පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර

කර්තෘට ලියුම්
නොවැම්බර් 29, 2024

 

දරුපල ප්‍රමාද වන ග්‍රහ බලපෑම් පිළිබඳව

කඩවත සුබෝධි ඇසූ පැනයට ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග මහත්මිය ලබා දුන් පිළිතුරයි.

විවාහ වන යුවළකගේ ප්‍රධාන බලාපොරොත්තුව දරු සුරතල් බැලීමයී. විවාහයට ප්‍රථම පොරොන්දම් ගැළපීමේදී ඒ සඳහා විශේෂයෙන් අවධානය යොමු කරනු ලැබේ. නාඩි පොරොන්දම හා වෘක්ෂ පොරොන්දම ඒ සඳහා බලන අතර කේන්දර සටහන්වලද දරුපල ඇත්ද නැද්ද යන්නෙන් විමසා බැලිය යුතුය.

වෘක්ෂ පොරොන්දම දෙදෙනාම කිරි වෘක්ෂයන් වීමත්, පුරුෂයා හර වෘක්ෂයන් වී ස්ත්‍රිය කිරි වෘක්ෂයන් වීමද දරුපල ලැබීමට යහපත් වේ. දෙදෙනාම හර වෘක්ෂයන් වූ විට දරුපල නැති වීමටද ඉඩ ඇත.

නාඩි පොරොන්දමෙන් බලනු ලබන්නේ ශක්තිය ගැනය. දෙදෙනාම නාඩි දෙකක වීම යහපත් වන අතර එසේ වීම මත උපදින දරුවන් නිරෝගී වනු ඇත. ලග්න කේන්දරයක දරුපල බලන්නේ පස්වැන්නෙනි. පස්වැන්න අධිපති ග්‍රහයා තැන්පත් වී සිටින භාවය අනුව දරු සම්පත් ඇද්ද නැද්ද යන්න සොයා බැලිය හැකිය.

පස්වැන්න අධිපතියා ලග්න කේන්දරයේ 6,8,12 යන ස්ථානවල තැන්පත්ව ඇත්නම් දරුඵල අඩු වීමට හේතු වේ. පස්වැන්න අධිපති 1,4,7, 10 හෝ 5,9 යන කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක බලවත්ව සිටියොත් දරුපල ලැබෙනු ඇත.

සුබ ග්‍රහයන් ලෙස සැලකෙන ගුරු, සිකුරු, සඳු පස්වැන්නේ බලවත්ව පිහිටියේ නම් දරුවන් බොහෝ ලැබීමට හේතු වාසනා උදාකරයි.

පස්වැන්න අධිපති රාහු, කේතු, කුජ වැනි ග්‍රහයන් සමඟ පස්වැන්නේ තැන්පත් වුවහොත් දරුඵල අවම කරයි. එමෙන්ම 6, 8,12 යන ස්ථානයක තැන්පත් වීමද දරුවන් හීන කරන ලක්ෂණයකි.

පස්වැන්න අධිපතිව සිටින රාශි අධිපතියා අසුබ ග්‍රහයන් නම් එයින්ද දරුපල අවම වනු ඇත. 22 වැනි දෙකර්ණාධිපති ග්‍රහයා පස්වැන්නේ තැන්පත් වීමද, 22 වැනි දෙකර්ණානාධිපති ග්‍රහයාගේ දෘෂ්ටිය පස්වැන්නට වැටීමද, පස්වැන්න අධිපති 22 වැනි දෙකර්ණාධිපති වීමද දරුපල කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි. පස්වැන්නෙන් පස්වැන්න වන නවවැන්න අධිපති ග්‍රහයා බලවත්ව සිටීම බොහෝ දරුවන් ලැබීමට හිතකර පිහිටීමක් වන අතර නවවැන්නේ රවි, රාහු කුජ, කේතු වැනි පාපී ග්‍රහයන් දුර්වලව සිටීමද දරුපල අඩුවීමට හේතුවේ.

එමෙන්ම නව වැන්නේ සිකුරු, ගුරු, සඳු වැනි සුබ ග්‍රහයකු බලවත්ව සිටියහොත් දරුපල පිහිටීමේ භාග්‍යය උදා කරයි. පුත්‍රකාරක වශයෙන් හඳුන්වන ගුරු ග්‍රහයා දරු පලකෙරෙහි විශේෂ බලපෑමක් ඇති කරයි.

ගුරු ග්‍රහයා බලවත්ව කේන්දරයේ 1,4 ,5,7,9,10 යන ස්ථානයක තැන්පත් වීමද උසස්, බුද්ධිමත් සමාජයේ කැපී පෙනෙන දරුවන් ලැබීමට යහපත් වන අතර එම ගුරු නීච හෝ සතුරු වීමද, එම ස්ථානයක තැන්පත් වීමද දරුපල අඩු වීමට හේතු වේ. ගුරු ග්‍රහයා පාපීන්ගේ දෘෂ්ටියට ලක්වීම ද දරුපල හීන කරයි.

ජන්ම පත්‍රයෙහි 11 වැන්නේ රවි,කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන් තැන්පත් වී සප්තම දෘෂ්ටියෙන් පස්වැන්න පෙනේනම් එයද දරුපල අඩුවීමට හේතුවකි.

පස්වැන්නෙන් අටවැන්න වන දොළොස් වැන්න දුර්වල වීමත්, එහි සතුරු ග්‍රහයන් තැන්පත් වීමත් දරුපල අහිමිවීමට හේතුවේ.

අධික උෂ්ණ සහිත ශරීරයක් ඇති කාන්තාවන්ගේ ගර්භාෂයේ පිහිටන දරුවන් ගබ්සා වීමට මෙන්ම විනාශ වීමටත් එම උෂ්ණභාවය බලපාන අතර දරු සම්පත් පිහිටීමේ ප්‍රවණතාවයද අඩුවීමට හේතු වෙයි. මෙවැනි අය අධික උෂ්ණ සහිත ආහාර ගැනීමෙන් වැළකී සිටීම ඉතා යහපත් වනු ඇත.

ස්ත්‍රී කේන්දරයක මෙන්ම පුරුෂ කේන්දරයේ ද දරුපල නොමැති අවස්ථාවන් ඇති අතර සෙනසුරු ග්‍රහයාගේ නැකැතක අඟහරු ග්‍රහයා තැන්පත් වීම දරුපල නැතිවීමටද හේතු වනු ඇත.

හය වැන්න වූ කටක, වෘශ්චික, මීන යන රාශියක කුජ ශනි යෝගව සිටීමද දරුපලවලට යහපත් නොවේ. ධනු, කටක යන ලග්නවල පස්වැන්නේ කුජගේ රාශියක් වීමත් එම ස්ථානයේ රාහු සිටීමත් කුජගේ දෘෂ්ටියට ලක්වීමත් සිදුව ඇත්නම් දරුපල අහිමි වීමට හේතු වේ.

 

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

සටහන - ඉෂාරා විජේරත්න

------------------------

සුර පැලඳීම පිළිබඳව

ජයන්තා

තෙල්දෙණිය

කර්තෘතුමියනි,

අද බොහෝ දෙනා සුර පලඳිනවා දැක ඇත්තෙමි. මාගේ සමීපතම අයකු ග්‍රහ අපලවලට සුරයක් පැලඳූ බව වරක් මා හට පවසා ඇත. සුර පැලඳීමේ යම් විද්‍යාත්මක පදනමක් තිබේද? එසේ නම් එම විද්‍යාත්මක පැතිකඩ පිළිබඳ ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුබසෙත පුවත්පත මගින් නිසි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

ස්තූතියි

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.