වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ලොවක් විස්මිත කළ වෙදැදුරුට රජ කුමරුගෙන් වෙඩි පහරක්
මෙතෙක් කතාව
සයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් පූජකයෙකු මෙන්ම සුව කරන්නෙකු ලෙසද පෙනී සිටිමින් අනුගාමිකයින් පිරිසක් ඇති කර ගනියි. අනතුරුව තමන් දැන හඳුනාගත් රජ පවුලේ ඥාතිවරියන් දෙදෙනකුගේ මාර්ගයෙන් සාර් මාළිගයට සමීප වෙයි. ඉන් අනතුරුව හිමෝෆීලියා රෝගයෙන් බැටකන කුඩා රජ කුමරා වෙනුවෙන් යාඥා කර ඔහු සුවපත් කරයි. මේ සමගම සරීනා බිසව ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතිකර ගනියි. රජ පවුලට අත්‍යවශ්‍ය පුද්ගලයකු බවට පත් වූ රස්පුටින් එම බලය අසීමිතව අවභාවිත කිරීම හේතුවෙන් රුසියාව තුළ පමණක් නොව යුරෝපය තුළද දැඩි අප්‍රසාදයකට පත් වෙයි. රුසියාව තුළදී රජ පවුලට ඉතාමත් සමීප රදළ පැළැන්තියේ ද වෛරයට පාත්රවන රස්පුටින් තමාට එරෙහි පළමුවැනි කුමන්ත්‍රණයට මුහුණ දෙමින් 1914 දී පිහි ඇනුමකට ලක් වෙයි. නැවතත් රජ පවුලට සමීප වන රස්පුටින්ට මෙවර රදළයෙකු වන යුසොපොව් කුමරුගෙන් ආරාධනාවක් ලැබෙයි.
හරියටම දිනය 1916 දෙසැම්බර් මස 16 වෙනිදා ය. මේ දිනය වන විට රස්පුටින් පීටර්ස්බර්ග් නුවර වාසය කළ අතර, සිය දියණියන් දෙදෙනෙකු ද ඔහු සමඟ විය. ඔහුගේ වැඩිමහල් දියණිය වන මාරියා රස්පුටින් පසු කලෙක ලියන ලද කෘතියකින් පවසා ඇත්තේ සිය පියාගේ මේ ගමන යම් අවදානමක් ඇති බව තමාට වැටහුණ බවය. ඒ නිසා රස්පුටින්, යුසොපොව් කුමරුගේ මාළිගය කරා යන ගමන වැලැක්වීමට දියණියටන්ට අවශ්‍ය වී තිබුණි. මේ නිසා ඔවුන් දෙදෙනා එකතුව සිය පියා හිමෙහි ඇවිදීමට භාවිතා කරන බූට්ස් ලෙස හඳුන්වන සපත්තු ජෝඩුව සඟවා තැබූහ. මන්ද යත් මේ ආරාධනා ලැබෙන්නේ දෙසැම්බර් මාසයේ මැද භාගයේ නිසා එළිමහනේ හිම වැටෙන ශීතල දේශගුණයක් උදාවී තිබූ බැවිනි.
එනමුත් රූමත් අයිරිනා කුමරිය දැන හඳුනා ගැනීම මුල් කර ගනිමින් මේ ගමන යෑමේ දැඩි අවශ්‍යතාවයක් ඔහු තුළ ඇතිවී තිබූ නිසා රස්පුටින් කෙසේ හෝ සිය බූට්ස් යුවළ සොයාගෙන නිවසින් පිට විය. ඒ ගැන මාරියා නැමැති ඔහුගේ වැඩිමහල් දියණිය සිය කෘතියෙන් පවසන්නේ සිය පියා එසේ පිටත්ව ගිය නමුදු ඔහුගේ සිත තුළද 'මේ ගමන පිළිබඳව අල්පමාත්‍ර හෝ සැක සංකාවක් ඉපදී තිබුණු බව තමාට විශ්වාසයි' යනුවෙනි.
යුසොපොව් කුමරු සිය කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිණිස රස්පුටින් හට ආරාධනා කර තිබුණේ පීටර්ස්බර්ග්හි, මොයිකා ඇළ සමීපයේ පිහිටා තිබූ තමාට අයත් මාළිගාවක් වෙතය.
