වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
සිතූ පැතූ සම්පත් ලබාදෙන කප්රුක් පූජාව
මෙරට පමණක් නොව විදෙස් රටවල ද පිහිටි බෞද්ධ සිද්ධස්ථානවල සිදුකෙරෙන මහත් ආනිසංස ලැබෙන පූජාවක් වන කඨින චීවර මහා පූජාව ඔක්තෝබර් පොහොය දිනයේ සිට නොවැම්බර් පොහොය දක්වා වූ එක් මාසයක් තුළ එකම දිනයකදී එක්වතාවක් පමණක් පවත්වනු ලබන මහා පින්කමකි. කඨින චීවර පූජා පින්කම්, කඨින චීවර පූජාව වප්පුර පසළොස්වක පොහොයේ සිට ඉල්පුර පසළොස්වක දක්වා වූ කාලය චීවර මාසය ලෙස සැලකේ.
එබැවින් කඨින පූජාව සිදුකරන්නේ එම මාසයේදීය. කඨින පූජා පෙරහර පිටත්ව අරුණ නැඟෙත්ම පැමිණිය යුතුය. එම පෙරහැර පිටත්වීමට පෙරදින විහාරස්ථානයේ සර්වරාත්‍රික පිරිත් දෙසුමක් ද පැවැත්වේ. කඨින චීවරය රැගත් පෙරහර විහාරස්ථානයෙන් හෝ දායක දායිකාවන් විසින් භාර ගෙන පිටත්වන පෙරහර වීදි සංචාරය කිරීමෙන් හෝ ගම වටා සංචාරය කිරීමෙන් සෞභාග්‍යය ගෙන දෙන්නක් වන අතර කරදර, බාධක, හිරිහැර දුරලා ගමට නගරයට සෙතශාන්තිය හා රෝගාබාධ දුරලන බව ද කියති.
කඨින පූජාවේ සුවිශේෂත්වයක් වන්නේ කප්රුක් පූජාවයි. එම පූජාවේ විශේෂත්වයක් වන්නේ සිතූපැතූ සම්පත් ලබා දෙන දිව්‍යමය වෘක්ෂයක් ලෙස සැලකීමයි. ගොරක ගසක, කොස් ගසක හෝ එවැනි ගසක අත්තක් කපා ගෙන කඨින පූජාව පවත්වනු ලබන විහාරස්ථාන ශාලාවේ එම අත්ත සවිකර එහි දායක දායිකාවන් ඇතුළු පින්වතුන් ගෙනෙන පූජාභාණ්ඩ සවිකර හෝ එල්ලා හෝ තැන්පත් කර කඨින පූජා කප්රුක සාංඝික කර පූජා කරති. මේ කප්රුකට තබන සියලුම පූජාවන් කඨින චීවර පූජාව කරන විට පූජාවන බැවින් ලැබෙන ආනිසංස බොහෝය. එමෙන්ම කප්රුකට ලැබෙන සියලුම පූජා භාණ්ඩ කඨින චීවරය පූජාකරන ස්වාමීන් වහන්සේට අයත් වේ.
එම ස්වාමීන් වහන්සේ විසින් ආගන්තුක හා වස්වාසී ස්වාමීන් වහන්සේ හට අවශ්‍ය පරිදි පිරිකර පූජාකර තව තවත් ආනිශංස අත්කර ගනී. සම්මා සම්බුදුරජාණන්වහන්සේට කරනු ලබන පූජාවන් නිසා නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ විඳීමට හේතුවක් වේ. කප්රුක පූජා කිරීමත් සසර නිවන් දකිනා තුරු භවභෝග සම්පත් ලැබීම, සිතුපැතූ සම්පත් දෙන ආකාරයටම තමන්ට ද කප්රුක සපලවීම, නොයෙක් ආකාරයේ පි‍්‍රයජනක කෑමබීම හා වස්තු ලැබීම, තුන් ඍතුවටම තමන් කැමැති සැප සම්පත් ලැබීම කිසිම උපන් ජාතියක අපායේ නොඉපදීම හා නිවන් අවබෝධ වීමත්ය.
