නිතරම කේන්ති ගන්න අයටයි!

ජනවාරි 10, 2025

 

“අක්කොච්ජි මං අවධි මං -අජිනී මං අහාසි මේ
යේ තං උපනයිහන්තී - වේරං තේසං න සම්මති”

“එක් එක් පුද්ගලයා මට බැන්නා , මාව පරාජය කළා, මාව කේන්තියට පත් කරා යැයි සිතන්නට ගියහොත් ඒ නිසා යම් කෙනකු ක්‍රෝධයෙන් බැඳී ගියහොත් ඒ පුද්ගලයාගේ වෛරය නම් නොසන්සිඳෙන්නේය. “

“මට නම් මේ මිනිස්සු එක්ක පුදුම කේන්තියක් එන්නේ , මට නම් මේ දේවල් නිසා හොඳටම කේන්ති යනවා , කේන්ති ගස්සලා මගේ ඇඟේ ඉන්න යකා අවුස්සගන්න එපා.“ මෙවැනි අදහස් අපට බාහිර සමාජය සමඟ ගැටීමේදී නිරතුරුවම ඇසෙන වදන් බවට පත්වී ඇත . ඇත්තෙන්ම මෙතරම් කෝපයක් ඇති වන්නේ කෙලෙසද? එය පාලනය කළ හැකිද?

කෝපය යනු යම් දෙයක් වැරදී ගිය විට නැතිනම් යමෙකු ඔබට වරදක් කර විට, වරදකාරී හැඟීමක් ඇති කරන විට ඔබට දැනෙනා දැඩි චිත්ත වේගයක් ලෙස කිව හැකිය. ඇත්තෙන්ම පෘථග්ජන මිනිසුන් ලෙස අප සියලු දෙනාටම වයස් භේදයකින් තොරව විවිධ හේතුන් හා සිද්ධීන් පාදක කරගෙන කෝපය හටගත හැකිය. එය ක්ෂණයකින් ඇති වේ. එක් සිතිවිල්ලක් එයට හොඳටම ප්‍රමාණවත්ය.

අප තුළ ඇතිවන කෝපය අපට ක්ෂණිකව අමතක කිරීමට නැතිනම් හිතින් යටපත් කර ගැනීමට හැකිනම් එය අප ලබන ලොකු ජයග්‍රහණයකි.

බෞද්ධ දර්ශනයේ දී ද බෙහෙවින් කතාබහට ලක්වන චිත්තවේගයක් ලෙස ඇති තරහව සෘණාත්මක චිත්තවේගයකි. තරහව නැතිනම් කෝපය එහි විවිධ මට්ටම් අනූව දෝෂ, ව්‍යාපාද , පටිඝ, ක්‍රෝධ ආදී වචන සමූහයකින්ම හඳුන්වනු ලබයි. ධම්මපදයේ එන ක්‍රෝධ වග්ගය, තරහව හා එහි ස්වභාවය පාලනය කර ගැනීම පෙන්වාදීම සඳහාම වූ වග්ගයක් ලෙස දැක්විය හැකිය.

සාරිපුත්‍ර රහතන්වහන්සේට සසර පුරා තරහ නොයයි. ඒ එක් ආත්මයක නාගයෙකු ලෙස උත්පත්තිය ලැබූ උන්වහන්සේ කළ ප්‍රාර්ථනාවක ප්‍රතිපලයක් ලෙසිනි.

එක් ගමක වැසියන් ඉතා ශ්‍රේෂ්ඨ කොට සලකන අලංකාර මොල්ලියක් සහිත උසින් යුත් වෘෂභයෙකු සිටියේය.

දිනක් මේ වෘෂභයා පාද උඩ දමමින් යන විට තුඹසට ඇදෙමින් සිටි නාගයාගේ වලිගය වෘෂභයාගේ එක කකුලකට පෑගිනි. එහිදී නයාට ඒ මොහොතේදී ආ ආවේගය හා දැඩි කෝපය හේතු කොටගෙන එක් වර හැරී වෘෂභයාට දෂ්ට කළේය. නාගයාගේ ඇති විසට ඒ වෘෂභයා එතනම මියැදුණි. ගම්වැසියන් අඬ අඬා ඉතා වේදනාවෙන් වෘෂභයාව ආදාහනය කරන ලදී. නාගයා තුඹසට ගොස් දැඩි අධිෂ්ඨානයෙන් කල්පනා කළේ ‘මෙපමණක් උතුම් කොට සලකන සත්ත්වයකු අකාලයේ මියැදුණේ මගේ හිතට ආ දැඩි කෝපය නිසා හෙයින් උපනුපන් ජාතියේදී නැවතත් මා හට කේන්තියක් නම් අත් නොම වේවා!’ යනුවෙනි. එහෙයින් නිවන් දකින තුරු උන්වහන්සේට තරහක් ආවේ නැත.

කෝපය නිසා ගැටලුවකට පත් තරුණයෙකුට සෙන් භික්ෂුවක් විසින් කියා දුන් අගනා කතාවක් ද එහි ආදීනව දැනගැනීමට වැදගත් වනු ඇත.

“ජපානයේ විසූ එක්තරා තරුණ ශිෂ්‍යයෙකු ඔහුගේ ප්‍රශ්න, ගැටලු කිහිපයකටම අවශ්‍ය පිළිතුරු සොයා එහා ගමෙහි ඇති සෙන් ආරාමයට ගියේය.