රස්පුටින් ඒ වෙත ළඟාවන විට එහි ඉහළ මාලයේ උත්සවාකාරී සංගීතයක් වාදනය වෙමින් පැවැති අතර, පහත මාලය භෝජන සංග්‍රහයකට සුදුසු ලෙසින් මැනවින් සරසා තිබුණි. මන්දිරය හොඳීන් උණුසුම් කර තිබූ අතර, මනස්කාන්ත අයුරින් ආලෝකමත් කර තිබුණේ මධුපානෝත්සවයකට ආරාධනා කරන්නාක් මෙනි.
උග්‍ර විෂක් වන පොටෑසියම් සයනයිඩ් මිශ්‍ර කේක් සහ වයින් බෝතල් මේසය මත දිදුලමින් තිබිණි.
රස්පුටින්ව උණුසුම් ලෙස පිළිගනිමින් පහත මාලය තුළට කැඳවාගෙන ආ යුසොපොව් කුමරු පැවසුවේ මිතුරන් කීප දෙනෙකු ඉහළ මාළයේ සාදයක් පවත්වමින් සිටින බවය.
ටික වේලාවකින් යුසොපොව් කුමරයා රස්පුටින්ට කේක් පිළිගන්වනු ලැබූ මුත් ඔහු පළමුවෙන් එය ප්‍රතික්ෂේප කළේය. යුසොපොව් කුමරු පසු කලෙක ලියා ඇති සිය ග්‍රන්ථයක සඳහන් කර ඇත්තේ රස්පුටින් සතුව ඇතැයි පැවසෙන ගුප්ත බලයක් නිසා ඔහු කේක් අනුභවයෙන් වැළකී සිටිනු ඇතැයි තමා බිය වූ බවය.
එහෙත් තම ව්‍යාකූලතාවය නොපෙන්වා හිඳ තව ටික වේලාවකට පසු කුමරු විසින් කේක් කැබැල්ලක් කන ලෙස රස්පුටින්ට නැවතත් ආරාධනා කෙරිණි. කුමරුගේ හිතට මහත් සැනසීමක් දනවමින් රස්පුටින් කේක් කැබැල්ලක් කෑමට කැමැති වෙයි. එපමණක්ද නොවේ ඔහු අනාරාධනයෙන්ම දෙවැනි කේක් කැබැල්ලද අනුභව කරයි. යූසොපොව් කුමරු කේක් අනුභවයේ යෙදෙන රස්පුටින් දෙස විමසිලිමත්ව බලා සිටින්නේ ඔවුන්ගේ සැලසුමේ ප්‍රකාර පළමුවැනි කේක් කෑල්ලෙන් අඩක් ශරීරගත වෙද්දීම රස්පුටින් බිම ඇද වැටිය යුතු බැවිනි.
දෙවැනි කේක් කැබැල්ලද සම්පූර්ණයෙන්ම අනුභව කළ රස්පුටින් වස යොදනු ලැබූ වයින් වීදුරුවද අතට ගත්තේ කිසිදු වෙනසක් නොපෙන්වමිනි.
පළමුවැනි වයින් බඳුන හිස් කළ රස්පුටින් දෙවැනි බඳුනද අතට ගත්තේ කිසිදු වෙනසක් නොපෙන්වමිනි. මේ ආකාරයට තවත් වයින් වීදුරු කීපයක්ම හිස් කරන රස්පුටින් අපූරු කතාවක් කියන්නේ යුසොපොව් කුමරු තවදුරටත් වික්ෂිප්ත භාවයට පත් කරවමිනි. ඔහු පවසන්නේ තමන් වැනි ගම්බද ගොවියෙකු රජ පවුල විසින් පිළිගනු ලැබීම රදළ පෙළැන්තියේ සිත් වේදනාවට හේතු වී ඇති බවය.
