ඉරණම වෙනස් කළ ධන උල්පත

ජනවාරි 31, 2025

බරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයකු වූ රූපට් ඔරේන්ජ් නැමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි. එක්තරා ලේඛකයකු විසින් ඔහුගේ ජීවිත ඉරණම පිළිබඳ කතාන්තරය සොයා ගනී, දැන් ගලා යන්නේ එම කතාවය. එම කතාවවට අනුව කෲර ඥාතිවරියක නිසා පාරට වැටුණු තරුණයකු වූ රූපට් ඔරේන්ජ් හට දිනක් රාත්‍රිකාලයේ ඇවිදීමට යද්දී අද්භූත මහලු මිනිසකු හමුවෙයි. මහලු මිනිසා තරුණයා කැටුව අවන්හලකට ගොඩවෙයි. එහිදී තරුණයාට ප්‍රකෝටිපතියකු වී මේ දුප්පත් දිවි පෙවෙතින් මිදීමේ අපූරු ක්‍රමවේදයක් මහල්ලා විසින් පැහැදිලි කරයි. ඒ අතර තරුණයාට ලැබෙන ලියුම ඔහුට අතට බාරදීමට තැපැල්කරු පැකිළෙයි. තැපැල් පෙට්ටියට දැමූ ලියුම රැගෙන එහි ඇති ලිපිනයට යන රූපට් හට ආයතනයේ අය සලකන්නේ ඉතා පහත් අයුරිනි.

ඒ සමඟ කෙටෙල් මහතා ප්‍රතාපවත් විලාසයෙන් තමන් ඉදිරියට පැමිණෙනු දුටු ලිපිකරුවා හැකිතාක් කොන්ද පහත් කරනු ලැබුවේ ඔහුට ආචාර කරනු පිණිසය.

“මේ හාදයාට ඔබතුමන්ව මුණ ගැහෙන්න ඕනෑ කමක් තියෙනවාලු”

හෙතෙම පැවසුවේ කෙටෙල් මහතාගේ දෙනෙතෙහි රැඳුණු ප්‍රශ්නාර්ථයට පිළිතුරක් වශයෙනි.

“ඒයි ඉලංදාරියා... මොකක්ද තමුසෙගේ ගැටලුව?”

ආයතන ප්‍රධානියාද රූපට්ගෙන් විමසුවේ ලිපිකරුවාට නොදෙවෙනි අහංකාර ස්වරයකිනි. ඒ සමඟම මේ කරදරකාරයා ගැන ඇති වූ කෝපයෙන් යුතුව “වෙන වේලාවක එනවා” යයි පවසමින් හෙතෙම ආපසු හැරුණේය. එහෙත් ඒ මොහොතකට පමණකි. අකුණු සැරයක් වැදුණු කලෙක මෙන් ඔහු ආපසු හැරුණේ රූපට්ගේ හිසෙහි සිට පාදන්තය දක්වා තීක්ෂණ බැල්මක් යොමු කරවමිනි. රූපට්ගේ දුර්වර්ණ වූ ඇඳුම් පැලඳුම් හේතුකොට ගෙන නුරුස්නා බැල්මක් ඇති වුවද, එක්වරම කටපුරා නැගුණු සිනහවකින් යුතුව කෙටෙල් මහතා ඔහු වෙත ළඟා වූයේ හදිසියේම හඳුනාගත් පැරණි සහෘදයකු දක්නට ලැබුණාක් මෙනි.

“ඉතින්... ඉතින්... මේ අපේ හිතවත් ඉලංදාරියානේ... අනේ ආදරණීය කොලු පැටියෝ ? මම කොයි තරම් කාලෙකට පස්සේද ඔබව මේ දැක්කේ ? ඔබ හුඟාක් වෙනස් වෙලා.. ඒකයි මට එක පාරටම අඳුර ගන්න බැරි වුණේ”

අනතුරුව රූපට්ගේ අතකින් අල්ලාගත් කෙටෙල් මහතා ඔහුව තම කාමරයට කැඳවාගෙන ගියේ තරබාරු ලිපිකරුවාගේ මුහුණ අංශභාග රෝගියෙකු මෙන් විකෘතිව යද්දීය.

ඉක්බිති ගෙවී ගියේ සතියක කාල පරිච්ජේදයකි.

