වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ග්‍රහයන්ටත් දේශපාලනයටත් නව අරුතක් ගෙනෙන ආබාධ සහිත වූවන්ගේ දිනය
අන්තර් ජාතික ආබාධ සහිත වූවන්ගේ දිනය සැමරීම මෙවර ශ්‍රී ලාංකේය ජනතාවට ද සුවිශේෂී කඩ ඉමක් වෙයි. ඒ මෙරට පළමු වතාවට දේශපාලන කරළියේ ආබාධ සහිතවූවකු වෙනුවෙන් මන්ත්‍රී අසුනක් වෙන්වීමය. ආබාධ සහිත වූවන්ගේ දිනය සැමරීම මෙවර පොදුවේ සමස්ත ජන සමාජයටම වැදගත් වන්නේ එනිසාමය.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ සුගත් වසන්ත ද සිල්වා මහතාට මන්ත්‍රී අසුනක් ලබා දීම ඓතිහාසික මොහොතකි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ඉතිහාස ගත වේ. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළද දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් සූදානම් කර තිබේ. මේ පිළිබඳ ප්‍රකාශයක් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය නිවේදනය කොට ඇති බව පසුගිය දා මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයාට සභා ගර්භයට පිවිසීම සහ පිටවීම පහසු කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත් එලෙසම ඔහුගේ සුවිශේෂී අවශ්‍යතාවයන්ට සරිලන පරිදි තාක්ෂණික වෙනස්කම් ද සිදු කරමින් ඇති බවත් වශයෙනි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ද මන්ත්‍රීවරයාගේ සහභාගීත්වය තහවුරු කිරීමට ද අවශ්‍ය තාක්ෂණික මෙවලම් සැපයීම ඇතුළු කටයුතු ඉටුකරමින් සිටින බව එම ප්‍රකාශයේ සඳහන් වේ.
ඒ සඳහා ඔහුට අවශ්‍ය බ්‍රේල් ක්‍රමය සහ හඬ ක්‍රමය හඳුන්වාදීමටද පාර්ලිමේන්තුව සලකා බලන බව එහිදී වැඩිදුරටත් ඇය පවසා ඇත.
එලෙසම ආබාධිත සහිත වූවන් අතර සුවිශේෂී ලෙස සමාජයේ ජනපි‍්‍රයත්වයට පත් වූ වෙනත් විෂය ක්ෂේත්‍රවල පුද්ගලයන් ද අපමණය. ඒ අතර සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පුවත්පත සලකන විට ඡ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා පිළිබඳව සඳහන් කළ යුතු ව ඇත. ඔහු සතුව ඇති මතක ශක්තිය ඉහළය. ඔහු ඡ්‍යොතිෂයෙන් ජීවිතය ජයගත් අයෙකි. මේ අකාරයට සමාජයේ ආබාධ සහිතව ජීවිතය ජයගත් සුවිශේෂී චරිත අපට මුණ ගැසේ. තවද ශ්‍රී ලාංකික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලාංකික පැරා ඔලිම්පික් ක්‍රීඩකයන්, යුදබිමේදී ආබාධවලට ලක් වූ සෙබළුන් පෙන්වාදිය හැකිය.
අන්තර්ජාතික ආබාධ සහිතවූවන්ගේ දිනය දෙසැම්බර් මස 03 වැනිදාට යෙදී තිබේ. මේ දිනය සැමරීම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1992 දී ප්‍රකාශයට පත්කරන ලදී. ලොවපුරා මේ දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ වන්නේ, සමාජය වෙලාගෙන පැවැතෙන ආබාධ සහිත වූවන්ගේ ගැටලු පිළිබඳ අවබෝධයක් සමාජයට ලබා දීම ය. ඒ සඳහා නිසි විසදුම් ලබා දෙමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අභිමානය අයිතිවාසිකම් සහ යහ පැවැත්ම සඳහා ක්‍රියාමාර්ග ගැනීමටය.
දේශපාලන, සමාජීය, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් ආබාධ සහිත පුද්ගලයන් නඟා සිටුවීම ද ඒ තුළින් ඔවුනට ජයග්‍රහණ හා ජීවිතයේ අරමුණු බලාපොරොත්තු මුදුන් පැමිණ වීමටද මේ දිනය සමැරීමෙන් අපේක්ෂා කෙරේ.
ඡ්‍යොතිෂයට අනුව, ආබාධ සහිතවම පුද්ගලයකු මෙලොව එළිය දැකීමට මෙන්ම පසු කලෙක ආබාධිත තත්ත්වයන්ට ලක්වීමට ද හේතුවන ග්‍රහ පිහිටීම් ඇත. විශේෂයෙන්ම රවි, ගුරු, බුධ, සඳු වැනි සුබ ග්‍රහයන් පාප පීඩිත වීම මේ තත්ත්වයන්ට බහුලවම බලපානු ඇත. කෙසේ වෙතත්, ආබාධ සහිත වූවන් වැඩිහිටි වේවා තරුණ, ළමා වේවා ඔවුනට බලපාන රෝගාබාධ රැසක් ද පවතී. වර්තමානය වන විට මේ රෝගී තත්ත්වයන් ද ක්‍රමයෙන් වැඩිවන ලකුණු පෙනෙන්නට ඇත.