බෙහෙත් පූජා කිරීම
ලෙඩ රෝගවලින් වැළකී දීර්ඝායුෂ ලැබීම, බලවත් ශරීර ශක්තියක් ඇතිවීම, තමාගේ බලය පැතිරීම, ශරීරය නිසි සෞඛ්‍ය තත්ත්වයකට පත්වීම, තමන්ගේ කීර්තිය පැතිරීම සහ නොයෙක් ආකාරයේ සතුරන්ගෙන් ආරක්ෂා වීමද වේ.
ආපදාවලින් වැළකීම වැටීම්, අත්පා කැඩීම, ඇස් අන්ධවීම උපන් හැම ආත්මයකදීම බොහෝ ගරු බුහුමන් ලැබීම හා අපි‍්‍රයයන් හා එක්වීම මෙන්ම පි‍්‍රයයන්ගේ වෙන්වීමේ දුක අත්කර නොසිටී.
සුවඳදුම් පූජා කිරීම
සුවඳදුම් පූජා කිරීමෙන් ශරීරයේ පවතින අධික දුර්ගන්ධය ඉවත්වී සුවඳ විහිදෙන ශරීරයක් බවට ද පත්වේ. තමන් කියන වචනය අසා සිටින්නන්ට පි‍්‍රයවේ. තම මුවෙන් පිටකරන වචනය සත්‍යාවාදී යථා කියා පිළිගැනීමකට ලක්වේ. සංඥාවක් ලැබෙන අතර සමාධි වැඩීමට හැකිවේ. රෝගාබාධවලින් වැළකී නිරෝගීතාවට පත්වේ. වාසනාව උදාවේ.
වතාවත් කිරීම
වතාවත් කිරීමේ ආනිසංසයෙන් සසර වසනා තුරු භවභෝග සම්පත් ලැබේ. වනාන්තරයක ගියද කිසිම කරදරයකට පත්නොවේ.
දෙව්ලොව දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබේ. නොයෙක් අයුරින් ආයුධවිපත්වලින් හා අතුරු විපත්වලින් ආරක්ෂාවීමට ලැබීම, වා, පිත් සෙම් ආදි රෝගවලින් වැළකීම, උපන් සෑම ආත්මයකදීම ශරීරය මනා රූප ශෝභාවක් ඇතිවීම, තමන් කැමැති සැප සම්පත් ලැබීම කායික හා මානසික පීඩාවලින් වැළකීම, කොඩිපූජා කිරීමෙන් මහත් ජය අත්වීම, ඇත්, අස්, රිය, පාබල සහිත රජ සම්පත් ලැබීම, ලබන ආත්මවලදී සැමට පි‍්‍රයමනාපය ලබාදෙමින් බැබළීම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් ලැබීම. වතාවත් කිරීමෙන් කායික මානසික පීඩාවලින් වැළකේ. උපන් ආත්මවලදී තම ශරීරය පැහැපත් මනා රූප ශෝභාවකින් යුක්ත වේ.
කොට්ට, මෙට්ට ඇඳ ඇතිරිලි පූජා කිරීම
උපන් සෑම ආත්මයකදීම බුහුමන් ලැබේ. රූප ශෝභාව සහිත ශරීරයක් ඇතිවේ. ප්‍රඥාව ලැබේ. ලෙඩ රෝගවලින් වැළකී සියලු දේ කිරීමට ශක්තිය, ධෛර්යය ඇතිවේ. ඇතිවන වාපිත්ආදි සෙම් රෝගවලින් වැළකීමට හැකිවේ.
