කාන්තාවනි! කළු කුමාරයා හඳුනාගන්න

දෙසැම්බර් 6, 2024

 

කළු මිනිසුන් ගොස් යහනේ සැතපීම
නිතරම බඩ ලෙඩින් දරුවන් නොලැබීම
අඩු මාසෙන් දරුවා ගබ්සා වීම
මේ හැම දෝෂ දුරලති දොළ දුන්නාම

මල්වර වෙලා ඉස්නානෙට යන ගමනේ
මනකල් වෙලා අඬ තලමින් නාන තැනේ
මල්වර තරුණ අඟනක් දැක අල්ලමිනේ
ඇල්නොව රකින් ආතුර කළු කුමරුවනේ

කළු කුමාරයා ගැහැනු ළමයෙකු ඔසප් වූ දින සිට ස්නානය කරන දින දක්වා බැල්ම හෙළයි. එවිට සිහිනෙන් බිය වී කළු පැහැති ශරීර දැක වෙව්ලමින් කෑ ගසනු ලැබේ. යකැදුරා පවසන පරිදි ඇය කොටහළු වූ දින තනි වී ඇතැයි යන අදහස සිත තුළ තැන්පත් වී පවතී. එවැනි කාන්තාවන් ගැබිනි මවක් වූ පසු ද ඇයට එම උපද්‍රවය සිතින් ඉවත් කර ගත නොහැකි වේ. එම බැල්ම ශරීර ගතවීම නිසා සිදු වන හානිය බොහෝ ය.

කළු කුමාරයා යනු කාල වර්ණ පැහැයෙන් යුතුව විහිදුණු කොණ්ඩයක් ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. දෛනිකව දෘෂ්ටි ගෝචර වන සියලු අඟනුන්ගේ යහ පැවැත්මට බාධා ඇති කරමින් ශරීරගත වී විවිධ විකාර රූපයන් දැක්වීමට සූරකමක් ඇති යක්ෂයෙකි. ස්ත්‍රීන් ස්නානය කරන දිය කඩිති පාළු තොටුපළ ආදියෙහි සිට බැලුම් හෙළා වින කරයි. එවිට සාමාන්‍ය පැවැත්ම වෙනස් වී වෙව්ලමින් විකාර රූපී වචන භාවිත කරමින් සිටින විට වැඩිහිටියන් යකැදුරකුගේ පිහිට පතනු ඇත.

ඔවුන් ප්‍රකාශ කරන පරිදි ඇයට කළු කුමාර දෝෂය. බැල්ම වැටී ඇත. එනිසා යක්ෂ දෘෂ්ටිය ශරීරයෙන් ඉවත් කර ගැනීමට නම් ඒ සඳහා ඇඹුල් පහක් ලෙස දෙහි, දොඩම්, අන්නාසි, නාරං සමඟ කාමරංගා හෝ පුහුල් ගෙඩියක ගා ගත් ඉස්ම මතුරා නූලක් ජීවම් කර බැඳ දෙහි කැපීම සිදු කරයි. මාසයක් ඉක්ම ගිය පසු සුවදායි තත්ත්වයට පත් වන කාන්තාවගේ සිනාමුසු තත්ත්වය නෙත ගැටෙන විට මෙහි සත්‍යතාව වටහාගත හැකිය. උක්ත දැක්වු පැඟිරි පලතුරු පුද කළ විට යකා ඉන් ඉවත් වන බව අදටත් සමාජයේ භාවිත වන්නකි.

ශරීරයට වැලඳෙන්නා වූ වා, පිත්, සෙම් යන තුන් දෝෂ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව බොහෝ විට විෂබීජ වේ. නිතර නිතර සෙම් රෝග වැලඳෙන විට මෙය භූත විද්‍යාවට අනුව බලවේග නිසා හට ගත් දිෂ්ටි රෝගයකි. ශරීරය කෙට්ටු වෙමින් සිහිනෙන් බියවී සිහි මඳ ගතියෙන් යුතුව සැරිසරන කාන්තාවගේ ශරීරයේ සිහිනෙන් රතු මල් පැලඳ වීම. රතු පැහැ වස්තුන් හා සතුන් දැකීම ලේ මස් අනුභවය දර්ශනය වීම නිසා කළු කුමාර දෝෂය හඳුනා ගත හැකිය.

