වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
කංකාරි නැට්ටුවන්ට මඟ ඇහිරූ වලසාගේ ඉරණම
වෙනදා සන්ධ්‍යා භාගයේදී පමණක් මුලිච්චිවන වන සතුන් වස්සානය එළඹීමත් සමඟ දවස පුරා මංමාවත් දිගේ නිනව්වක් නොමැතිව සැරිසරනු දැකිය හැකිය.
එදින ද කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් හිමිදිරි පාන්දර බ්‍රහ්ම හෝරාවෙන් පිබිද හීල් දානයට පෙර හා පසු වතාවත්වල යෙදී ලැගුම් ගෙට වැඩම කොට දිග කළුවර හාන්සි පුටුවේ හරිබරි වූවා පමණි. වඳුරු මුහුණු හැඩැති දිග බස් රථයක් පන්සලේ මහ ගේට්ටුව ඉදිරිපිට නතර කෙරිණි. එතෙක් බස් රථය පසුපස හඹා ආ බලු හමුදාවේ බිරිල්ල නොනවත්වාම පැවතිණි.
“ඩිංගිරි බණ්ඩො මේ අරුමැක්කේම කාණ්ඩයක් අපේ පන්සල බලන්නට ද කොහෙද ඇවිල්ල වගේ... ගිහින් මහ ගේට්ටුව ඇරල ඒ බස්එක පන්සල්වත්ත ඇතුළට ගන්න.”
“එහෙමයි හාමුදුරුවනේ”
බසය පන්සල් බිමට ඇතුළු කළ පසු එතෙක් බුරමින් සිටි බලු රෑන ද විසිර යන්නට විය.
“අවසරයි අපේ නායක හාමුදුරුවනේ... අපි හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් එක්කරගෙනයි ආවේ. මම එහේ සෞන්දර්ය විෂය භාර ගුරුතුමා. අපි අයිති බස්නාහිර පළාතටනේ... අපට ඕනෑ මේ පැත්තෙ ‘කොහොඹ කංකාරිය’ නැටුමත් එහි මූලික වත්පිළිවෙත් කරන හැටිත් බලාගන්න.”
“ඔව් ඔව්. මේ දරුවන්ට ප්‍රායෝගික අත්දැකීමක් විඳගැනීමට අවස්ථාවක් තියෙන්නත් ඕනෑ නේන්නම්... එහෙනම් මේක අධ්‍යාපන චාරිකාවක්”
“එහෙමයි හාමුදුරුවනේ”
“ඉතින් මහත්තයෝ..........කොහොඹ කංකාරිය මුළු රැයක් එළිවෙනකම්ම තියෙන්න ඕනනෙ”
“ ඒකට කමක් නැහැ හාමුදුරුවනේ. ඒකට අපි සැමදෙනාම සූදානම් වෙලයි ආවේ. අනික බෙර, දවුල්, තම්මැට්ටම් ආදී සියලු වාද්‍යභාණ්ඩ අරගෙනයි ආවේ...”
“අපේ කාණ්ඩෙ විසිදෙදනෙක් ඉන්නවා. විභාගෙට තියෙන හින්ද කංකාරිය බලන්නම ඕන හාමුදුරුවනේ...”
“හොඳයි, ඉතින් මමත් මේ ළමයින්ට උදව් කරන්න එපායැ......” දැන් ගමන් මහන්සිත් ඇතිනෙ. ඔය වාද්‍ය භාණ්ඩ බණමඩුවෙ තියලා. පහළ දොළෙන් නාල කියලා පිරිසුදු වෙලා. අර පහළ වැවෙන් නෙළුම් මලුත් කඩාගෙන බෝධියටයි, විහාර ගෙටයි වන්දනාමාන එහෙම කරල ආපුකාරණය ඉෂ්ඨ සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරල එන්න... ඩිංගිරි බණ්ඩෝ අර පහළ උපාසක උන්දලෑ ගෙදර ඇත්තොත් උයන්ඩ පිහන්ඩ උදව් කරගෙන මේ ඇත්තන්ට තුන්වේලම හොඳින් සප්පායං වෙන්ඩ පංකාදු පහට කෑම ටික පිළියෙල කරල දෙන්ඩ ඕන. ඉගෙන ගන්න තරුණ ළමයි නොවැ.”
උදේ ආහාර කිස නිම කළ ආගන්තුක පිරිසට කොණ්ඩදෙණිය පන්සලේ ඓතිහාසික ස්ථාන සියල්ල නැරඹීමට ඉඩ ප්‍රස්තා සැලසිනි. කොණ්ඩදෙණිය ගම පුරා ද ඇවිද එහි පරිසරය විඳ ගැනීමට එම පිරිස සමත් විය. දිවා ආහාරයෙන් පසු කණ්ඩායමේ සියලු දෙනා අප හිමියන් නැවත මුණගැසුණි. කොහොඹ කංකාරිය එදින රාත්‍රිය පුරා කොණ්ඩදෙණිය පන්සලේ පවත්වන පුවත ගම පුරා ලැව්ගින්නක් සේ පැතිරිණි.
