ආනන්ද මෛත්‍රෙය හිමියන්ට දිගු නාසයක් උරුම කළ කැවුම් දානය

ජනවාරි 31, 2025

ඡ්‍යොතිෂයට අතිමහත් මෙහෙවරක් කළ ශ්‍රේෂ්ඨ යතිවරයාණන්වහන්සේ නමක් ලෙස අභිධජ මහා රට්ඨගුරු ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ප්‍රවචන විශාරද, ආගම චක්‍රවර්ති, මහාමහෝපාධ්‍යාය, සාහිත්‍යසූරී, සාහිත චක්‍රවර්ති, සම්මානනීය රාජකීය පණ්ඩිත, අග්ගමහා පණ්ඩිත, මහාචාර්ය අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් හැඳින්විය හැකිය. බළන්ගොඩ මානවයාගේ පටන් හෙළයන්ට අයත් අත්දැකීම් සමුදාය උරුම කර ගනිමින් නූතන මානවයා සතු දැනුම් පද්ධතිය විනිවිද දකිමින් තත්කාලීන සමාජයේ නවජයෙක් වූ උන්වහන්සේගේ විස්මිත චරිතාපදානයෙන් බිඳක් ඡ්‍යොතිෂයට ළැදි හුදීජනයාගේ පහන් සංවේගය පිනිස අද පටන් “සුබසෙත” මඟින් තිළිණ කරන්නට සැකසෙන ලිපි පෙළක සමාරම්භයයි මේ...

උන්වහන්සේ අදත් අප ජන මනසෙහි දිවමන්ව වැඩවසන්නේ බුදු බව පතා වැඩි මහනාහිමි සඳක ලෙසිනි. ශතකාධික ස්වකීය දිවිගමනේ මධ්‍යම යාමයට එළඹෙන්නටද මත්තෙන් අනඳමෙත් නාහිමියන් විද්වත් ජන සමාජයේ සම්භාවනාවට පාත්‍රවූයේ පෙර පින් බලයෙන් විය යුතුය.

දෙවිලොවින් මනුලොවට

තව්තිසා දෙව්ලොවෙහි භද්‍ර යෞවනයේ ඉතා කෙළිදෙළෙන් යුතුව වැඩවිසූ දඟකාර එහෙත් ප්‍රඥාධික දෙවියකු විය. මෙකල්හි වසවත්හිමාරයා මනුලොව වෙසෙන බොදුනුවන් පව්කාර ක්‍රියාවලට යොමුකර පොළඹවා ගැනීමේ අටියෙන් තම නියෝජිතයන් පිරිසක් වහා මනු ලොව එවීය.

එපුවත් දැනගත් දෙව්ලොව වැඩ වෙසෙන මෙතේ බෝධිසත්ත්වයෝ වහා දේව සභාව කැඳවා මනුලොව බොදුනුවන්ට වන්නට යන විපත වළක්වාලනු පිණිස ජ්‍යෙෂ්ඨ දෙවියන් කිහිප දෙනකුට දිව්‍යලෝකයෙන් චුතව මනුලොව පහළ වීමට ආරාධනා කළහ.

කිහිප වතාවක්ම තමන්ට ද මනුලොවට ගොස් මේ සේවාව ඉටුකරන ලෙස පණිවිඩ ආවත්, මේ කෙළිලොල් දිව්‍යපුත්‍රයා ඒ කිසි අණක් තැකුවේ නැත. කිහිපවිටක්ම දිගින් දිගටම ඉහළ දේව අණ සපැමිණීමත් සමඟ මෙතේ බෝධිසත්ත්ව දෙවිඳුගේ අණට කීකරුවීමට මේ තරුණ, දඟකාර එහෙත් ප්‍රඥාධික දෙවියාට සිදුවිය. ඒ අනුව මනුලොව සුදුසු කුසක පිළිසිඳගැනීම සඳහා මේ දෙවියන් තුසිත දෙවිලොවින් චුත වූයේය.

