කිරි අම්මාගේ උදවුවෙන් පණ දෙන මළ පිල්ලිය

නොවැම්බර් 15, 2024

තමන් හට වින කෙටූ සතුරන් කෙරෙහි අසීමිත වෛරයෙන් පෙළෙමින් සිටි යකැදුරෙකි. හෙතෙම කල්යල් බලා තම මෙහෙයුමට අවශ්‍ය සැලසුම ක්‍රියාත්මක කළේ ය. එහි පළමුවැනි අදියර වූයේ ළඟදී විවාහප්‍රාප්ත වීමට නියමිතව සිටින තුන් කුලුඳුල් කන්‍යාවක් පිළිබඳව සොයා බැලීමය.

යකැදුුරු තැනට එවැන්නියක් ගැන තොරතුරු දැන ගන්නට ලැබුණු පසුව ඌරෙකුගේ දළයකින් බුලත් කොළයක ඇයගේ නම ලියා, රූපයක් අඳීනු ලැබ, එය ප්‍රවේසම් සහගතව තබා ගැනිණි. ඒ සමගම ඇයගේ හිස කෙස් රොදක්, නියපොතු කැබළි කීපයක්, ඇඳී වතක හෝ පොරෝනයෙන් නූල් කැබළි කීපයක්, සහ ඇය විසින් සපන ලද විට ස්වල්පයක්ද එකතු කර ගත්තේ ය. මේ සියල්ල වෙනත් බුලත් කොළයක දවටා ඇගේ නිවසේ එළිපත්ත යට වළලනු ලැබීය. ඇය ඊට උඩින් පැන ගිය වහාම එය යකැදුරු තැන අතට පත් වුයේ ය.

තම සැලැස්මේ ආරම්භය සාර්ථකව නිමකර ගත් හෙතෙම මේ කුඩා පාර්සලය දින තුනක් තිස්සේ දෙබරයක තබා බැඳ තැබීය. එය විශේෂඥ දැනුමකින් සිදුකළ යුතු කාර්යයක් වුවද, නිසි අයුරින් ඉටුකර ගැනීමට ඔහු සමත් විය.

දින තුනක් ගතවීමෙන් අනතුරුව ඔහු මුහුණ දුන් ඊළඟ ගැටලුව වූයේ දිමියන් සිටින තුඔසක් සොයා ගැනීමය. ඉක්බිති එවැනි ස්ථානයක් හමු වූ හෙයින් යකැදුරු තැන විසින් දෙබරයේ තැබූ පාර්සලය දිමියන් සිටින තුඹස තුළට දමනු ලැබීය.

මේ කටයුත්ත නිමකළ යකැදුරු තැන බලා සිටියේ තරුණිය විවාහප්‍රාප්ත වනතුරුය. විවාහ ප්‍රාප්ත වීමත් සමඟ මේ සියලු ගුරුකම්වල බලය ඇය කෙරෙහි ආධිපත්‍යය පතුරුවන්නට පටන් ගනී. එහෙත් මුලදී එය ඇයගේ මනස අභ්‍යන්තරයේ සිදු වන්නක් විනා භෞතිකව දක්නට ලැබෙන්නක් නොවේ.

යකැදුරු තැන හොඳීන්ම දන්නා පරිදි විවාහයෙන් පළමු මාසය ගතවෙත්ම, ඇය සිහිනයෙන් මස් වැදලි දකින්නට පටන් ගනී. ඊළඟ මාසයේදී ඇය දකින්නේ මුදවපු කිරි සහ බත්ය. ඊළඟ මාසයේදී සාමාන්‍ය ස්ත්‍රියකට ඇති නොවන ආකාරයේ භයානක දොළදුක් ඇතිවීම නිසා ඇය මහත් පීඩාවන්ට ලක්වෙයි.

එහෙත් ඇයගේ දරු ගැබට සිව්වැනි මාසය වන විට මේ ගුරුකම්වල ප්‍රතිඵලය ඇයගේ සිරුරෙන්ද විද්‍යාමාන වෙයි. මුළින්ම සිදුවන්නේ ඇයගේ තනපුඩු අසාමාන්‍ය ලෙස තද කළු පැහැ ගැනීමය. ඉන්පසු ඒවායේ බිබිලි හට ගත්නේ ඇයට වේදනාවක්ද ඇති කරවමිනි. පස්වැනි මාසයේ සිට ඇය හේතුවකින් තොරව කෙට්ටුවීමට පටන් ගනී.

