වැසි වස්සනා මහා තෙද බලැති මේඝවර්ණ දෙවියෝ

ජනවාරි 31, 2025

අඳුරු පැහැති හෙයින් මේ නම පටබැඳී ඇති මේ මේඝවර්ණ දෙවියන්ය. කොත්මලේ පුසුල්පිටියේ අධිපති මහා බලගතු හාස්කම් ඇති දෙවියෙකි. උඩුදුම්බරගිරියේ වසන ලද භූමාටු දෙවියකු සේ සලකනු ලැබේ. හෙළයේ හල්ලෝල ග්‍රාමයේ ඉපදී ගමේ අයගෙන් ඉල්ලා ගත් ආහාර එක්රැස් කර නීලපබ්බත මහා විහාරවාසී භික්ෂූන් වහන්සේලාට දන් පිළිගැන්වා ඇත. පසුව එම පිනෙන්ම මියගොස් මේඝවර්ණ නමින් උපත ලබා ඇතැයි දේව පුරාණයේ සඳහන්ව තිබේ. බිරිය චන්ද්‍රමුඛීය. මේ දෙදෙනාම ධූමරක්ඛිතපබ්බතී නමින් හඳුන්වන උදුම්බරගිරියේ දී මලියදේව මහරහතන් වහන්සේගෙන් බණ අසා ඇතැයි සැලකේ. ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වූ මේ මලියදේව මහරහතන් වහන්සේට දන් පිළිගැන්වූ පින මහත් වූ පින්කමකි.

තවද මේ මහරහතන් වහන්සේ දඹදිවින් ගෙන එන ලද දඹ රන් අගනා මහා පිළිමය මේ දෙවියෝ රැක බලා ගනිති. මේඝවර්ණ දේවාලය ඇත්තේ පුසුල්පිටියේ ය. වත්තේගම සිට ඇල්කඩුව දක්වා ඇදී එන මාවතේ රමණීය කඳුවැටියක මේ දෙවොල පිහිටා තිබේ. මහා වනාන්තරයට සහ ජනයාට අධිපති දෙවියෙකි.

මේඝවර්ණ දෙවියොත් චන්ද්‍රමුඛී දෙවඟනත් මේ දෙවොලට අරක්ගෙන තිබේ. මලියදේව මහරහතන් වහන්සේට මේ භූමිය පූජා කරන ලද්දේ ඒ අසල පිහිටි ගල්කන්ද උඩ සිට මෘදංග බෙරය වාදනය කළවිට අවට ඇසෙන මානයේ ඇති සීමාවේ සිටය.

මේඝවර්ණ දෙවියන්ගේ රූපයක් පුහුල්පිටිය මහා විහාරයට අනුබද්ධිත දෙවොලේ ඇඳ තිබේ. කතරගම, විෂ්ණු, සමන්, හූනියන්, දේවතා බණ්ඩාර දෙවිවරුන්ගේ චිත්‍ර නිරූපණය කර තිබේ. දැඩි නියඟක් වැසි නැති වියළි කාලයක් ඇති වූ විට මේඝවර්ණ කළු වලාකුළට අධිපති ලෙස බැතිමතුන් සලකන හෙයින් පුද පූජා පවත්වා වැසි ආරාධනා කරනු ලැබේ. පුද පූජා තබා වැසි ඉල්ලූ විට මහාමේඝ, ගර්ජනා කර වැස්ස ඇදහැලේ. මහා බලගතු දේවතාවෙක් ලෙස පැරණි ගැමියන් සලකන ලදී. අංගසම්පූර්ණ පුද පූජා වාර තබා ආයාචනා කර සිටිනවිට දේව බැල්ම වැටී ජනයාට සෙතක් සැලසේ.

තවද මේඝවර්ණ දෙවියන්ට ආරාධනා කළොත් වැසි ඇති කිරීමට එය සාර්ථක වේ. මෙවැනි වැසි ඇදහැලුණේ 1913 හා 1982 දී ය. එය ඓතිහාසික තොරතුරකි. පියසේන කහඳගම ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් ද මෙම දෙවියන් ගැන සඳහන් කර ඇත්තේ ය.