හිරිමල් තාරුණ්‍යයේ පසු වන පි‍්‍රය කාන්තාවක් වූ හීන්මැණිකේගේ කුස පිළිසිඳ ගැනීමට තෝරාගත් මොහොතේ පටන් ඇය නිර්මාංසව ඉතා දැහැමින් වන්දනාමාන කටයුතු කරමින් විසීමට පෙළඹුණේ නිතැතින්මය.

ඇයගේ තනි නොතනියට, ආරක්ෂාවට තවත් තරුණ කාන්තාවක් වූ තම සැමියාගේ අයියාගේ බිරිය යසෝහාමි ද විය. ඔවුහු දෙදෙනාම නාඹර වයසේ පසුවුණු එකිනෙකාට ඉතා ළෙන්ගතු නෑනාවරු වූහ.

පොරොන්දුව

හීන්මැණිකේට වඩා වසර කිහිපයකට පෙර විවාහප්‍රාප්තවුවත් දරුසුරතල් බැලීමට තවමත් පින උදානොවූ යසෝහාමි අක්කා දරුවකු හදාගන්නට ආශාවෙන් පසු වූවාය.

ඔවුන් විසුවේ බළන්ගොඩ පුරවරයට මඳක් ආසන්නයේ ගමනාගමනයට දුෂ්කර නමුදු ඉතා දැකුම්කලු සුන්දර ගම්මානයක් වූ කිරිඳිගල ගමේය. එය ගම්මානයක් ලෙස හැඳින්වුවද එකල එය සැබවින්ම නිවෙස් කිහිපයකින් හෙබි ගෙවල් මංඩියක් පමණි. මහපාරට යන්නට වූයේද ඇළ වේලි, නියර දිගේ, අඩිපාරවල් ඔස්සේය. කිරිඳිගල මේ කුඩා ගම්මානයේ කඳුබෑවුම් සහිත දෙවට දිගේ කුඩා අඩිපාරේ ගොම්මනට මත්තෙන් තෙල්, මල්, පහන් ආදී පූජා භාණ්ඩ දෝතින් ගෙන පන්සල වඳින්නට යන හීන්මැණිකේ සහ යසෝහාමි උපාසිකාවන් දෙදෙනා ගම්මුන්ට හුරු පුරුදු දසුනක් විය.

අව් වැසි කිසිත් නොතකා දිනපතාම පන්සල් ගොස් මළුව ඇමද, වන්දනාමාන කර රෑබෝ වන්නට මත්තෙන් තම නිවස්න කරා ආපසු යාමට මොවුන් හුරුවී තිබිණි.

දිනක් මේ වන්දනාමාන කටයුතු අවසන් කරන අතර “නංගියේ උඹට ලැබෙන්න ඉන්න දරු පැටියා මට හදාගන්න දෙනවා නේද?” යසෝහාමි අක්කා, හීන් මැණිකේගෙන් මහත් අදරින් ඉල්ලා සිටියාය.

“හොඳයි අක්කේ මම දෙන්නම්... හැබැයි මට පොරොන්දුවක් වෙන්න ඕනමයි...”

“ඒ මොකක්ද නංගියේ”

“පිරිමි දරුවකු උපන්නොත් මහණ කරන්න සාසනේට බාරදෙන්න ඕනෑ. ගැහැනු දරුවකු හම්බවුණෝතින් අක්කාගේ කැමැත්තක් කරගන්නකෝ....”

“හොඳයි නංගියේ මේ බෝමළුවේදී මම උඹට පොරොන්දු වෙනවා සත්තයි”. තරුණ යසෝහාමි හීන්මැණිකේගේ දෑත් අල්ලාගෙන දිවුරා පොරොන්දු වූවාය. මේ දරුවා කුසහොත් වහාම මවට ඇතිවූ හැඟීම නම් දෛවෝපගත අරුමයකි.

නිසි කල ගෙවුණු පසු මතුමත්තේ සාසනේට බාර කරනට හීන්මැණිකේ කුලුඳුලේම පිරිමි දරුවකුට උපත දුන්නාය.