නවවැනි මාසය ආරම්භ වෙත්ම තවත් භයානක සිදුවීමක් ආරම්භ වෙයි. එනම් ගැබ තුළ සිටින ළදරු ආත්මයට යක්ෂයකු ආරූඪ වීමය. ඇතැම් ජනකතා සහ මූලාශ්‍රවල සඳහන් වන පරිදි කිරි අම්මා නමින්ද දේවතා විශේෂයක් හිඳ තිබේ.

පතපොතෙහි කියැවෙන පරිදි කුස තුළෙහි වූ ළදරු කළලයට මේ යක්ෂ ආත්මය ආරූඪ වනු ලබන්නේ මේ කිරි අම්මා දේවතාවියගේ උදව්වෙනි.

අවසානයේ තරුණ කාන්තාව විසින් මළ දරුවෙකු ප්‍රසූත කරනු ලබන අතර, ඒ මළ දරුවා වෙසින් සිටින්නේ යක්ෂයෙකි. මේ සිද්ධි දාමය ඉතා හොඳීන් දන්නා යකැදුරා මළ සිරුර සොහොනෙහි දමන තුරු බලා සිටින්නේ ඉතා භයංකාර සහ සංකීර්ණ ජීවමක් සඳහා අවශ්‍ය සියලු අඩුම කුඩුමද සූදානම් කර ගනිමිනි.

එදින රාත්‍රියේ ඉතා හොඳීන් ස්නානය කොට පිරිසිදු වන යකැදුරු තැන ගෙලෙහි රතු මල් දමක් පැලඳ, සොහොනෙහි වූ මළ දරුවාගේ මිනීවල අසලට යයි. සොහොනෙහි කට්ට කුමන්ජල්, සඳුන්, කපුරු සහ පහන් දල්වා ගිනි කබලකින් දුම්මල ගසයි. අනතුරුව මිනීවල ඉදිරිපිට රතු රෙදි කඩක් බිම එලා ඒ මත හිඳගෙන මන්ත්‍ර ජප කරන්නට පටන් ගන්නේ මහ සොහොන් යක්ෂයාට පිදේනි පුද කරමිනි. පිදේනි දී අවසන් වූ පසු සැණින් මහා සොහොන් යක්ෂයා බැඳ ගන්නා යකදුරු තැන ඊළඟට ප්‍රවේශමෙන් මිනී වළ හාරා ළදරු මළ සිරුර ගොඩගනී.

ඉන්පසු මළ සිරුර ගලායන දිය පහරක් අද්දරට ගෙන යන හෙතෙම එම මළ සිරුර ගල් පොත්තක් වැනි ස්ථානයක තබා මිසර ජාතිකයින් කරන්නා සේ මේ මළ සිරුරේ බඩ පලනු ලැබේ. ඉන්පසු බෙහෙත් ගැල්වීමකට සූදානම් කරන්නාක් මෙන් මළ සිරුරේ ඇති බොකු බඩවැල් ආදිය ඉවත්කර සිරුර අභ්‍යන්තරය හාල් පිටිවලින් පුරවා, අනතුරුව විවෘත කළ සිරුර රිදියෙන් කළ කම්බිවලින් මසනු ලැබේ. මේ සියල්ල නිම කිරීමෙන් අනතුරුව කිරි සමඟ හඳුන් කුඩු මිශ්‍ර කොට ඒවා මළ සිරුරේ ආලේප කරනු ලැබේ.

මින් අනතුරුව කළයුතු වතාවත් එතැනින් අවසන් නොවේ. මක්නිසාද මෙසේ සකස් කරන ලද මමියට රසදිය පෙවීමට ඇති බැවිනි. රසදිය පෙවීමෙන් අනතුරුව චාරිත්‍රනුකූලව මමියෙහි හිසෙහි මදුරාසි තලප්පාවක් බඳීනු ලැබේ.

මේ තලප්පාව කොටි සමකින් ඔතනු ලබන අතර, විරුද්ධවාදියාගේ නමෙහි මුලකුරු ඒ මත සත්ත්ව රුධිරයෙන් තෙමනු ලැබූ ඌරු දතකින් ලියයි. එසේ සකස් කරන ලද මළසිරුර යළිත් සොහොනට රැගෙන එන යකැදුරා මහ සොහොන් යක්ෂයා ඇතුළු සියලු යක්ෂයන් සඳහා ගොටු නවයක් තබා පිදේනිය ඔප්පු කරයි. ඉක්බිති ඔහුගේ අධීක්ෂණය යටතේ තුන් දිනක් මළ සිරුර සමඟ හිඳ සියලු පූජාවන් සොහොනේදී ඔප්පු කරයි. ජප කරන ලද නුලක් මළ මිනියේ අතක බැඳීමෙන් යකැදුරුතැන සොහොනේ චාරිත්‍ර නිම කරයි.