වසර ගණනාවකට පෙර නිව්යෝර්ක් නගරයේ ඉහළ සමාජයෙන් අතුරුදන්ව සිටි රූපට් ඔරේන්ජ් පෙරට වඩා සිය ගුණයක ශ්‍රී විභූතියෙන් ආඪ්‍යව සියලුම ඉහළ පෙළේ සමාජශාලාවල සැරිසරනු දක්නට ලැබිණි. විසිහතර පැය මුළුල්ලේ ඔහු කැමති විටෙක, කැමති තැනක රැගෙන යාමට සූදානම් සුඛෝපභෝගී අස්ව රථයක් සමාජ ශාලා අංගනයේ පසෙක නවතා තිබුණේ සියල්ලන්ගේම නොමද ආකර්ෂණයට ලක් වෙමිනි. ඒ මොහොත වන විට නිර්මාණය වී තිබූ නවතම ඇඳුම් පැලඳුම් මෝස්තරවලින් සැරසී සමාජයේ ගැවසුණු රූපට්, තමා වෙත නොනැවතී ගලා ඵන අසීමිත ධනස්කන්ධය පරිහරණය කරනු ලැබුවේ මොන්තේ ක්‍රිස්තෝ සිටුවරයා සිය ආරාධිතයන් විමතියට පත් කළ ආකාරයේ විචිත්‍ර හා ආකර්ෂණීය ප්‍රිය සම්භාෂණ සිහි ගන්වමිනි. ඔහු විසින් දෙනු ලබන විශ්වාස කළ නොහැකි තරමේ සන්තෝෂම් සඳහා වහ වැටුණු සමාජශාලා හා හෝටල් සේවකයන්ද සෙසු ආවතේවකරුවන්ද, රූපට්ව දුටු කල ඔහු පසු පස වැටෙන්නට පටන් ගත්තේ අනෙක් ප්‍රභූවරුන්ගේ සියලු කටයුතු දෙවැනි තැනට දමමිනි.

මේ ආකාරයට නගරයේ ඉහළම සමාජ ස්ථරය තුළ අංක එකේ ධන කුවේරයා ලෙස කිරුළු පළන් රූපට් ඔරේන්ජ් සෙසු සාමකාලීනයන් තුළ ඊර්ෂ්‍යාව පමණක් නොව ලැජ්ජාවද ඇති කරවන්නට සමත් විය. එහෙත් ඔවුහු ලැජ්ජා විරහිත හැඟීමකින් යුතුව ඔහු සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමේ බරපතළ ආශාවකින් පසු වූහ. ඒ සඳහා සියලු උපා යෙදූහ.

ඔරේන්ජ්ගේ සෞභාග්‍යමත් දිවියේ මුල් අදියරේ ඔහුව දැන හඳුනාගෙන සිටි බොහෝ දෙනකු දෙවැනි වතාවේ ඔහු හමුවේදී පවසන්නට අපුරු කතාන්තරද නිර්මාණය කරගෙන සිටියහ.

“යුරෝපයේ ඉඳලා ආවයි කිව්වට, කවද්ද කින්ද මන්ද කියලා අපි දැනං හිටියේ නැහැනේ. රූපට් මහත්මයා... කොහොම වුණත් ඔබට විදේශ සංචාරය නම් හොඳට අල්ලලා ගිහිල්ල වගෙයි පේන්නෙ”

මේ හැරුණු කල රූපට්ව අමතක වීම ගැන තවත් විවිධාකාර මුසාබස් සහිත සමාව ඉල්ලීම් නිරන්තරයෙන් සිදු වූ අතර රූපට්ද ඒ සියල්ල කාරුණික සිනහවකින් යුතුව බාර ගත්තේය. ඔහු ජීවත් වුයේ මේ සියල්ලන්ටම වඩා බොහෝ ඉහළින් වන බැවිනි. ඒ නිසා කිසිවකට කිසිවක් කෙරෙහි කෝප වීමට අවශ්‍ය වූයේ නැත.

කෝපයක් ඇති නොවුණද, තනිවම හෝ සිනාසීමට අවස්ථාවක් සැලසුණු අවස්ථාද ඒ අතර විය. එයට හේතු වූයේ රූපට් පසුගිය කාලයේ අප්‍රිකාවේ ගත කළ බවට ඉහළ සමාජය තුළ පැතිරී තිබූ කතාන්තර රාශිය එකිනෙකා අතර පැතිර ගොස් ඇති ආකාරය ඔහුට දැන ගන්නට ලැබීමෙනි. එහි ඇතැම් කතාන්තර විවිධ වීර වික්‍රමයන් වන අතර සමහරක් අරාබි නිසොල්ලාසයේ එන අද්භූත ප්‍රබන්ධ ලෙසද සමාජය සිසාරා පැතිර යමින් තිබුණේ තටු ලබා පියාසර කරන තරම් වේගයකිනි.

එවැනි එක් කතාවකට අනුව තමා අප්‍රිකාවේදී සිංහයින් සිව්දෙනෙකු වෙඩි තබා මරා දමා ඇති ඇති අතර, කොටියෙකු ඝාතනය කර ඇත්තේ පොරබදා කිරිච්චියෙන් ඇනීමෙනි.