එය හරියටම සිදුවූයේ 1896 අගෝස්තු මස 23 වැනිදා රාත්‍රී 12 පසුවී විනාඩි 03ටය.

මව්පියෝ කුඩා පුතනුවන්ට “විලියම්” යැයි නම් තැබූහ. එහෙත් ඔහු ගෙදර අයට “පුංචි මහත්තයා”විය. විලියම්ගේ පියා නාරංගොඩ ආරච්චිගේ මෙතියස් අප්පුහාමිය. ගමේ අය ඔහු හැඳින්වූයේ “මද්දුමහාමි” නමිනි. විලියම්ගේ මවු ඩී. එන්. හීන්මැණිකේය.

දරුවා උපන් වෙලේම යසෝහාමි අක්කාට පන්සලේ බෝධිමළුවේදී වූ පොරොන්දුව ඉෂ්ටසිද්ධ කරමින් කුඩා විලියම් ඇයට භාර දුන් බෙන්තර ආරච්චිගේ හීන්මැණිකේ දරු උපතින් දෙසතියකට පසු රෝගාතුර වී මියපරලොව ගියාය. එතැන් සිට දෛවෝපගතවම යසෝහාමිගේ උණුසුම මැද විලියම් හෙවත් “පුංචි මහත්තයා” සුවසේ වැඩෙන්නට විය.

ඒත් කුඩා විලියම්ට මවුකිරි බීමට සිදුවූයේ අසල්වැසි නිවෙසක විසූ ඥාතිවර නැන්දා කෙනෙකුගෙනි. ඒ නැන්දාට ද විලියම් දරුවා උපන්දාට පසුවදා දුවක් උපන්නීය. ඇය “රන්මැණිකේ” නම් වූවාය.

ඒ සිඟිත්තිය එක් තනයකින් ද, පුංචි කිරිකැටි විලියම් ඇයගේ අනෙක් තනයෙනුත් කිරි උරාබී වැඩුණාහ. හීන්මැණිකේගේ අභාවයෙන් හිත කලකිරුණු මද්දුමහාමි දරුවා රැක බලා ගැනීමට යසෝහාමිට පවරා ගම් දනව් අතහැර නිවිතිගල ප්‍රදේශයට ගොස් එහි වෙළෙදාමක් පටන්ගෙන පසුකාලයේදී දෙවැනි විවාහයක් ද කර ගත්තේය.

මේ තත්ත්වය මත පෝෂක පියා වනුයේ නාරංගොඩ ආරච්චිගේ ඩිංගිරි හාමි දිනෙස්හාමි මුදලාලි වන අතර, පෝෂක මව වනුයේ ඩී. යසෝහාමිය.

කිරි වැරීම

පුංචි සන්ධියේ සිදුවීම් මතකයේ රැඳී තිබුණූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් උන්වහන්සේගේම වචනවලින් කුඩා සන්ධියේ සිදුවීම් ස්මරණය කළ අවස්ථා තිබුණි.

“මම ඉපදිල මාස දහයක් විතර වෙනකොට සිදුවෙච්ච දේවල් මට මතකයි. මගේ මුත්තාගේ මරණය වගේම ඒ මරණයෙන් මාස හය හතකට පස්සේ අපේ ගෙදරට යාබද ගෙයක තිබුණ විශාල බලියක් බලන්න මාව කරපින්නාගෙන යසෝහාමි ලොකුඅම්මා ගියා මතකයි. ඒවායේ විශාල රූප රාශියක් හදල තිබුණා. පුංචිම සන්ධියේදී සිරීපාදේ මාව වඩාගෙන ගිය ගමනකුත් මතකයි. ලොකු අම්මා මාව හැදුවේ ඇහැක් වගේ ආරක්ෂා කරගෙන. මගේ අම්මා මා උපත ලබා සති දෙකකින් මියගිය නිසා පහළ ගෙදර නැන්දාගේ දියණිය රන්මැණිකා මට වඩා බාල එක දවසයි. ඇයි අවුරුදු 94ක් ජීවත්වෙලා මියගිය බව මම එංගලන්තයේ සිටියදී තමයි ආරංචි වුණේ. මගේත්, ඇගේත් අල්ලේ රේඛාවල පුදුම සමානකමක් තිබුණා. ඇය තමයි පසුකාලීනව බළන්ගොඩ පිරිවෙණේ විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමාව සෑදෙව්වෙ. ඉන්දියාවේදී නාඩි වාක්‍ය අහන්න ගිය මට සහෝදරියක් ලෙස කිව්වේ රන්මැණිකේගේ නමයි. ඇය සංසාරිකව මගේම නැඟණිය තමයි.”