ඊළඟ අදියර ඔහු විසින් ආරම්භ කරනු ලබන්නේ හොඳින් අතුපතු ගා කහ දියර ඉස පිරිසිදු කර ගන්නා පාළු ගෙයක් තුළය. එහි යන්ත්‍ර මන්ත්‍ර ජීවම් කිරීම ආරම්භ කරන්නේ රතු රෙද්දකින් වසන ලද පුටුවක් පූජාසනය ලෙස භාවිත කරමිනි. දල්වන ලද තෙල් පහන්, මල් බුලත්, දල්වන ලද හඳුන් කපුරු කට්ට කුමංජල් ආදිය තබා ඒ මධ්‍යයේ ළදරු මළ සිරුර හිඳවා තබනු ලැබේ.

මීට අමතරව මිනිස් අතක් ස්පර්ෂය නොලද කිකිළි බිත්තරයක්ද, කුකුළකුගේ කරමලක් සහ අමු මස් කැබැල්ලක්ද, මල් වර්ග නවයක්ද පුටුව මත තැබෙයි.

මේ සියල්ල නිසි පරිදි පිළිවෙල කිරීමෙන් අනතුරුව බිම එලන ලද පිරිසිදු සුදු රෙදි කඩක වාඩිවුණ යකදුරු කුඩා ඊතලයක් සහ දුන්නක් ලෙළවමින් මන්ත්‍ර ජපකිරීම ආරම්භ කරයි.

මේ අයුරින් පැය කීපයක් එක දිගට මන්ත්‍ර ජපකිරීමෙහි යෙදෙන යකදුරා නිසි මොහොතේදී සුවිශේෂ මන්ත්‍රයක් ජපකොට මළ සිරුරේ මුහුණට පිඹියි. මේ අවස්ථාවේදී එතනට පැමිණෙන සොහොනට අධිපති යක්ෂයා විසින් එතෙක් මමියක් බවට පත්ව ඇති ළදරු මළ සිරුර භයානක යක්ෂයකු බවට පත් කරයි.

යක්ෂානුභාවයෙන් පණ ලබන මළ සිරුර “හූ” හඬ නගමින් නර්තනයක යෙදෙයි.

මේ අවස්ථාවේදී ඉනේ රඳවා ගෙන සිටින ජීවම් කළ වේවැලක් අතට ගන්නා යකැදුරු දරුවා බිම දමා එයින් මේ යක්ෂ ආත්මයට පහර දෙයි. එසේ පහර දෙන්නේ යකැදුරාට අවශ්‍ය නමක් කියන ලෙස පවසමිනි. යකැදුරාට අවශ්‍ය වන්නේ පුද්ගල නාමයක් නොව, “මළ පිල්ලියා” යන නම මළමිනිය ලවා කියවා ගැනීමය. පුරා වසරක පමණ කාලයක් තිස්සේ සිදු කෙරුණු යකදුරුගේ වැඩ පිළිවෙලෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ මේ අන්දමට මළ සිරුර විසින් “මළ පිලලියා” යයි කියා කෑ ගස්සවා ගැනීමය.

මෙතැන් සිට ඔහුගේ අණසකට අනුව ක්‍රියාත්මක පිල්ලියක් නිර්මාණය වී අවසන්ය.

මෙතැන් සිට යකැදුරුතැනගේ අණට කීකරුව කටයුතු කරන පිල්ලිය මැදියම් රැයේ ගම්මානය මධ්‍යයට ගොස් ඇඟ කිළිපොලා යන අයුරින් “හූ” තබයි.

ඉක්බිති යකැදුරු තැනගේ විරුද්ධකරුගේ නිවසට ඇතුළුව එහි සිටින්නන් මරා දමයි. නොඑසේ නම් ගෙහිමි කතකට ආරූඪ වෙයි. කොටින්ම යකදුරාට අවශ්‍ය පරිදි සියලු බිහිසුණු විපත් ඇති කිරීමට මේ මරු පිල්ලිය දැන් සූදානම්ය.

අප විසින් ඉහත දක්වන ලද්දේ මන්ත්‍ර ශාස්ත්‍රයෙහි කෙළ පැමිණියන්ට පමණක් කළ හැකි ඉතා බිහිසුණු පළිගැනීමේ ක්‍රම වේදයකි. මන්ත්‍ර ශාස්ත්‍රය අරබයා ලියන ලද පොත පත තුළද පිල්ලි යැවීම අරබයා සවිස්තරාත්මක තොරතුරු සොයා ගැනීමට නොමැති බව මේ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ මානව විද්‍යාඥයෝ පවසා තිබේ.

(තවත් තොරතුරු ලබන සතියේ)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.