වැඩිහිටිවියට පත්වූවන්ට ඇතිවන රෝගී තත්ත්වයන්ද ක්‍රමයෙන් වැඩිවෙන ලකුණු පෙනේ. එනම් අංශභාගය, සංධි රෝග වැටීම්, කැඩීම් හා අස්ථි බිදුම්, ඩිමෙන්ෂියාව, පාකින්සන් වැනි රෝගද ඇසීමේ, පෙනීමේ දුර්වලතාවයන් ද මේ අතර වේ. දිනෙන් දින සිදුවන රිය අනතුරු නිසා සිදුවන ආබාධිත තත්ත්වයන්ද බෙහෙවින් වැඩිවෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ආබාධිත තත්ත්වය වැඩිවීමට ප්‍රධානතම හේතුවක් වන්නේ රිය අනතුරු ඉහළ යෑම හා බෝනොවන රෝග වැඩිවීමයි. කායික ආබාධ අතරින් වඩාත්ම ඉදිරියට පත්ව ඇත්තේ සුෂුම්නා අනතුරුයි. සුෂුම්නා අනතුරුවලටද හේතුවන්නේ මාර්ග අනතුරු හා උස් ස්ථානවලින් වැටීමයි. ආබාධිත වූවන් ගැන සලකා බලන විට උපතින්ම ආබාධිතවුවන් හා නිරෝගීව සිට පසු කාලයේ දී යම්කිසි හේතුවක් නිසා ආබාධයකට ලක්වීම යන කොටස් පෙන්වා දිය හැකිය. කායික වශයෙන් ආබාධිත තත්ත්වයට පත්වූවන් ද මේ අතර විශේෂ වේ. ලෝකයේ මානසික ආබාධ සහිතවූවන්, ආබාධ සහිත ළමයින්, ළමා හා යොවුන් වැඩිහිටි ආබාධිතවූවන් වශයෙන් අංශ කීපසකින්ම ආබාධිත තත්ත්වයට පත්වූවන් සිටින බව කිවයුතුය. ජාත්‍යන්තර වශයෙන් බලනවිට ආබාධිත පුද්ගලයන්ගේ අයිතීන් සුරැකීම සඳහා මහඟු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට සාමාන්‍ය මිනිසුන් භුක්ති විඳින සියලු වරප්‍රසාද ආබාධ සහිත අයටද ලැබිය යුතු බව ලොව පිළිගැනීමය.
ඔවුන්ගේ යහපත උදෙසා ලෝකයේ විවිධ අයුරින් සංවිධාන හා සමාජ සේවා ආයතන ද බිහිවී ඇත.
1996 අංක 26 දරන ශ්‍රී ලංකා රජයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ පනතෙහි උපතින්ම හෝ පසු කාලයේ හෝ ඇති වූ කායික හෝ මානසික දුර්වලතාවයන් නිසා ජීවිතයේ එදිනෙදා කටයුතු සම්පූර්ණයෙන් හෝ නැතහොත් කොටසක් හෝ තනිවම කරගත නොහැකි පුද්ගලයකු ආබාධ සහිත පුද්ගලයකු ලෙස නම් කොට ඇති අතර, ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක ආබාධිත තත්ත්වයට පත්වෙයි නම් ඒ තැනැත්තාට ද කොන් කිරීමකින් තොරව සැලකිය යුතුය යයිද ගෙන හැර දක්වා ඇත.
යම් අයකු රෝගී වූ විට හෝ මහලු වූ විට ඔහුගේ හෝ ඇයගේ කටයුතු තනිවම කර ගැනීමට නොහැකිවුවහොත් ඔහු කෙරෙහි හෝ ඇය කෙරෙහි සානුකම්පිතව සොයා බලා පිහිටවීම මහත්මා ගතියකි. ආබාධිත තත්ත්වයට පත් වූ බොහෝ දෙනකු තම ජීවිතය හැඩගස්වාගැනීම සඳහා රැකියාවල ද නිරත වෙති.
එහෙත් සාමාන්‍ය සමාජය තුළ ඇසීමේ, පෙනීමේ හා කතා කිරීමේ හැකියාව අහිමිවීම හා දුර්වලතා ඇතිවීම මානසික හෝ කායික වශයෙන් යම් යම් විකෘතිතා පැවතීම ආබාධ සහිත වූවකු ලෙස සැලකීමට හේතුවකි.
ආබාධ සහිතවූවන් පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත්වී සිටීම ඉතාම වැදගත් ය. ඒ ආබාධ වළක්වාගැනීමටත්, ප්‍රතිකාර ලබා ගැනීමටත්, පුනරුත්ථාපනය සඳහාත් යම් දැනුමක් ලැබෙන බැවිනි. සමහර අය ආබාධ සහිතවූවන් වෙත නොහික්මුණු ගති මවාපාමින් උසුළු කරමින් ඔවුන් යාචකයන් ලෙස සැලකීමටද ක්‍රියා කරති. එය ඉතා අශෝභන ක්‍රියාවකි.
කෙනෙකුගේ ජාතිය ආගම තරාතිරම වර්ණය උස් පහත් භේදය හෝ උගත් නූගත්කම නොබලා සියලු දෙනාටම හිමිවිය යුතු සමතැන සහ හිමිකම් ගැන ලෝකයේ ප්‍රඥප්තීන් රාශියක් ඔවුන්ගේ යහපත සඳහා අත්සන් තබා ඇත.
ඒ මඟින් විශාල මෙහෙයක් සිදුකරන බව ද පෙනේ. එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන මඟින් ද ආබාධ සහිතවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා දැඩි මෙහෙයක් සිදු කරයි. අද සමාජය දෙස බලන විට උපතින් ආබාධිතවූවන් මෙන්ම පසුකාලීනව යම් අනතුරකදී හෝ රෝගයක දී හෝ ආබාධයකට ලක්වූවන් දකින්නේ නම් ඔවුන්ට දිරියක් ලබාදෙමින් උදව් උපකාර කිරිම මහත්මා ගතියක් මෙන්ම සමාජීය යුතුකමක් වන්නේය.
ඡ්‍යොතිෂ ප්‍රභාෂ්වර
තිස්ස මහානාම
සටහන
තුෂාරි නේරංජා
බී.ඇල්. ප්‍රේමරත්න