එහි සිටින ලොකු සෙන් භික්ෂූන් වහන්සේ මුණගැසී “හාමුදුරුවනේ, මම විවිධ විවිධ හේතු නිසා කෝපයට පත් වෙනවා. මට මාව පාලනය කරගන්න අමාරුයි එතකොට. මගේ වටේ ඉන්න අයගෙ පිටින් තමයි මම මගේ කේන්තිය පිටකරගන්නේ. ඇත්තටම මේ කාරණා නිසා මගේ පවුල , රැකියාව තුළ ද විවිධ ගැටලු මතුවෙලා තිබෙනවා. මගේ මනස ඒකාග්‍ර කරගන්න අමාරුයි. ඇත්තෙන්ම මම මොකක්ද කර යුත්තේ” යැයි විමසීය.

එවිට සෙන් භික්‍ෂුව මෙලෙස පැවසූහ. “දරුවෝ, හොඳීන් හුස්මක් ගෙන එය සෙමෙන් පිටකර මා පවසන කතාවට අවධානය යොමු කරන්න. යම්කිසි පුද්ගලයකු විසින් වැවේ දිනපතා බෝට්ටු පැදීමේ කාර්යයෙහි නිරත වී සිටියා. දිනක් ඔහු තම බෝට්ටුව පැදගෙන යන විට නොදැනුවත්වම තවත් බෝට්ටුවක් එහි ගැටුණා. ඉතා කලබල වී අනෙක් බෝට්ටුව දෙස බලන විට එය හිස් බෝට්ටුවක් බව පෙනුණා. එම බෝට්ටුවේ කවුරුත් නැති බව මෙන්ම තමන්ට හානියක් නැති බව දැනගත් බෝට්ටුකරුට ආ කෝපය සැනින් පහව ගියා.

තවත් දිනක් එම පුද්ගලයා එම වැවේම බෝට්ටුව පදිමින් සිටියදී අහම්බයෙන් නැවතත් බෝට්ටුවක් එම පුද්ගලයාගේ බෝට්ටුවේ ගැටුණා.එහි බෝට්ටුව පදවන පුද්ගලයෙකු සිටියා. මෙය දැකපු ගමන් හොඳටම කේන්ති ගත් බෝට්ටුවේ අයිතිකාරයා කොහෙද මේ යන්නේ? ඇස් පේන්නේ නැද්ද ? මගේ බෝට්ටුව ට හානි වුණොත් බලාගන්නම්කෝ.. යැයි බැන වදිමින් ටික වේලාවක් යනතුරුම රණ්ඩු වුණා.

ඉතින් මේ අවස්ථා දෙකටම හොඳීන් අවධානය දෙන්න. ඇත්තෙන්ම එම පුද්ගලයා හිස් බෝට්ටුව පැමිණ ඔහුගේ බෝට්ටුවේ වැදුණු අවස්ථාවේ ක්‍රියා කරන ලද්දේ වෙනස් විදියකටය. පසුව පුද්ගලයකු සහිතව සිටින විට බෝට්ටුව ගැටුණු අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය හාත්පසින්ම වෙනස්ය. එය ඔහුට අවශ්‍ය ආකාරයට වෙනස් කළේ අවස්ථානුකූලව. එය ඔහු විසින් මනසින් සාදා ගත් දෙයක්. කෝපය පැමිණීම හා එය ක්‍රියාත්මක වූයේ ඔහුට වුවමනා ආකාරයට යි. ඉතින් දරුවෝ ඔබගේ මනස ව්‍යාකූල වනවිට කේන්තිය පැමිණෙන විට අවට බාහිරින් ඔබව බිඳ දැමීමට පැමිණෙන සාධක අර හිස් බෝට්ටුවක් වගේ දකින්න. හිස් බෝට්ටුව නිසා අර බෝට්ටුව පැද්ද මනුස්සයාට කේන්තියක් ආවෙම නැහැ. ඔහුට කේන්තිය ආවේ මනුස්සයෙක් සිටින බෝට්ටුවේ ගැටණාට පසුවයි. ඒ නිසා අපට එන ඕනෙම කේන්තියක් පුතේ අර හිස් බෝට්ටුවක ගැටෙන විට තරහක් එන්නේ නැහැ වගේ අපට දකින්න පුළුවන්. අපට එය සිහිකරන්න පුළුවන්. ඇත්තටම එය හරිම ප්‍රබලයි. මොකද ජීවිතයේ ප්‍රශ්නයක්, ගැටලුවක් එන විට අපටත් එය හිස් බෝට්ටුවක් ඇවිත් වැදුනා සේ සිතීමට හැකි නම් අප තුළ මතුවන කෝපය අපට නොදැනීම පහව යනවා. ඉතින් දරුවා ජීවිතයේ එන ගැටලු, ප්‍රශ්නවලට කේන්ති ගන්න පෙර මනසින් හිස් බෝට්ටුවේ කතාව ආවර්ජනය කරන්න. මෛත්‍රී කරන්න. සමාව දෙන්න. අවස්ථානුකූල වන්න. මේ උපදෙස පිළිපැද්දොත් දරුව ඔබගේ චින්තනය වර්ධනය වේ. ඔබගේ සිතන රටාව වෙනස් වේ. එවිට ඔබට ටික දිනක් යන විට කේන්තිය හොඳීන් තේරුම් ගෙන එය පාලනය කරමින් සමාජය තුළ ගැටළු මතු නොවන ආකාරයට කටයුතු කර ගැනීමට හැකි වේවි”

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.