වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
අරමුණු ජයගැනීම හා ආරක්‍ෂාව සඳහා ජයෙන්ද්‍ර රාජ බුද්ධ යන්ත්‍රය
පරදේශක්කාරී ආක්‍රමණිකයන් සමඟින් සටන් කරමින් ලංකාව සතුරු ආක්‍රමණවලින් මුදා ගෙන රට එක්සේසත් කළ පාලකයකු වශයෙන් දුටුගැමුණු රජතුමා හැඳීන්විය හැකිය.
ලෝවාමහාපාය, මිරිසවැටිය හා රුවන්වැලි මහා සෑය වැනි අග්‍රගණ්‍ය බෞද්ධ නිර්මාණ ඉදිකරමින් බෞද්ධ ආගම තම ධර්මය කරගනිමින්, දුටුගැමුණු රජතුමා දැහැමින් රට පාලනය කළේය. එහිදී, දුටුගැමුණු රජතුමා තමන්ගේ ආරක්ෂාවට හා අරමුණු ජය ගැනීම සඳහා අධිෂ්ඨානය බිඳ නොවැටීමේ මහා බලයක් ඇති “ජයෙන්ද්‍ර රාජ බුද්ධ යන්ත්‍රය” නැමැති මහානුභාව සම්පන්න ගාථා රත්නය භාවිත කොට ඇත. එතුමා යුද්ධ භූමියට පිවිසෙන අවස්ථාවේදී එය සුරයක් ලෙස දකුණු බාහුවේ උඩ කොටසේ පැලඳ සිටි අතර අනෙකුත් අවස්ථාවන්හිදී රන්පතක ලියා හිස පැලඳගෙන සිටි බව පුරාවෘත්තවල පැවසේ. එම ගාථා රත්නය නම්,
“ බුද්ධෝ තිලෝක සරණෝ
බුද්ධෝ සූරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං
බුද්ධෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං
නත්ථි මෛහං භයං සදා
ධම්මෝ තිලෝක සරණෝ
ධම්මෝ සූරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං
ධම්මෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං
නත්ථි මෛහං භයං සදා
සංඝෝ තිලෝක සරණෝ
සංඝෝ සූරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං
සංඝෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං
නත්ථි මෛහං භයං සදා “
මනා භාෂා ශක්‍යතාවයකින් හා පාලි දැනුමකින් පරිපූර්ණ දක්ෂ හිමි නමක වූ සංඝරාජ හිමියන් මේ මහානුභාව සම්පන්න ගාථා රත්නය නිර්මාණය කර ඇත. මේ ගාථා රත්නය ත්‍රිවිධ රත්නයේ ගුණ පාදක කර ගනිමින් එහි සරණ ලබා ගැනීම අරමුණු කර ගනිමින් නිර්මිතය. එහිදී “බුද්ධෝ තිලෝක සරණෝ...” යන ගාථා පාඨයෙහි අර්ථය වශයෙන්, ‘බුදුරජාණන් වහන්සේ එකම සරණ වූ සේක. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණ ම වූ සේක. මම බුදුරජාණන් වහන්සේ සරණ යමි. එහෙයින් මා හට සදා භය නැත්තේය’ යනුවෙන් දැක්විය හැකිය.
දෙවැනි ගාථා පාඨය “ධම්මෝ තිලෝක සරණෝ...”යනුවෙන් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තුන් ලොවටම එකම සරණ වන බවත්, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකයාගේ මෝහන්ධකාරය දුරලන සූර්යයාවන බවත්, මෙසේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණම වූ බවත්, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යමි. එහෙයින් මා හට සදා භයක් නැත්තේමය’ ලෙසින් අර්ථවත් වේ. “සංඝෝ තිලෝක සරණෝ...” යන ගාථා පාඨය තුළින්, ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය තුන් ලොවටම එකම සරණ වූ සේක.ඒ උතුම් මහා සංඝරත්නය ලෝකයාගේ මෝහන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ උතුම් ආර්ය මහා සංඝරත්නයේ සරණ බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණම වූ සේක. මම ඒ උතුම් මහා සංඝරත්නය සරණම යමි. එහෙයින් මා හට සදා බියක් නැත්තේම ය. යනුවෙන් ගම්‍යමාන වේ.
එදිනෙදා ජීවිතයේදී අපට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවේ. එහිදී, එම අභියෝගවලින් ජය ගැනීමටත්, ඒ තුළින් පැමිණෙන කරදරවලින් ආරක්ෂා වීමටත් මේ ගාථාව එක් වරක් හෝ සජ්ඣායනා කොට, එම කටයුත්ත ආරම්භ කිරීම සුදුසු වේ.
බෞද්ධ ආගමිකයන්ට පමණක් අනන්‍ය වූ මේ ගාථා රත්නයෙන් පිහිටක් ලැබීමට නම්, බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයන් කෙරෙහි අප තුළ පැහැදීමක් තිබිය යුතු ය. එනම්, අප අචල ශ්‍රද්ධාවකින් යුක්ත විය යුතු ය. නිදසුනක් වශයෙන්, අප කුමන හෝ සුබ ගමනක් යාමට පෙර තෙරුවන් කෙරෙහි පැහැදීමකින් යුතුව මේ ගාථාව තෙවරක් සජ්ඣායනා කොට ගමන ඇරඹීමෙන් එය අවසන් වන තුරුම ඇතිවන බාධක අනතුරුවලින් වැළකී, ආරක්ෂිතව සිටීමට හැකියාවක් ඇතිවේ.
එසේම, අප යම් සුබ කටයුත්තක් ආරම්භ කිරීමේදී අපගේ ග්‍රහ අපල විසින් ඒ සඳහා බාධක කරන අවස්ථාවන් වෙයි. එම ග්‍රහපලවල බලපෑම්වලින් මිදීමටත්, ආරක්ෂා වීමටත් තෙරුවන් කෙරෙහි පැහැදීමකින් යුතුව මේ ගාථා රත්නය සජ්ඣායනා කොට එම කටයුත්ත ආරම්භ කිරීම ඉතාමත් සුබදායක වේ.
දුටුගැමුණු රජතුමාද නිරන්තරයෙන් පිහිට ආරක්ෂාව පැතූ මේ මහානුභාව සම්පන්න “ජයෙන්ද්‍ර රාජ බුද්ධ යන්ත්‍රය” ඔබගේ නිවෙසේ හෝ ව්‍යාපාර ස්ථානයේ තැබීමෙන් භූමි දෝෂ, අණවිණ දෝෂ, අමනුෂ්‍ය දෝෂ හා ඇස් වහ කට වහ දෝෂ දුරුවී සෞභාග්‍යය උදාවේ. මෙය තඹ තහඩුවක ඇඳ ජීවම් කර සුරයක දමා කරේ පැලඳීම තුළින් ග්‍රහ අපල දුරු වී නඩු හඹවලින් ජය ලැබේ. එසේම තමාට තිබෙන සතුරු අපල දුරුවේ. තරග විභාගවලින්ද ජය ලැබේ. තවද, අපගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වී ජීවිතය සාර්ථක කර ගැනීමටත් මේ ගාථා රත්නය අපට උපකාරී වේ.
උපදෙස්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු සහකාර කථිකාචාර්ය,ගාල්ල අක්මීමන මහා විද්‍යාලයේ ධර්මාචාර්ය, රාජකීය පණ්ඩිත, දර්ශනපති
බෙන්ගමුවේ ඉන්දරතන හිමි