කොතෙක් විවාහ යෝජනා පැමිණියද තවමත් විවාහ නොවී සිටින කාන්තාවන් එමටය. කුමන හෝ අයුරකින් කරදර, හිරිහැර, පැමිණ බාධා ඇති කරයි. එය අතීතයේ සිට වර්තමානය දක්වාම සමාජයේ දක්නට හෝ අසන්නට ඇති පුවතකි. එවිට නිවැසියන් සිදු කරන්නේ ඇයගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමය. ඇදුරා සතු පාරම්පරික ඥානය. අත්දැකීම මත ඔහු පවසන්නේ කළු කුමාර බැල්ම නිසා යකා විසින් මෙවැනි උපද්‍රවයක් සිදු කර ඇති බවයි. එයට පිළියම් වශයෙන් යන්ත්‍ර මන්ත්‍ර පවසා ජීවම් කරන ලද “කළු කුමාර යන්ත්‍රය” මංගල ප්‍රදීප යන්ත්‍රය, සර්වජව වශී යන්ත්‍රය” යන ඒවායින් එකක් පැලඳවීමට කටයුතු කිරීමය. ඉන් සුබදායී ප්‍රතිඵල ලැබීමට නම් මරණ, මඟුල්, වැදුම් ගෙවල්වල නොගොස් කිළි සහිත ආහාර වන හරක්මස්, ඌරුමස් හා මෝර මාළු, කරවල මෙන්ම සමහර පලා වර්ග ද ප්‍රතික්ෂේප කර සිටීමට සිදුවේ. මෙහි දී ගැට පොළොස් ව්‍යාංජනය යක්ෂයාට පුදන්නේ එය කිරි මවුවරුන්ගේ ආහාරයක් නිසාය. ගැමියන් විශ්වාස කරන්නේ මෙවැනි ආහාර කළු කුමාරයාට රුචි ඒවා බවයි. එම නිසා යකාගේ ආකර්ෂණයෙන් මිදීමට නම් යකාට බිය වී ආරක්ෂා විය යුතු යි. යකැදුරා විසින් ප්‍රකාශ කරන්නා වූ වචනයන්හි අර්ථය ග්‍රාහකයාට නොවැටහෙන අවස්ථා ඇත. එහෙත් එම මන්ත්‍රය බලගතු එකක් බව රෝගයට ගොදුරු වූ පුද්ගලයා නිසැකයෙන්ම දනී. ඒ නිසාම ඉන් බලවත් පිහිටක් ලැබී කළුකුමාර ඇල්ම බැල්ම ඉවත් වී යන බව විශ්වාස කරයි. ටික දිනක් යන විට සාර්ථක වන විවාහ යෝජනාවක් හේතුවෙන් කා හටත් එය ප්‍රත්‍යක්ෂ වේ.

