලිත් පිටුවේ 22 වැනිදා ගැන බලමු. එහි දෙට 23.34.40 යයි දක්වා ඇත්තේ 22 වනදා රාත්‍රී පැය 11 මිනිත්තු 34 තත්ත්පර 40 දී දෙට නැකත ගෙවන බවය. ඉන්පසු ලබනුයේ මුල නැකතය. මීළඟට 23 වැනිදා කිසිවක් සඳහන් නොවන බැවින් අදහස් කරනුයේ එම දවස පුරාම මුල නැකත පවතින අතර එම මුල නැකත අවසන් වනුයේ 24 වැනි සෙනසුරාදා පැය 02 මිනිත්තු 40 තත්පර 22න් බවය. ඔබ හැම විටම අවධානයෙන් තේරුම් ගත යුතු කරුණක් නම් මේ තීරයේ දක්වා ඇත්තේ සෑම නැකතකම අවසානය බවත් ඊළඟට අනිවාර්යයෙන්ම ඊළඟ නැකත ආරම්භ වන බවත් ය.

මීළඟට පඤ්චාංගයට අයත් තුන්වැනි කාරණය වන තිථිය ගැන බලමු. එහි ද දක්වා ඇත්තේ චන්ද්‍ර මාසයේ පුර හෝ අව තිථියේ ගෙවෙන වේලාවයි. එනම් මෙහි ජනවාරි 01 වනදා පවතින තිථිය පුර ජලවක බවත් එය මෙදින උදේ පැය 03 මිනිත්තු 12 තත්ත්පර 36න් ගෙවෙන බවත් ඉන් අදහස් වේ. 4 වැනි තිථිය ජලවක වශයෙන් හඳුන්වන බව ඔබ දනී. එය ගෙවෙන විටම 5 වැනි තිථිය හෙවත් විසේනිය ලබන බවත් එම තිථිය ගෙවෙනුයේ ජනවාරි 02 වෙනිදා පාන්දර පැය 04.39.06ට බවත් පැහැදිලිය. මෙලෙසින් ජනවාරි 10 වෙනිදා පුර පසළොස්වක තිථිය දවල් 12.37.56ට ආරම්භ වේ. එය එසේ වනුයේ 14 වැනි තිථිය එකී වේලාවටම අවසන් වන බැවිනි. මේ අනුව පුර පසළොස්වක තිථිය ජනවාරි 11 වැනිදා උදේ 08.56.43 දක්වා පවතින බව තේරුම් ගත හැකිය. ඉන්පසු අව පක්ෂය ලබයි. එමෙන්ම පුර පෑළවිය ද ලබයි. ඔබ පඤ්චාංගය නමැති පොතද මැනවින් කියවා තේරුම් ගැනීම තුළ මෙය ඉතා හොඳින් තේරුම් ගත හැකි බව සිහි තබා ගත යුතුය.

මීළඟට යෝගය යන තීරයට එළඹෙමු. ජනවාරි 01දා නම් එදින පාන්දර පැය 00 මිනිත්තු 58 තත්පර 31 දක්වා වජ්‍ර යෝගය පවතින අතර ඊළඟට සිද්ධි යෝගය ලබනු ඇත. සමහර අවස්ථාවලදී නැකැත මෙන්ම යෝග වුවද පැය 24ට වඩා අඩු වැඩිව පවතින බව තේරුම් ගත යුතුය. තිථියද නැකත හා යෝගය මෙන් පැය 24ට වඩා අඩු වැඩිව තිබෙන බව තේරුම් ගත යුතුය. උදාහරණයක් වශයෙන් ජනවාරි 19 ශූල යෝගය රාත්‍රී 23.22.54 ට ගෙවේ. ගණ්ඩ යෝගය ලබා එම ගණ්ඩ යෝගය 20 වනදා රාත්‍රී පැය 23.56.36 දක්වා පවතී. මෙහි පැය 23.56.36 යනු රාත්‍රී 11.56.36 බව ඔබට තේරුම් යනු ඇත. මීළඟට වෘද්ධි යෝගය 20 වැනිදා එම වේලාවට ලබා 21 වැනිදා මුළු දවසේම පැවතී. 22 දා පාන්දර 00.45.19 තෙක් හෙවත් තවත් විදිහකින් පවසනවා නම් 21දා 12 පසුවී මිනිත්තු 45 තත්ත්පර 19 දක්වා වෘද්ධි යෝගය පවතිනු ඇත. නිවී සැනසිල්ලේ කලබලයෙන් තොරව මේ ලිත් පිටුව අධ්‍යයනය කරන විට එය ඔබට මැනෙවින් වැටහේ. නැකැත, තිථිය, යෝගය කවරක් වුවද දවසේ ඕනෑම වේලාවක ආරම්භ වී එදින, එදිනට පසුදින හෝ ඊටත් පසුදින ගෙවෙන අවස්ථා පවතී. මෙසේ සිදුවනුයේ එම නැකැත කිසියම් දිනයක අවසාන මොහොතේ ආරම්භ වී එම දිනයේද ඊළඟ දිනයේ මුල් අවස්ථාවේ ම පවතින ආකාරයටය.

ලබන සතියේ කරණ ගැන දැන ගනිමු.

ආචාර්ය

ජී. ඇම්. ගුණපාල

තුෂාරි නේරංජා වික්‍රමසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.