රස්පුටින්ගේ අවසන් භෝජන සංග්‍රහය

ලෝ පතළ වෙදැදුරා රස්පුටින් - 6
දෙසැම්බර් 6, 2024

මෙතෙක් කතාව

සයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් පූජකයෙකු මෙන්ම සුව කරන්නෙකු ලෙසද පෙනී සිටිමින් අනුගාමිකයින් පිරිසක් ඇති කර ගනියි. අනතුරුව තමන් දැන හඳුනාගත් රජ පවුලේ ඥාතිවරියන් දෙදෙනකුගේ මාර්ගයෙන් සාර් මාළිගයට සමීප වෙයි. ඉන් අනතුරුව හිමෝෆීලියා රෝගයෙන් බැටකන කුඩා රජ කුමරා වෙනුවෙන් යාඥා කර ඔහු සුවපත් කරයි. රජ පවුලට අත්‍යවශ්‍ය පුද්ගලයකු බවට පත් වූ රස්පුටින් එම බලය අසීමිතව අවභාවිත කිරීම හේතුවෙන් රුසියාව තුළ පමණක් නොව යුරෝපය තුළද දැඩි අප්‍රසාදයකට පත් වෙයි. රස්පුටින්ට එරෙහි පළමුවැනි කුමන්ත්‍රණය 1914 දී සිදුවූ පිහි ඇනුමකි. පසුව රදළයෙකු වන යුසොපොව් කුමරුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි. බිම වැටී සිටින රස්පුටින්ගේ සිරුර දෙසට නෙත් යොමු කරන ඔහු දකින්නේ තමා විසින් එල්ල කරන ලද වෙඩි පහර ඔහුගේ පපුවේ වම්පසට නිසි ලෙස වැදී ඇති බවය. රස්පුටින් පිළිබඳ ලැබූ අත්දැකීම හෙළිවන්නේ ඔහු විසින් ලියන ලද කෘතියකිනි.

මේ අතර ක්ෂණයකින් නොසිතූ විරූ ශක්තියක් ඒක රාශී කර ගනිමින් රස්පුටින් නැඟිට ගත්තේ අමනුෂ්‍යයෙකුගේ බඳු මහා බියකරු හඬක්ද නඟමිනි. ඉක්බිති ඔහු කුමරා වෙතට දිව එන්නට පටන් ගත්තේය.

මේ හේතුවෙන් දැඩි ලෙස සංත්‍රාසයට පත්වන යුසොපොව් කුමරු ඉතා වේගයෙන් උඩුමහලට දිව ගිය අතර, මඳ දුරක් දිව ආ රස්පුටින් බිම ඇද වැටුණේය. කුමරුගේ කතාවට සවන් දුන් මිතුරන් පිරිස අතර සිටි ග්‍රෑන්ඩ් ඩියුක් දිමිත්‍ර පැව්ලොවිච් සිය උණ්ඩ පිරවූ පිස්තෝලය අතට ගනිමින් ස්ථීරවම කියා සිටියේ “තමා විසින් මේ කාරණය අවසන් කරන” බවය.

මෙසේ කී ඔහු සිය ගිනි අවියද රැගෙන පහළ මාළයට පැමිණෙන මුත් සියල්ලන්ම විමතියට පත් කරවමින් ඒ වන විට රස්පුටින් අතුරුදහන්ව සිටියේ ය.

දැඩි සේ කලබලයට පත් ඔවුන් මන්දිරයෙන් පිටතටවිත් බැලූ විට දැකගත හැකි වූයේ එහි පිටවීමේ දොරටුව කරා රස්පුටින් අසීරුවෙන් වුවත් ඇවිදගෙන යන අයුරුය.

මොන යම් විදියකින් හෝ රස්පුටින් බේරී පලා යාම බරපතළ කරුණක් බව මේ සියල්ලන්ටම අමුතුවෙන් පෙන්වා දිය යුතු කරුණක් නොවීය. ඒ අනුව මොහොතක් හෝ පමා නොවූ දිමිත්‍රි පාව්ලොවිච් තම රිවෝල්වරයෙන් වෙඩි පහරවල් කීපයක්ම රස්පුටින් වෙත එල්ල කළේය.

මේ ප්‍රහාරයේදී සිරුරට වැදුණු එක් වෙඩි උණ්ඩයක් හේතුවෙන් රස්පුටින් බිම ඇද වැටුණේය. එහෙත් යළිත් හිස එසවූ රස්පුටින් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව හතර ගාතයෙන් ඇවිදිමින් දොරටුව වෙත ඇවිද යන්නට පටන් ගත්තේ සියල්ලන්ම පුදුමයට පත් කරවමිනි. එහෙත් මෙය පුදුම වෙමින් සිටීමට කාලයක් නොවන බව වටහාගත් දිමිත්‍රි පාව්ලොවිච් ඉදිරියට පැන සිය අවසන් උණ්ඩය රස්පුටින්ගේ නළල මධ්‍යයට එල්ල කළේය. එම වෙඩි පහරත් සමඟ රුසියාවට පමණක් නොව, සමස්ත යූරෝපයටම බලපෑමක් කළ හැකි තත්ත්වයක පසුවූ ග්‍රිගෝරි යෙෆිමොවිච් රස්පුටින් සදහටම නිහඬ විය.

