නොවැම්බර් 15-21 අතර උපන් ඔබ...

නොවැම්බර් 15, 2024

නොවැම්බර් 15

පෞද්ගලික අංකය: 6

මේ දිනයෙන් උපත ලද ඔබ වශීකරණ ගුණයෙන් අනූණ අයෙක්. ජීවිතය කාලය පුරා මිල මුදල් යහමින් ගලා විත් අත-මිට සරු කරන ස්වභාවයක් දක්නට ඇත. හාස්‍යජනක ස්වරූපයෙන් කරුණු-කාරණා ගෙනහැර පෑමට මෙන්ම අවශ්‍ය විටකදී වාද-විවාද ආදියට පැටලීමට වුවද ඔබ පසු බහින්නේ නෑ. ඔය ලස්සන අහිංසක ඇස් දෙක නිතරම සතුටින් දිලිසෙනවා දැක්කම ඇසුරු කරන අය පවා සතුටට පත් වෙන්නේ නිරායාසයෙන්මයි. එහෙත් ඔබගේ බාල කාලය ප්‍රබල දුෂ්කරතා දහසකට මැදි වෙමින් ජීවිත සටනට තනිව මුහුණ දෙන්න වෙන්නේ. මේ විදිහට අංක සැලැසුම පිහිටලා තියෙන බොහෝ දෙනෙක් ගේ එක්කෝ අම්මා හෝ තාත්තා හෝ දෙදෙනාම හෝ හදිසියේ නැති වෙලා තියෙනවා. තමන් ගැන සියලු වගකීම් තමන් පිට පැටවිලා කවුරු හරි වැඩිහිටියකුගේ පාලනය යටතේ ඉන්න ලැබුණම දරා ගන්න බැරි තරම් පීඩනයක් ඇති වෙන්නේ. ඒ තත්වයෙන් නිදහස් වීමට ඇතුළාන්තයෙන් යම් යම් සැලසුම් දියත් කරනවා. මේ අමිහිරි වාතාවරණයෙන් පිට පැනීමට ඔයාට බොහෝ විට උපකාරී වෙන්නේ විවාහය තමයි. තමන්ට වඩා පහළ මට්ටමක කෙනෙක් මයි බොහෝ විට මෙහිදී හදිස්සියට හමුවෙන්නෙත්. ඇතැම් විට පමා වී සිදු කෙරෙන විවාහ වඩාත් සාර්ථක වන බවත් පෙන්නුම් කෙරෙනවා. අතිගරු මැල්කම් රංජිත් (1947) කාදිනල් තුමා වගේම හෙළ අඹරේ දිදුලන තාරකාවියක් වන් රංගන ශිල්පිනී ශලනි තාරකා (1990) ඔබේ උපන් දිනයේම වන සුපිරි චරිත.

නොවැම්බර් 16

පෞද්ගලික අංකය: 2/7

ඔයා අධික චිත්ත ශක්තියෙන් අනූන අයෙක්. හැකියාවන් යහපත් ලෙස මෙහෙයවා කටයුතු කිරීමෙන් ඉතා සාර්ථක ජයග්‍රහණ අත්පත් කර ගත හැකි වෙනවා. සිය හැකියාවන් එළි දැක්වීම තුළින් ළමා කාලයේදීම ඉමහත් ප්‍රසිද්ධියට පාත්‍ර වෙන ගායකයන්, නළුවන් හා කවීන් වැනි බොහෝ දෙනකු මේ උපන් දිනයෙන් උපත ලබනවා. හැබැයි පුදුමය කියන්නේ ඔයාගේ උපන් අංක සංයුතියෙන්ම සමාජ විරෝධීන් බිහි කිරීමේ නැඹුරුව පවා පිහිටා තිබීමයි. එවැනි අය දෙවරක් නොහිතාම බිහිසුණු ක්‍රියාවන්ගේ නායකත්වය දරනු ඇති. අනිසි ප්‍රේම සබඳතාවලින් ඔබේ ජීවිතයේ අභිවෘද්ධියට බාධා ඇති නොවීමට වගබලා ගන්න. ප්‍රබල ඉව ශක්තියක් උත්පත්තියෙන්ම හිමි නිසා යමක් කිරීමට සුදුසුම වෙලාව තෝරා ගැනීමේ සුවිශේෂී හැකියාවක් ඔයා සතුයි. නවෝත්පාදන අංශයෙන් විටෙකදී උසස් ජයග්‍රහණ අත් කර ගැනීමේ වාසනාව පවා ඔයා සතුයි. සල්ලිය බාගේ පොදි ගහන්න එතරම් ආශාවක් නෑ තමයි. ඒ වුණාට හරි අමුතු ක්‍රමවලට තමයි ඔයාගේ මුදල් ලැබීම් ලියැවිලා තිබෙනවා. උත්සාහ කළොත් ඔයාට සාර්ථකව චිත්ත ශක්තියෙන් රෝග සුව කරන වෘත්තිකයකු විය හැකියි. ඒ වගේම මෝහනය හා ගුප්ත විද්‍යාව වැනි අංශයන්ගෙන් පවා වැඩ ගන්න ඔයා තරම් දක්ෂයෙක් ලොවෙත් නෑ. රත්නපුරේ 'චොකා මල්ල'ි අන්වර්ථ නාමය ලද ප්‍රේමලාල් ජයසේකර (1974) ඔයාගේ උපන් දිනයේ එක්තරා ස්වරුපයකට හොඳ උදාහරණයක්. අනික් ස්වරූපයට උදාහරණයක් හැටියට ඉන්දීය යොවුන් රංගන ශිල්පී ආධිත්‍ය රෝයි කෆූර් (1985) දක්වන්න පුළුවන්.