වටාපත් වැනි අතු පූජා කිරීම
කිසිම ජාතියකදී ශීත උෂ්ණයකින් ශරීරයට පීඩා කරදර ඇති නොවීම, ශරීරයට දැවිලි, වේදනා උෂ්ණ ඇති නොවීම, චිත්ත පීඩා ඇති නොවීම, පතන බෝධියකින් නිවන් සම්පත් ලැබීම ද වේ. කඨින පූජාවක පුණ්‍ය සමාපත්තිය බලවත් වේ. කඨින චීවරය ප්‍රධාන කොට සැදැහැවතුන් තම තමන්ට හැකි පමණින් නූල් බෝලයේ පටන් ඉදිකටුව මෙන්ම සෑම දෙයක්ම පූජා කරනු ලබන්නේ සැදැහැ සිතිනි. ඉදල්, කොසු, පාපිසි, විදුලි බුබුළු ඇතුළු අවශ්‍යවන සෑම සියලු දෙයක්ම පූජා කරති. ස්වාමීන් වහන්සේලා උදෙසා බුදුරජාණන් වහන්සේගේ අනුදැන වදාළ වස් විසීම ආරම්භ කරනු ලබන්නේ ඇසළ පොහොය දිනදීය. එදින සිට උපාසික උපාසිකාවන් විසින් භික්ෂූන් වහන්සේලා උදෙසා වතාවත් සිදුකරමින් තෙමසක් වස්වසන ලෙස ආරාධනා කරති. එසේ ආරාධනා කරන ඔවුන් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවුපසයෙන් උපස්ථාන කරන බවට ද පොරොන්දු වෙති. එම ඉල්ලීම පිළිගන්නා වූ භික්ෂූන් වහන්සේලා විහාරස්ථානය තුළම වැඩ වසමින් වස්විසීම සිදුකරති.
මෙම වස්කාලය තුළ භික්ෂූන්වහන්සේ විසින් පෙරවස් හෝ පසුවස් එළඹීම සිදු කරනු ලබති. බුදුන්වහන්සේ රජගහනුවර වැඩ සිටි සමයෙහි භික්ෂූන් වහන්සේලා වස්සාන ඍතුවෙන් චාරිකාවේ යෙදෙමින් පැවති ආගමික චාරිත්‍ර තුළින් ධර්මයත් උල්ලංඝනය වී ඇති බැවින් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේට අනුජා නාමි භික්ඛවෙ මේ වස්සාන වස්සං උපගං තුන් යනුවෙන් මහණෙනි මෙම වස්සාන ඍතුවෙහි වස් වැසීමට අනු දැනුම්හ”යි වදාළහ. ඒ අනුව වස් පවාරණය ද වැදගත්ම කරුණක් වී ඇත. තුන්මාසයකම කාලයක් වස් සමාදන් වී එය ආරක්ෂා කළ භික්ෂූන් වහන්සේලා ඇසළ පොහොයෙන් ආරම්භ වී වප් පොහොයෙන් අවසන් වන වස් විසීමේ පින්කම් අවසන්වන්නේ කඨින චීවර පූජාව අවසන් කිරීමෙනි. මේ කඨින චීවර පූජාව තරම් උතුම් වන්දනාමානයට ලක්වන වස්ත්‍රයක් ඇත්තේම නැත. එබැවින් කඨින චීවරයට පුද පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස බොහෝය. මේ පින්කම සිදුකිරීමෙන් නීරෝගි සුවය ලැබීමට ද හේතු වේ.
වස් තුන් මාසය තුළ විහාරස්ථානවල වැඩ සිටිමින් භාවනායෝගීව වැඩ සිටින උපසම්පදා ස්වාමින් වහන්සේ මෙන්ම සාමණේර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කඨින චීවර පූජාව වස් වසන ලද ස්වාමීන් වහන්සේලාට සිවුරු පූජා කිරීමෙන් ද අනෙකුත් පුද පූජා කිරීමෙන් ද උසස් ආනිසංස ලැබෙන බවත් ඒ වගේම නිරෝගී සම්පත් උදාවන පින්කමක් බවත් සඳහන්ය.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී
ඡ්‍යොතිෂ ප්‍රභාෂ්වර
මොරටුවේ
තිස්ස මහානාම