“අවසරයි අපේ හාමුදුරුවනේ... අද රෑ එළිවෙනතුරු කොහොඹා කංකාරිය බලන්නට ඕන් අපේ අය දැන්ම සූදානම් වෙලා.” ගම්මු පැමිණ කීහ.
“බොහොම හොඳයි. මාත් ඇත්තටම ආසයි ඔය කංකාරි නැටුමට. මගේ ගෝලයන් කිහිප දෙනෙක් යාපහුවේ ඉන්නවා. මම එයාලට පණිවිඩයක් යැව්වා. අද හැන්දෑ කොරේ ඒ අයගේ වාද්‍ය භාණ්ඩත් රැගෙනම එයි. උන්දැලා ගැටබෙර ගහන්න උපන් හපන්නු. මගේ ශාන්ති කර්මවලට එක්කරගෙන යන ගුරුන්නාන්සේලා දෙන්නෙක්ටත් එන්ඩ කියල පණිවිඩේ යැව්වා. ඒ අය තව ටිකකින් කංකාරියට අවශ්‍ය කළමනාත් රැගෙන ඒවි... ඩිංගිරි බණ්ඩෝ, අර ලොකු කෙසෙල් කැන කපපු ගස්වල බඩේ උඩපතුරු සුද්ධ කරලා තියන්න. ඒ අය අවශ්‍ය විදියට ඒවා සකස් කරගනියි.”
“එහෙමයි හාමුදුරුවනේ”
“මේ ළමයි හොරණ ශ්‍රීපාලියෙ කිව්වා නේද?
“එහෙමයි නායක හාමුදුරුවනේ”
“ඔය ශ්‍රීපාලි සෞන්දර්ය ආයතනය ගොඩනඟන්න මුල් වුණේ විල්මට් පෙරේරා මහත්තයා. එයා හොඳ ධනවතෙක්. මම එයාව හොඳටම අඳුනනවා. ඉතින් ඔය දරුවො දැන් ඉගෙන ගන්න ආයතනයට ‘නම’ හදල දුන්නෙත් ‘නැකත’ හදල දුන්නෙත් මම” ඒක නිසා ඔය ආයතනය කවදහරි විශ්වවිද්‍යාලයක් බවට පත්වෙලා දේශදේශාන්තරවලත් ප්‍රචලිත නමක් ගන්නවා නිසැකයි... මම හොරණ ගිය දවසක විල්මට් මහත්තයාට (ආදි කර්තෘ)මම කිව්වා, රන් තැඹිලි ගහකින් පැහුණු ගෙඩියක් කඩාගෙන එයින් තෙල් ටිකක් හිඳවලා ගන්න, මම ඒක ජීවම් කරල ශ්‍රීපාලියට මුල්ගල තියන්න හදල දෙන්නම් කියලා.
ඉතින් අපි ඇවිදගෙන යනකොට උස රන්තැඹිලි ගහක් තියෙනවා දැක්කා. ඒත් ඒ උස ගහට ගිහින් පැහිච්ච තැඹිලි ගෙඩියක් කඩාගන්න අයකු සිටියේ නැහැ... ඉතින් එතුමා හරි අසරණ වුණා. මට පසඟ පිහිටුවලා වැඳලා බැගෑපත්ව කිව්වා, එච්චර උස රන්තැඹිලි ගහකට මේ වෙලාවේ ගිහින් කඩන්න කෙනෙක් නැහැයි කියලා. මට එතුමා ගැන දුක හිතුණා. මම කිව්වා කාරි නැහැ මහත්තයෝ අපි එතැනට යමුකෝ මන්තරවල බලයත් ඔබතුමන්ලාට බලන්න අවස්ථාවක් සලසලා දෙන්න පුළුවන්නේ කියලා. එතුමාත් මහත් කුතුහලයෙන් බලාගෙන හිටියා.”
සීලරතන හිමියන්ගේ මන්තරය වාර ගණන පිරෙනවාත් සමඟ රන්තැඹිලි ගස විල්මට් පෙරේරා මහතාගේ අතේ උසට නැවී ගියේය. පුදුමයෙන් මඳක් පසුපසට ගිය ඒ මහතා පසුව හොඳට පැහුණු ගෙඩියක් කඩාගත්තේය. රැස්ව සිටි සේවකයෝ ඇතුළු පිරිස මහත්සේ පුදුමයට පත්වූහ.
ඒ රන්තැඹිලි ගෙඩිය හිඳවා ගත් තෙල් ටිකක් ජීවම් කර හොරණ ශ්‍රීපාලියට මුල්ගල තැබිණි.
විෂයය භාර ආචාර්යවරයාත් සිසුදරුවනුත් තමන් ඉගෙන ගන්නා ආයතනයේ ඉතිහාස තොරතුරු මහත් සොම්නසින් අසා සිටියහ.