නොවැම්බර් 17

පෞද්ගලික අංකය: 8

ඔයා සතු ධනවත් වීමේ ඇල්ම හා කැපවීම ඉහළ මට්ටමක තියෙන්නේ. ඔයාට තියෙන්නේ සල්ලි හොයන හිතක්. පංචකාම සම්පත්තීන්ට ගිජු බවක් නිතරම දකින්න ලැබෙනවා. බාධක මැඩගෙන ඉදිරියට යන අසාමාන්‍ය චිත්ත ශක්තියක් ඔයාට උරුමයි. අකීකරු මුරණ්ඩුකම වගේම තමන් ගැන අහංකාරය නිසා කිසි කෙනෙක්ගේ අවවාද අනුශාසනා කනකට ගන්න කෙනෙකුත් නෙවෙයි.හරිද වැරදිද අදාල නෑ තමන් ගන්නා තීරණය තමයි අවසාන තීරණය. ඔයාගේ යහපතට කැප වූ මිතුරු පාර්ශවයේ කෙනෙක්ව වත් පිළි ගන්න තරම් ඔයාගේ නිහතමානී කමක් නැති එක පාඩුවක්. මොනවා වුණත් තනි මතයත් අප්‍රතිහත කැපවීමත් නිසා ඔයාගේ තනි සැලසුම් සාර්ථක වෙන්නෙත් පුදුම සහගත විදිහටමයි. ජීවිතේ සමතුලිත බවක් ඇති කර ගන්න වගේම සහකරුවෙක් එක්ක සාර්ථක යුග දිවියක මිහිර විඳගන්න නම් ඔය හිට්ලර් ගති ටිකක් පාලනය කර ගන්න වේවි. භාරතීය මහා රංගවේදී ජෙමිණි ගනේෂන් (1920) වගේම අපේ යොවුන් පාපන්දු ක්‍රීඩක කවිඳු ඉෂාන් (1992) වැනි චරිත සමඟ ඔබේ ජීවන ගමන කෙතරම් සමීප වෙනවද කියා සසඳා බලන්න.