විවාහ වී මාස කීපයක් ගත වුවද දරුවන් නොමැතිවීම නිසා ආරවුල් ඇති වී පවුල් සංස්ථාවම අඩපණ වන අවස්ථා බොහෝමයක් ඇත. එහි දී නැන්දම්මා, නෑදෑයන්, හිත මිතුරන් අසල්වැසියන් එම කාන්තාව දෙස බලන්නේ අපිරිසුදු හා පිළිකුල් සිතිණි. ඒ නිසාම සුබ ගමනක් යාමේ දී හෝ සුබ කටයුත්තක දී එවැනි කාන්තාවන් හා කතා කිරීමට දැකීමට ඇතැම් මිනිසුන් අකමැති වේ. ඒ නිසා අසරණ වන කාන්තාව සිත් තැවුලට පත් වී සිටින්නේ දොස් කෝප වී ලබා ඇති අපල කාලයේ දී ඒවා විඳ දරා ඉන් ආරක්ෂා වන්නේ කෙසේද කියා ය. වැඩිහිටියන් ඇයගේ ක්‍රියා කලාපය යකැදුරාට පැවසූ විට ඔහු පවසන්නේ කළු කුමාරයා වෙනුවෙන් භාරයක් වී පුද පූජා කළ විට ඉන් මිදිය හැකි බවයි. එනම් මෙලොවට බිහිවන ඕනෑම කාන්තාවකට දරුවන් ලැබීමේ හා බිහි කිරීමේ අයිතියක් හා අවකාශයන් ඇති නිසාය. කළු කුමාරයා වෙනුවෙන් පිදවිලි කැප කර දී කළු කුමාර තීන්දුව කපා කළු කුමාර ඖෂධ කෂාය පානය කිරීමට සලස්වා කළුකුමාර මංගල යන්ත්‍රය පැලඳවීම සිදු කරයි. එම කාන්තාව ඔසප් වූ දින සිට දින හතක් ඇතුළත තුන්පොට නූලක් මතුරා කකුලේ මාපට ඇඟිල්ලේ බඳිනු ලබයි. මාස තුනක් ගිය තැන දී කලලය හට ගත්තායින් පසුව හත් මසක් ඉක්ම යාමට පෙර කලහක් වෙන්කර දරු ගැබ ආරක්ෂා කර දිය යුතුයි. ඒ සඳහා කහපාට ඇප නූලක් බඳිනු ලැබේ. දරුවා ලැබුණු පසු කළුකුමාර දේවතාවා වෙනුවෙන් පිදවිලි කැප කර දී සෙත් ශාන්තිය ලබා ගන්නේ යහපත් අයුරින් රෝග උපද්‍රවයකින් තොරව එම කාර්යය නිම කරවා ගැනීමට හැකිවීමේ භාග්‍යය උදා කර ගැනීම නිමිත්තෙනි.

ආයුර්වේදයට අනුව රක්තප්‍රදාහය යනු කාන්තාවන්ගේ අක්‍රමවත් ලෙස රුධිරය පිටවීමයි. එහෙත් පිටතට පෙනෙන්නේ දහඩිය පමණකි. ශරීරයේ විවිධ ස්ථානවලින් මෙය දැක ගත හැකි අතර සමහර අවස්ථාවන්වල දී ඉඳගෙන සිට නැඟිට බලන විට ඇඳ සිටි වස්ත්‍රයේ තෙත්වීම දැක ගත හැකිය. මේවාට වෛද්‍ය විද්‍යාවේ ඖෂධ සෙවීම අපහසුය. නොපෙනෙන දෙයක සත්‍යය සෙවීමේ දී ඇදුරා පවසන්නේ කළුකුමාරයාගේ දිෂ්ටිය අනුව එසේ වන බවයි. යකා වෙනුවෙන් පුළුටු (කැවුම්, කොකිස්, දිය ගොඩ මස්) කැප කර දී සිත් සතුටු කර ලෙඩා සුවපත් කරන ලෙස ඉල්ලීම කළ යුතුයි. ඒ සඳහා දෙහි කපා විෂ නසා තැඹිලි ගෙඩියකට සුදු හඳුන් ටිකක් දමා මතුරා බීමට දීමෙන් පසු ඇප නූලක් මඟින් ආරක්ෂාව සලසාලනු ලබයි. එමෙන්ම රාත්‍රියට දෙහි වීදුරුවක් පානය සඳහා නියම කරයි. මිනිසාට මේ බලවේගයන් පිළිබඳ ඇති බිය සැමදා පවතී. ඇදුරා නියම කරන ලද සියලු දේ ඉෂ්ට කිරීමට නිවැසියන් සෑම විටම උත්සාහ ගන්නේ එනිසාය.

මව්පියන් කරන දෙය ළමයින් විසිනුත් එයින් පසු පරම්පරාවෙනුත් ඉටු කිරීමේ දී නිතැතින්ම සිදු වන්නේ මෙවැනි කාර්යයන් සමාජයේ ස්ථාපිතවීමයි. ඒවා අසත්‍යයයි පවසමින් බැහැර කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.