“මේ නිසා ඔවුන් මා හට ඊර්ෂ්‍යා කරන අතර, දැඩි ලෙස කෝපයටද පත්ව සිටිනවා. නමුත් මා මේ කිසි බලවේගයකට බිය වන්නේ නැහැ”
එසේ පවසන ඔහු තවදුරටත් කුමරුට අවධාරණය කරන්නේ සියලු උපද්‍රවවලින් තමා ආරක්ෂිත බවය. ඇතැමුන් තමාව ඝාතනය කිරීමට උත්සාහ කරන මුත් දෙවියන් වහන්සේ ඒ සියල්ල ව්‍යාර්ථ කර දමනු ලබන බවත්, දෙවියන්ගේ ශාපය ඔවුන්ගේ හිස මත කඩා වැටෙන බවත්, ඔහු පැවසීය. එහෙත් මේ ප්‍රකාශයටත් වඩා කුමරා වික්ෂිප්ත වූයේ පොටෑසියම් සයනයිඩ් දමන ලද කේක් කැබැළි දෙකක් කා වයින් වීදුරු කීපයක් පානය කිරීමෙන් පසුවත්, මේ අරුම පුදුම පුද්ගලයා නිරුපද්‍රිතව සිටීම පිළිබඳවය. වයින් පානය නිසා ඇති වූ ඉතා සුළු මත් ගතියක් හැරෙන්නට වෙනත් කිසිදු උපද්‍රවයකට භාජනය නොවූ රස්පුටින් දුටු කුමරුට සිතුණේ ඔහු මේ ආකාරයට එළිවනතුරු වුවත් කතා බස් කරමින් සිටීමට සූදානම් බවකි. එසේම කොයි මොහොතක හෝ ඔහුව එතැනට කැඳවීමට මූලික හේතුව වූ අයිරිනා කුමරිය ගැනද ඔහු විමසනු ඇතැයි යන සිතුවිල්ල යූසොපොව් කුමාරයාගේ සිත තුළ වු කලබලය තවත් වැඩි දියුණු කළේය.
එහෙත් මෙවැනි අවුල් සහගත මානසික තත්ත්වයක් යටතේ වුවද, යූසොපොව් කුමරු රස්පුටින් ඝාතනය කිරීමේ අදහස නම් සිතින් ඉවත් කර ගත්තේ නැත.
පසු කලෙක ඔහු විසින් මේ පිළිබඳව රචිත ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ තමා කිසිසේත්ම රස්පුටින්ට පණ තිබියදී ආපසු යාමට ඉඩ නොදීමට එවේලේ දැඩි ලෙස තීරණය කරගත් බවය. එහෙත් රස්පුටින්ගේ ස්වභාවය අනුව ඔහු වස පානයෙන් මිය යන බවක් පෙනෙන්නට නැති හෙයින් යූසොපොව් කුමරු තුළ ඇති වූයේ දැඩි මානසික ආතතියකි. මේ මොහොතේ ඉහළ මාලයේ සිටින සිය මිතුරන්ද දැඩි ඕනෑකමකින් රස්පුටින්ගේ අවසානය ගැන අසන්නට බලා සිටින බව ඔහු දැන සිටියේය. මේ නිසා රස්පුටින් වෙත ඉමහත් සුහදතාවයකින් යුතුව තවත් වයින් වීදුරුවක් පිරිනමන යූසොපොව් කුමරු රස්පුටින්ගෙන් මඳකට සමාව භජනය කොට ඉහළ මාලයට දිව ගියේය.
සිය මිතුරන්ගේ නොඉවසිල්ල දියුණු තියුණු කරමින් රස්පුටින්ගේ තත්ත්වයේ වෙනසක් නොමැති බව පැහැදිලි කළ යූසොපොව් කුමරා දැඩි ලෙස කියා සිටියේ ඊළඟ නිමේෂයේ තමා ඔහුට වෙඩි තබා මරා දමන බවය.
මෙසේ පැවසූ සැණින් රිවෝල්වරයද රැගෙන පහළට බසින කුමරා රස්පුටින්ට කිසිවක් සිතා ගැනීමටත් පෙර ඔහුගේ පපුවට වෙඩි පහරක් එල්ල කළේය. පපුවේ වම් පසට ළඟ සිට තැබෙන එම වෙඩි පහර හේතුවෙන් රස්පුටින් බිම ඇද වැටුණේය. එම වෙඩි හඬත් සමඟ පහතට දිව එන පිරිස අතර සිටින වෛද්‍ය ස්ටැනිස්ලාව් රස්පුටින් පිරික්සා බලා පවසන්නේ ඔහු මිය ගොස් ඇති බවය. පිරිස නැවතත් ආපසු ඉහළ මාලයට ගොඩවන නමුත් යූසොපොව් කුමරු නැවතත් පහතට පැමිණෙන්නේ රස්පුටින් නිශ්චිතවම මිය ගියාද යන්න පිළිබඳව ඔහු තුළ සැකයක් ජනිත වූ බැවිනි.
තවත් කොටසක් ලබන සතියේ...