නොවැම්බර් 18

පෞද්ගලික අංකය: 9

ඔයා දන්නවාද ඔයාගේ උපන් දිනය දේශයට වැඩදායක යුද නායකයන් බිහි කරන දවසක්? හැබැයි මුරණ්ඩු ගතිගුණ තමයි ඔයා ළඟ වැඩියෙන් දකින්න ලැබෙන්නේ. ඔයාගේ දැඩි වේගවත් සිතිවිලි නිසා වැඩියෙන්ම පීඩා විඳීන්නේ ඔයා ළඟින්ම ඉන්නා අයමයි. ඒ වගේම මේ උපන් දිනයත් අංක විද්‍යාත්මකව සුවිශේෂී වෙනවා. පෞද්ගලික අංකයෙන් හා මාස රාශි බලයෙන් යන දෙකෙන්ම කුජගේ(-) බලය ඉස්මතු වෙනවා කියන එක ජීවිතයේ දෙවැනි භාගයේ සීඝ්‍ර අභිවෘද්ධියක් සැලසෙනවා කියන එකට පෙර නිමිත්තක්. හැබැයි ඒ වෙනුවෙන් ඔයාට ඔයාගේ ළමා කාලයේ විඳවන්න වෙනවා. දෙමාපිය භාරකාරීත්වය සම්බන්ධ ගැටලු වගේම සෞඛ්‍ය ගැටලු එන්නේ එක පෙළට. මේ කාලෙදී විවාහ ජීවිතය වුණත් ගත කරන්න වෙන්නේ දුෂ්කරතා දාහක් මැද්දේ. හැබැයි අනිවාර්්‍යයෙන්ම ඔයාට වඩා උසස් වගේම ඔයාට ආඩම්බර විය හැකි ආකාරයේ සහකරුවෙකුත් හිමි වෙනවා. ඒ මොනවා වුණත් අවුරුදු 40 ලබද්දී ඔයා පුදුම සහගත විදියට ආගම දහමට නැඹුරු වෙනවා විතරක් නෙවෙයි මේ කාලයේදී ජීවිතයේ ඉහළ නැගීමත් බලාගෙන ඉන්ඳැද්දිමයි සිදු වෙන්නේ. කොහොම වුණත් ඔයා වගේ අයට ඩෙංගු වැනි වසංගත රෝගවලට ගොදුරු වීමේ අධි අවදානම තියෙන්නේ ජීවිත කාලය පුරාමයි. යන්ත්‍රු-සූත්‍ර ක්‍රියාත්මක ස්ථාන ආශ්‍රිතව හදිසි අනතුරු හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මඟින් හිසට වන අනතුරු වගේම මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් ආදිය නිසා දිවි අහිමිවීමේ අවදානමත් ඔයාගේ දෛවයේ ලියැවුණු වැඩිදුර කාරණායි. මේ ගැන දැණුවත් වීමෙන් ඔයාට යම් ආරක්ෂාවක් ඒ සම්බන්ධව සලසා ගන්න හැකි වේවි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (1945) වගේම යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් (1989) මහත්තයත් ඔයාගේ දවසේ උපන් චරිත දෙකක්.

නොවැම්බර් 19

පෞද්ගලික අංකය: 1/4

ඔයා දැඩි පිළිවෙත් රකින කෙනෙක් නේද? ඒ වගේම දැඩි ආත්ම ශක්තියක් ඇති අයෙක්. මේ ස්වභාවය වඩාත් කැපී පෙනෙන්නේ ඔයාගේ පෞද්ගලික තුළ ප්‍රබල රවි හා කුජ යන ග්‍රහ සංයෝගය ඇති නිසා. බැලූ බැල්මට අහිංසක පෙනුමක් තිබුණාට කෝප ගැන්වූ විට ඔයාගෙන් රෞද්‍ර ස්වරූපයක් තමයි පෙනෙන්නේ. ඉතාමත් බුද්ධිමත් භාවය වගේම ගනු ලබන තීන්දු තීරණ විටින් විට වෙනස් නොකරන ස්වභාවය නිසා විශිෂ්ට ගණයේ දැඩි පාලකයෙක් වෙන්න ඔයාට වුණත් බැරි වෙන එකක් නෑ. තමා අවට සිටින අයට විශාල බලපෑමක් කිරීමේ ශක්තියක් ඔයා සතු වෙනවා. නිර්මාණශීලී භාවය වගේම බලය උරගා බැලීමේ කැමැත්තත් ඔයාගේ චරිතය තුළ කැපී පේනවා. සැලසුම් අවසානයක් දක්වා සාර්ථකව කරගෙන යාමේ කැපවීම ඔයාගේ චරිතයේ ඇති සුවිශේෂී ධන ලකුණක්. නීතිය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම නොබලා කටයුතු කරන ගතියක් තිබුණත් ඔයාට අවනත අය වෙනුවෙන් අවශ්‍ය විටදී පෙනී ඉන්න පැකිළෙන්නේත් නෑ. ඒක ඔයාගේ නායකත්වයේ හොඳ ගුණාංගයක්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය (1946) මහත්තයා ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්ධිරා ගාන්ධි (1917) මැතිණියත් ඔබේ උපන්දිනයේමයි. මේ ප්‍රබල චරිත දෙකම අවසන් ගමන් ගියේ සහසික වෙඩි පහරින්. අංක විද්‍යාඥයන් වශයෙන් අපහට කළ හැකි සමාජ මෙහෙවර වන්නේ පුද්ගල චරිත හා බැඳුණු අංක විද්‍යාත්මක සම්බන්ධයන් විශ්ලේෂණය කරමින් ඔබේ ජීවිතය හා බැඳුණු සියුම් කරුණු කාරණා ඉස්මතු කර දීමයි. එයින් උපරිම පල ප්‍රයෝජන නෙලා ගැනීමේ යුතුකම ඔබ සතුයි.