ඉඳින් මටත් රන්මැණිකෙටත් කිරිදුන්න රන්මැණිකෙගෙ මෑණියන්ගේ කිරි අවසන් වී ගියා. අපේ වාසනාවකට දෝ නැන්දාගේ සහෝදරියකුටත් දරුවකු ලැබුණා. එයත් මෙහාටම ගෙන්වාගෙන තුන් දෙනාම කිරිබිව්වා මාරුවෙන් මාරුවට... යම්තම් මට ඇවිදින්න පුළුවන් වෙනකොට ගෙදර එළදෙනකට පැටියකු ලැබුණා. ඒ එළදෙනගේ කිරි දොවා ගත්ත හැටියේම රස්නෙ පිටින්මයි මට බොන්න දුන්නේ.”

ආපසු ගත් කැවුම

පියමතුරා බුදුන් දවස පසේ බුදුවරයන් වහන්සේ නමකට මුලින් තම මිත්තණිය උයන ලද කැවුම් දෙකක් පුදා පසුව උන්වහන්සේ පසුපසින් වඩිනා කුඩා රහතන්වහන්සේ නමක් දැක නැවත දිවගොස් ඉන් එක් කැවුමක් රහතන් වහන්සේගේ පාත්‍රයට බෙදූ, කුඩා දඟකාර පුංචි පුතනුවන් කළ ක්‍රියාව දුටු මිත්තණියන් හනික කුඩා පුතනුවන්ගේ කනින් ඇදගෙන පාර අසලම පිහිටි තම නිවෙසට ගියාය. එසේ ගොස් ඒ පුංචි පුතා වෙනුවෙන් පිස වෙන්කළ කැවුම රැගෙනවිත් සිදු වූ වරද නිවැරැදි කරනු පිනිස ඒ පුංචි පුතා ලවා කමා කරවා පසේ බුදුහිමි සඳට නැවත තමන් වෙනුවෙන් පිසින ලද කැවුමද පුද කරවීය. පුංචි ළමා හිතට පුංචි අමනාපයක් ඇති වුවත් පසුව එය අමතක විය.

පසේ බුදු හිමියන් ද එකෙණෙහිම මේ දඟකාර පුුංචි පුතනුවන් කවුරුන්දැයි දිවැසින් විමසා බැලූ සේක. මේ එසේ මෙසේ කෙනකු නොව මතු බුදුවන බෝධිසත්ත්ව කුමාරයකු බව දැන බරපතළ අවැඩක් නොවනු පිණිස වහා සමාව දුන් සේක. එහෙත් ඒ කළ දඟකාර ක්‍රියාවට දඬුවමක් නිසාදෝ නුවණට අධිපති ගණපතිඳුන්ගේ මෙන් පුළුල් දෙසවන්පත් සඟලකින් ද, දාර්ශනිකයකුගේ බැල්ම රඳවාගත් නෙතින් හා කැවුමේ කොණ්ඩය මෙන් උස්වූ නැහැයෙන් උන්වහන්සේ මනුලොවට ප්‍රාදූර්භූත වූහ.

“කුඩා විලියම්” ගේ පාසල්විය ලබන සතියේ

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.