පෙරළුණු අශ්ව රථයකට යටවී මිය යාමට ආසන්නව සිටි ධනකුවේරයකු රෝහලකට ගෙනගොස් පණ බේරා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු විසින් වටිනා දියමන්ති පාර්සලයක් රූපට්ට ත්‍යාග කළ බවද මේ කතාන්තර ගොන්නේම එකක් බවට පත්ව තිබේ. ඒ අතර එකකු දෙන්නෙකුගේ අදහස වී තිබෙන්නේ පසුගිය කාලපරිච්ජේදය තුළ රූපට් ඉන්දියාවේ හිමාලයට ගොස් සෘෂිවරු වෙතින් බලගතු ගුප්ත ශාස්ත්‍ර අධ්‍යයනය කළ බවය. ඒ අනුව ඔහුට නොනැවතී මහා ධනස්කන්ධයක් ගලා එන්නට සලස්වනු ලබන්නේ මන්ත්‍රානුභාවයෙන් යටත් කරගන්නා ලද භූතයෙකු විසිනි.

මේ සියලු නිර්මාණාත්මක ප්‍රබන්ධ අතරේ රූපට් විසින් කලකට පෙර ලියන ලද කාව්‍ය නිර්මාණයකටද ප්‍රසිද්ධිය ලැබී තිබුණේ එය ප්‍රසිද්ධ පුවත් පතක පලවීම හේතුකොට ගෙනය. එපමණක්ද නොව ඔහුගේ නිර්මාණය පුවත්පතෙහි පළවූ බව දන්වමින් ඉදිරියටත් නිර්මාණ ඉදිරිපත් කරන ලෙස කෙරුණු ඉල්ලීමක්ද, නිර්මාණය සඳහා ඉහළම ගෙවීමක් කෙරුණු චෙක්පතක්ද ඒ සමඟම ඔහුට ලැබී තිබුණි. රූපට් ඔරේන්ජ්ගේ මතකයට අනුව තමා විසින් මේ පද්‍ය නිර්මාණය බාරදුන් කතුවරයා ඒ මොහොතේ එය කියවා බැලීමටවවත් උනන්දුවක් පවා නොදැක් වූ අයෙකි. රූපට් ඔරේන්ජ්ගේ බලවත් පෙරැත්තය මත එය උඩින් මත්තෙන් කියවා බැලූ කතුවරයා මෙය කොපිකර තිබෙන්නේ මොන කෘතියෙන් දැයි සොයා බැලීමට තම සහායකයකුට බාර කරනු ලැබුවේ දුර්වර්ණ ඇඳුම් පැලඳුම්වලින් සැරසී සිටි රූපට්ව තවදුරටත් අවඥාවට බදුන් කිරීමේ අදහසිනි. ආත්මානුකම්පාවෙන්ද, කෝපයෙන් පිරුණු හදවතින්ද යුතුව ඔහු එතැනින් ආපසු හැරුණේ ජීවන වෘත්තිය වශයෙන් ලේඛණය තෝරා ගැනීම සදහටම නවත්වා දමමිනි. නමුත් දැන් ඒ කතුවරයාගේ අත්සනින්ම දිගින් දිගටම ලිවීමේ ආරාධනාවක් සහිත ලිපියක්ද ඒ සමඟ වෙයි. අපූරුය.

එහෙත් මේ මොහොතේ ඒ අතීතය පිළිබඳව තවදුරටත් කල්පනා කිරීමට හෝ කතුවරයා එදා පෑ අහංකාරකම ගැන හිත රිදවා ගැනීමට හෝ රූපට් කාලය වැය නොකළේය. එහෙුත් තමා විසින් දුගියකුව සිටි කාලයේ නිර්මාණය කරන ලද පද්‍ය නිර්මාණයක් ඇගයීමකට ලක් වීම හා ප්‍රසිද්ධියට පත් වී තිබීම ඔහු තුළ නොමඳ සතුටක් ඇති කරනු ලැබු කරුණක් විය. ඔහු නොපමාව එතෙක් මෙතෙක් තමා විසින් ලියන ලදුව සියලු කතුවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද පද්‍ය හා ගද්‍ය නිර්මාණ සියල්ලක්ම එම පුවත්පත වෙත යවන ලදී. ඒවා අති විශේෂ ඉදිරිපත් කිරීමක් සහිතව පුවත්පතෙහි පළ වූ අතර, ප්‍රිය සම්භාෂණයන්හිදී ඔහු වෙතට සමීප වූ සෙසු පුවත්පත් කතුවරුන් විමසා සිටියේ මෙතරම් වටිනා සිය පද්‍ය නිර්මාණ තම පුවත්පත්වලට යොමු නොකරන්නේ ඇයිද යන්න පිළිබඳවය.

වින්සන්ට් ඕ සුලිවන්ගේ කෙටි කතාවක් ඇසුරිනි

(මතු සම්බන්ධයි)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.