නොවැම්බර් 20

පෞද්ගලික අංකය: 2/7

තියුණු බුද්ධිය හා දේව ආකර්ෂණය නිසා ජනතා නායකත්වයට ඔයාල ඇදිලා යන්නේ ඉබේටමයි. එහෙත් විටෙක ඉස්මතු වෙන ආත්මාර්ථය පාලනය කර ගැනීමට උත්සාහ කරන්න. ඇත්තටම ප්‍රශස්ත කලා හැකියාවන් සම්භාරයක් ඔයා සතු වෙනවා. ඉන් නිසි පල ප්‍රයෝජන නෙළා ගැනීමට නම් වඩාත් ප්‍රායෝගික මාර්ගයකට අවතීර්ණ වීම අත්‍යවශ්‍යයි. මේ උපන් දිනයට අයත් කාන්තා පාර්ශ්වය බොහෝවිට දුක් වේදනා ආදියට ගොදුරු වන බවත් පත පොතෙහි සඳහන් වෙනවා. ඔයාට ජීවිත කාලය තුළ නිතර ඇතිවන ප්‍රබල ආදර සම්බන්ධතාවල අවසන් ප්‍රතිපලය වේදනාව. එනිසා මුලින්ම හැකි කුමන හෝ අංශයක මහත් කැපවීමකින් යුතුව සාර්ථකත්වය ලබාගෙන අනතුරුව ලද පමණින් ආදර අතුරුපසකින් සංතර්පණය වීමට හුරුවීම වඩාත් යහපත් වනු ඇත. තම හැකියාවන් වැඩි දියුණු කර ගැනීම මඟින් භෞතික සම්පත් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට වඩාත් උත්සහවන්ත වියයුතු බව නිරතුරු තරයේ සිහියේ තබාගත යුතුව ඇත. ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් (1942) හා අපේ චතුර සේනාරත්න (1982) යන මහත්වරුන් ගේ චරිත ඔයාගේ පෞරුෂය පිළිඹිබු කරන කැඩපතක් වේවි.

නොවැම්බර් 21

පෞද්ගලික අංකය: 3

ඔයාට නොකා නොබී හිටියත් පත පොතින් ඈත් වෙලා එක මොහොතක් ඉන්න බෑ නේද? බාධක තුළින් ලෝකය හා මිනිසුන් පිළිබඳ ලබන මනා අවබෝධයෙන් තමයි ඔයාගේ ජීවිතය දවසක බබළවන්නේ. පුංචි කාලේදිම ඔයාගේ ආරක්ෂාව බිඳ වැටුණම ජීවිතේ මූලික අවශ්‍යතා ටික පවා විසඳගන්න අපහසු ප්‍රහේලිකාවක් වෙනවා. මේ වගේ තත්ත්වයකදී අවංකකම මොහොතක් යටපත් කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් නම් ඒකත් කරන්න සිදු වනවා. උණ වසංගත රෝග කුඩා කාලයේ උරුම වුණත් වයස 21 පනින්නේ ඔය ඔක්කොම ගැටලු නිවාරණයි-තීන්දුයි කියලයි. ඔයා හැම තිස්සෙම හැම දෙයක්ම මහා ඉහළින් කරන්න හිතන තරමක උද්දච්ච මානසිකත්වයකයි පසු වෙන්නේ. ඔයාට ඕනම තැනක ඇඟිල්ලක් රිංගව ගන්න ඉඩක් ලැබුණොත් ඉතිරි හරිය ගොඩ දාගන්න ඒ හොඳටෝම ඇති. අනෙක් අය පිරිවරාගෙන නිතර උපදෙස් දීමත් නිතරම තමන් ළඟ ඒ වෙලාවේ කතා කරන කෙනා හොඳම කෙනා සේ හැඟෙන විදිහට කතා කිරීමත් ඔයාගේ පුරුද්දක්. කෙනෙකුට බැරිවෙලා වත් තෑග්ගක් වත් දෙන්නෙත් පෙරළා යමක් බලාපොරොත්තුවෙන්මයි. තමන් සිදු කරන ප්‍රකාශවලට වගකීම නොදරන එකෙත් පොඩි අවුලක් නම් තියෙනවා තමයි. අනුන්ගේ මුක්කු නැතිව තම දෙපයින් කෙළින් හිට ගැනීමත් වැදගත්. ප්‍රවීණ අංක විද්‍යා උපදේශක/ලේඛක බන්දුල සිරිවර්ධන දොස්තර මහත්තයත් (1965) වී.වේළුපිල්ලේ (1936) නම් දමිළ ඉතිහාසඥ/ලේඛකවරයාත් ඔබේ උපන් දිනයට හිමිකම් කියන දෙදෙනෙක්.

 

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.