යළිත් ඔහුව පරීක්ෂා කළ ස්ටැනිස්ලාව් ඔහු නිශ්චිතවම මියගිය බව සනාථ කළේය.

ඉන්පසු රස්පුටින්ගේ කබාය රැගෙන පැළඳ ගන්නා ලුතිනන් සර්ජි සුකොටින්, රස්පුටින්ගේ නිවෙස අසලට ගොස් ඒ අසලදී වාහනයෙන් බැස ආපසු ඒමේදී ඒ කබාය නොමැතිව අප්‍රකටව පැමිණීමට කටයුතු කළේය. රස්පුටින්ට තිබූ බලය පිළිබඳව රදළයින් තුළ පවා තිබූ බිය එයාකාර වූවකි.

ඉන් අනතුරුව රස්පුටින්ගේ සිරුර ගණ කම්බිලියකින් ඔතා මැනවින් ගැට ගසන ලදුව මෝටර් රථයක දමා ගෙන යන ලද අතර නෝවා නදියේ සුප්‍රකට පාලමෙන් එය ගඟ දියට අත හරිනු ලැබීය. එහෙත් මෙකී ශීත සමයේ ගඟ දියෙහි හිම කැට සහ අයිස් තට්ටු පිරී ඇති බැවින් රස්පුටින්ගේ සිරුර එතරම් දුරකට ගසාගෙන ගියේ නැත. දින තුනකට පසු ඔහුගේ සිරුර හමුවන විට එය පහළට ඇදී ගොස් තිබුණේ කිලෝ මීටර් භාගයකට ආසන්න දුරක් පමණි.

ඔහු අතුරුදහන් වීමත් සමඟ මුලින්ම දැඩි සේ කලබලයට පත් වූයේ රුසියානු රජ පවුලය. මළ සිරුර හමුවීමෙන් පසුව ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස රජ පවුලෙන් අණක් ලැබෙන්නේ මේ පිළිබඳව යම්කිසි හෝඩුවාවක් දැන ගැනීමේ බරපතළ වුවමනාවක් ඔවුන් තුළ වූ බැවිනි.

මේ පරීක්ෂණයේදී ඔහුගේ මරණය සිදුව ඇත්තේ සිරුරට වැදුණු වෙඩි පහරවල් තුනක් නිසා බව හෙළි වූවත්, අපරාධකරුවන් කවුරුන්දැයි සොයා ගැනීමේ අවස්ථාවක් උදා වූයේ නැත. එහෙත් මේ පරීක්ෂණයේදී විස්්මයජනක කරුණක් හෙළි විය. එය නම් රස්පුටින්ගේ ශරීරය තුළ පොටෑසියම් සයනයිඩ් අන්තර්ගතව නැති බවය. එයට හේතුව දැනගත හැකි වූයේ පසු කලෙක මේ කුමන්ත්‍රණකරුවන්ගෙන් කෙනෙකු වූ වෛද්‍ය ස්ටැනිස්ලාව්ස් විසින් කරන ලද හෙළිදරව්වකිනි. ඔහු එය පාපයකින් මිදෙන්නට කළ දෙයක් බව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති දෙයකි.

ඔහුගේ හෙළිදරව්වට අනුව පෙනී යන්නේ රස්පුටින් වෙනුවෙන් සැදූ කේක්වලට සහ බීමට දුන් වයින්වලට පොටෑසියම් සයනයිඩ් මිශ්‍ර කිරීමේ අදහස තමා විසින් අතහැර දමනු ලැබූ බවය. ඒ අනුව ඔහු විසින් වෙනත් විෂ සහිත නොවන ආදේශකයක් කේක් සහ වයින්වලට එකතු කර තිබේ.

මේ අනුව පෙනී යන්නේ විෂ යෙදූ කේක් සහ වයින් පානය කිරීමෙන් පසු රස්පුටින් මිය නොගියේ, ඔහු සතු ගුප්ත බලයක් හෝ අයෝමය ශක්තියක් නිසා නොව, ඒවාට විෂ යොදා නොතිබූ නිසා බව පැහැදිලි විය. අනෙක් පැත්තෙන් ඔහු සැබෑ අනාගත වක්තෘවරයකු වූයේ නම් සියල්ලටම පළමු තමාට උදාවන මෙකී මාරකය දැකගත යුතුව තිබිණි.