“මේ කොහොඹ කංකාරිය මට කටපාඩමින් කියන්න පුළුවන්. මේක උඩරට ගුරුපරම්පරාවෙන් පැවත එන්නක්.
දරුවනේ, මේක බලගතු පින්බිමක්. අපි දේව පූජාවක් ලෙස කංකාරිය හරියට කරමු.”
ප්‍රථමයෙන් අප හිමියන් පැමිණි පිරිස සමඟ විහාර මන්දිරයත්, බෝධියත් වන්දනාමාන කොට, ඉන්පසු දේවමන්දිරයට ද පිවිස සියලු පහන් දල්වා මුළු දේව මණ්ඩලයටම ආරාධනා කොට කංකාරිය ඇරඹීම සඳහා අවසර ඉල්ලා සිටිසේක.
ගතවූයේ මොහොතකි. සියලු දේව ප්‍රතිමා ඉදිරිපස දල්වා ඇති පහන් එක්විට ඒකාලෝක වී ප්‍රභාෂ්වර වන්නට විය. ඩිංගිරි බණ්ඩා සුවඳදුම් දේව මන්දිරයට ඇල්වීය. සමන්පිච්ච මල් සුවඳක් දේව මන්දිරය තුළ සිට දසත පුරා පැතිර යන්නට විය.
කොහොඹ කංකාරිය බැලීමට හුළු අතු පත්තුකරගෙන කොණ්ඩදෙණිය ගමේ ද අවට යාබද ගම්වලින් ද විශාල පිරිසක් සන්ධ්‍යාභාගය එළැඹෙත්ම කොණ්ඩදෙණිය පන්සලට එක්රොක් වන්නට වූහ. පැට්‍රල් මැක්ස් ලාම්පු රැසකින් පන්සල් භූමිය ඒකාලෝක වූයේ දායකයන්ගේ මැදිහත්වීමෙනි. ඊට අමතරව එක පෙළට දැල් වූ තැඹිලි කෝම්බ පහන්වලින් පන්සල් බිම ආලෝකවත් විය.
දායක භවතුන් අතින් නරඹන්නන් පිරිසට ආගන්තුක සත්කාර සිදුකෙරිණි. රාත්‍රිය මුළුල්ලේම තේපැන් සංග්‍රහය නොනවත්වාම පැවැත්විණි. පැමිණී පිරිස වික්ෂිප්තව පුද පූජාව බලා සිටියහ. බෙරහඬ දසත පුරා විහිදුණි.
ශ්‍රීපාලියේ සිසු දරුවෝද තම තමන්ගේ අත්දැකීම්වලට අනුව නැටුම් විලාසිතා දක්වමින් බෙර වයමින් එම කාර්යයට එක්වූහ.
හිමිදිරි පාන්දර වෙත්ම සියලු කටයුතු නිමවා පිරිස හිමි දෙපාමුල වැඳ ඉතා සොම්නසින් යුතුව යාපහුව පන් සලට කෙටිමඟක් ඔස්සේ පාගමනින් ගොස්, නැවත ඒමට අපේක්ෂා කළහ. ඒත් අතරමගදී වලසකු පාර මැද හමුවීමත් සමඟ බියට පත්වූ පිරිස ආපසු හැරී කොණ්ඩදෙණිය පන්සලට වෙත දිව ආහ.
එවිට අප හිමියන් රිදී කඩුවක් කණ්ඩායම භාර තරුණ ආචාර්යවරයාට දී “ඔයගොල්ල ආපසු යන්න, වලසා පාරේ හිඳියි. කඩුවෙන් බෙල්ල වෙන් වෙන්න පහර දෙන්න. බාධකය ඉවත්වේවි. කරන්න දෙයක් නැහැ... පූර්වකර්මයක් තමයි ඌට පටිසන් දීල තියෙන්නෙ...”
අද ද ඒ වලසාගේ හිස කොණ්ඩදෙණිය පන්සලේ දක්නට ඇත. එය පසුකාලීනව පිල්ලි යැවීමට භාවිත කරන්නට ඇතැයි සිතිය හැකිය.
වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවට පැමිණි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ උපාධි අපේක්ෂක විද්‍යාර්ථීන් රැසකට අවසන් වසර පර්යේෂණය සඳහා පුරාවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක තොරතුරු මෙන්ම කොණ්ඩදෙණියේ ඓතිහාසිකත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමට මේ සාධක උපයෝගී කරගෙන උන්වහන්සේ නොපැකිල උදව් උපකාර කරන ආකාරය ඉතා අගනේමය. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට සීමා නොවුණු සමාජ සේවයක් අනුරුද්ධ නායක හිමියන් විසින් සිදු කරන්නේ ද යන්න සැබවින්ම දන්නේ අප හිමියන්ගේ සමීපතමයන් කිහිප දෙනකු පමණි.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