ටී. හෙන්රි බෙම්මුල්ල

----------------------------

බ්‍රහ්මපාදය පිහිටුවා ගන්නේ කොහොමද?

එඩ්මන්ඩ්

මොරටුව

කර්තෘතුමියනි,

වාස්තු විද්‍යානුකූලව වැඩ කටයුතු කරන්නට පෙළඹෙන මා හට නිවසක බ්‍රහ්මපාදය පිහිටුවා ගැනීම වැදගත් බව මා සමීපතෙකුගෙන් අසන්නට ලැබුණි. ඕනෑම නිවෙසකට ශ්‍රියාකාන්තාව බැල්ම හෙලන බ්‍රහ්ම පාදය පිහිටුවා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ එහි සුවිශේෂතාව සම්බන්ව සවිස්තරාත්මව සුබසෙත පුවත්පත මගින් පහදා දෙන්නේ නම් වඩා සුදුසු යැයි හඟිමි.

ස්තූතියි.

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර

ධාරණ ශක්තිය වර්ධනය කරන ගෘහාශ්‍රිත වාස්තු සිද්ධාන්ත පිළිබඳව

පසුගිය සතියේ ධාරණ ශක්තිය වර්ධනය කරන වාස්තු සිද්ධාන්ත වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් පිළියන්දල සම්පත් සුබසෙතට යොමු කළ පැනයට වාස්තු විද්‍යා උපදේශක කේ. සුනිල් කුමාරවත්තගේ මහතා ලබා දුන් පිළිතුරයි.

ධාරණ ශක්තිය වර්ධනය නොකරන වාස්තු සිද්ධාන්ත අතරින් ප්‍රධාන ස්ථානයක් ගනුයේ දොර, උළුවහු හා වහලයයි. නිවෙසේ ප්‍රධාන දොරට කෙලින් කණුවක් තිබීම හේතුවෙන් නිවසේ වාසය කරන අය ව්‍යාකූලත්වයට පත් වී නිතර විවිධ කල්පනා කිරීම් වලට භාජනය වේ. එවිට ධාරණ ශක්තිය නිසි ලෙස පවත්වාගෙන යෑමට නොහැකිය. සිත චංචල වේ. නිවෙස ඉදිරිපිට හෝ ප්‍රධාන දොරටුව ඉදිරියේ කනු, විශාල ගස්, ළිං, පිළිම වංගු සහිත මාවතක් නොතිබීම තුළින් මනස ව්‍යාකුලතාවයෙන් මුදාගෙන සිත සන්සුන් කිරීමෙන් ධාරණ ශක්තිය වර්ධනය කරගත හැකිය. අධ්‍යාපනය ලබන දරුවන් නිවෙසේ ඊසාන දිශාව බලා අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට සැලැස්වීමෙන් දරුවන්ගේ ධාරණ ශක්තිය වැඩිකර ගත හැකිය. එමෙන්ම නිවසේ යටලීය යට පොත්පත් තිබීම අසුබදායකය. එලෙස අධ්‍යාපන කටයුතුවල නිරත නොවිය යුතුය. එය මගහැර එම කාර්යය කිරීමෙන් ධාරණ ශක්තිය ලබාගත හැකිය. නිදන විට කාමරයේ බාල්කය යටට වෙන්නට නිදා නොගැනීම බාල්කය යටින් ගොස් නිදා නොගැනීම තුළින් මනස නිවැරැදි මාවතක තබා ගැනීමෙන් ධාරණ ශක්තිය ලබා ගත හැකිය.

නිවෙසේ උතුරු හා බස්නාහිර දිශාවට මුහුණලා අධ්‍යයන කටයුතු කිරීමෙන් ධාරණ ශක්තිය වර්ධනය කර ගත හැකිය.

වාස්තු විද්‍යා උපදේශක

කේ.සුනිල් කුමාරවත්තගේ

 

සටහන - ඉෂාරා විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.