මරණ පරීක්ෂණයෙන් අනතුරුව කිසිවකුත් නොදන්නා ස්ථානයක රජයේ අනුග්‍රහයෙන් ඔහුගේ අවමඟුල සිදුවන්නේ නිකලොස් සාර් අධිරාජ්‍යයා සරීනා ඇලෙක්සැන්ඩ්‍රා බිසව සහ රජ පවුලේ අනෙකුත් සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙනි. සාමාන්‍යයෙන් මෙවැනි විවාදාපන්න පුද්ගලයකු අනපේක්ෂිතව ඝාතනය වීමත් සමඟ සුපුරුදු ලෙස සිදුවන පරිදි, රස්පුටින් අරබයා ද විවිධාකාර කටකතා පැතිර යන්නට පටන් ගත්තේ ය.

ඒ අතර, වැඩියෙන්ම ප්‍රචලිත කටකතාව වූයේ ඔහුගේ මළ සිරුර ගඟෙන් ගොඩ ගන්නා විටද එයට පණ තිබුණේය යන කතාවයි. ඔහුගේ පෙණහැලිවල ජලය රැඳී තිබුණු බවට කතාවක්ද පැතිර ගිය නමුත් රස්පුටින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එවැන්නක් හෙළි වී නැත.

ඔහුගේ මරණින් පසුව 1917 දී ඇතිවූ විප්ලවයේදී සාර් රජ පවුල බලයෙන් පහවූ අතර, 1918 වසරේදී ඔවුන් සියලු දෙනා ඝාතනයට ලක් වුණි. විප්ලවයෙන් අනතුරුව සිදුවූ තවත් දෙයක් වූයේ විප්ලවවාදීන් විසින් රස්පුටින්ගේ සිරුර වැළලූ තැන සොයා ගෙන එය ගොඩගත් බවයි. අනතුරුව එය ජනතාවගේ වන්දනාමානයට පත්වීම වැළක්වීම පිණිස පුලුස්සා විනාශ කරන ලදී.

මේ අයුරින් ඔහුගේ දිවි ගමන අවුරුදු 47 කින් නිමාවට පත්විය.

ලොව පසිඳු සුප්‍රකට ගායක කණ්ඩායමක් වන “බොනිඑම්”ලාගේ ..රා..රා.. රස්පුටින්.. නම් අතිශය ජනප්‍රිය ගීතයේ සිට එදා මෙදාතුර විවිධාකාර චිත්‍රපට, ටෙලිනාට්‍ය හා සාහිත්‍ය කෘති ගණනාවක් මොහුගේ ජීවිතය පසුබිම් කර ගනිමින් නිර්මාණය වී ඇත. ඒ අතරින් මුලින්ම එළි දුටු කෘතිය වන්නේ විප්ලවයත් සමඟ ප්‍රංශයට පලාගිය යුසොපොව් කුමරු විසින් ලියන ලද ග්‍රන්ථයයි.

යූසොපොව් කුමරු විසින් ඉන් අනතුරු තවත් අවුරුදු 26 කට පසු මේ ඝාතනය පිළිබඳ තවත් ග්‍රන්ථයක් එළි දක්වා තිබේ. ඒ කෘතිය සඳහා සාර් පාලනය සම්බන්ධ බොහෝ දෙනෙකු නොදන්නා දේශපාලන කරුණු මෙන්ම ඝාතනය ලක්වූ රස්පුටින් පිළිබඳව යම් යම් අද්භූත තොරතුරු ද ඇතුළත් බව පැවසේ.

සිය දෙවැනි කෘතියෙන් රස්පුටින්ගේ ගුප්ත ස්වභාවය ගැන වඩාත් තීව්‍ර වන ආකාරයට කතා කිරීම තුළින් ඔහු යක්ෂයාගේ නියෝජිතයකු යන්න ඔප්පු කිරීමට කුමරා විසින් උත්සාහ දරා ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

එයට හේතු වී ඇත්තේ තමා විසින් ඝාතනය කරන ලද්දේ නිරායුද මිනිසෙක්ය යන හැඟීම ඔහු තුළ වද දීම නිසා යයි පෙන්වා දෙන පිරිසක්ද වෙති.

මේ හැරුණු විට රස්පුටින්ගේ අසාමාන්‍ය පුරුෂ ලිංගේන්ද්‍රිය ඔහුගේ මළ සිරුරින් ඉවත් කර සංරක්ෂණය කර ඇති බවද, එය යම් කෞතුගාරයක ප්‍රදර්ශනය කෙරෙන බවද වාර්තා වෙයි. ඒ පිළිබඳව ඇති අනෙක් තොරතුරු වන්නේ රස්පුටින් සතුව ඇතැයි කියවුනා වූ අසාමාන්‍ය ලිංගික ශක්තිය පිළිබඳ මතිමතාන්තර ප්‍රයෝජනයට ගනිමින් එක්තරා කෞතුකාගාර හිමියෙකු විසින් කෘතිමව සාදන ලද ලිංගේන්ද්‍රියක් එසේ ප්‍රදර්ශනයට තබා ඇති බවය. (නිමි)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.