වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ආයුර්වේදයේ නම රැන්දූ මහා පඬිවරයා
ආයුර්වේද කීර්ති ශ්‍රී ප්‍රණාචාර්ය පණ්ඩිත ආර්යදාස කුමාරසිංහ මැතිතුමාගේ එකසිය දාහත්වැනි ජන්ම දිනය ඔක්තෝබර් මස හත්වැනිදාට යෙදුණු අතර ගුණානුස්මරණය ඔක්තෝබර් මස 30 වැනිදාට යෙදී ඇත.
දකුණු පළාතේ දෙවිනුවර ගන්දරාවත්ත නම් ගමේ පදිංචිව සිටි අප්පු සිංඤ්ඤෝ කුමාරසිංහ මහතාගේ සහ විජය වික්‍රම කුමාරසිංහගේ පොඩි නෝනා මහත්මියගේ පුතණුවන් වූ ආර්යදාස කුමාරසිංහ කුමරුවා එකදාස් නවසිය දාහතේ ඔක්තෝබර් හත්වැනිදා මෙලොව එළිය දුටුවේ ය.
කුමාරගිරි නිවෙසේ හුරතලා ලෙස හැදුණු වැඩුණු එම දරුවාට පස්වසර සම්පූර්ණවීමත් සමඟ එකදාස් නවසිය විසි දෙකේ දී මාතර තල්පාවිල පිහිටි පිරිමි පාසලට ඇතුළත් කෙරිණි. පසුව මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබූ ඔහු මාතර උණවටුණේ ප්‍රසිද්ධ වෙද පරපුරකින් පැවත ආ පාරම්පරික වෛද්‍ය ආර්.එච්.ජී. වෛද්‍යසේකර මහතාගෙන් දේශීය වෛද්‍යක්‍රමය උගත්තේය. යම් වැදගත් පාඩමක් හෝ උපදෙසක් වරක් ලබාදුන් විගසින්ම එය අවබෝධ කරගෙන නිසි පිළිතුරු පවා ලබාදීමට තරම් පුදුම හැකියාවක් මේ දරුවාට තිබිණි.
ඔහු 1933දී පාලි සංස්කෘත භාෂාවන් හැදෑරීම සඳහා මාතර මහාමන්තින්ද පිරිවෙනට ඇතුළත් වී ප්‍රාචීණ භාෂා ශාස්ත්‍රය ඉතා දක්ෂ ලෙස හදාරා ක්‍රික්වදෝෂ විවරණ ග්‍රන්ථය ලිවීම ද ආරම්භ කළේ ය.
ඒ අතරතුර ඉන්දියාවේ කුසිනාරානුවර මහාබෝධි සමාගමේ වැඩ සිටි ධම්මරක්ෂිත ස්වාමීන් වහන්සේ මාතර මහා මන්තින්ද පිරිවෙනට වැඩම කළ අතර පාලි සංස්කෘත භාෂාවන් පිළිබඳ මනා දැනුමක් ලබා සිටි ආර්යදාස කුමාරසිංහගේ වැඩිදුර දැනුම සඳහා ඉන්දියාවට රැගෙන ගොස් බරණැස රාමනූර්හි අර්ජුණ ආයුර්වේද විද්‍යාලයට ඇතුළත් කොට අවශ්‍ය පහසුකම් ද සලසා දුන්හ. එහිදීද ග්‍රන්ථ රැසක් පළ කළ කුමාරසිංහ මහතා වරක් නවදිල්ලියේ පැවැති ආයුර්වේද සම්මේලනය අමතා සංස්කෘත භාෂාවෙන් කළ දේශනය හේතුවෙන් ප්‍රාණාචාර්ය සම්මාන උපාධියෙන් පිදුම් ලැබීය.
පසුව ධන්වන්තරී ස්තෝත්‍ර තරගයකදී ආයුර්වේද පණ්ඩිත යන ගෞරව සම්මානයෙන් ද බරණැස සාම්පූර්හි ජගත්ගංජන ශ්‍රී ආයුර්වේද විද්‍යාලයේ අවසාන ආයුර්වේද පරීක්ෂණය සමත් වීමෙන් ආයුර්වේදාචාර්ය උපාධියෙන්ද පිදුම් ලැබීය. එය සිංහල ශිෂ්‍යයකු විසින් පළමුවරට ලද උපාධියක් ද වූයේ ය.
මවුබිමට පැමිණි පසු තව තවත් ආයුර්වේද දැනුම වර්ධනය කර ගත් ඔහු දැක්වූ දස්කම් නිසා විද්‍යාලංකාර විද්‍යාලයෙන් වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත උපාධිය ලබා ගැනීමට හැකිවිය. ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයෙන් විශිෂ්ට ලෙස සමත් වී ඩී.ඒ.එම්.එස්. ශ්‍රී සිද්ධභිෂාශ්වර උපාධිය ලබාගත්තේ ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ ආශීර්වාදය මධ්‍යයේ ය.
අනතුරුව පණ්ඩිත ආර්යදාස කුමාරසිංහ මහතා ශ්‍රී රවින්ද්‍රනාත් චරිතය ලීවේ ය. ඒ සංස්කෘතික මහා පද්‍ය කාව්‍යයක් ලෙසිනි. එම අගනා නාට්‍ය කාව්‍ය ග්‍රන්ථය ප්‍රාචීන මහා සභාව වෙත පිළිගැන්වීය. එය ඉතා උසස් සංස්කෘතික ග්‍රන්ථයක් වශයෙන් පිළිගැනීම නිසා කුමාරසිංහ විද්වතාණන්ට සංස්කෘත මහා කාව්‍ය ගරු නාමය සහිත ග්‍රන්ථ විශාරද උපාධිය පිරිනමන ලදි. යක්කල සිද්ධායුර්වේද විද්‍යාලය, බොරැල්ලේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය ආදී විද්‍යාලවල කථිකාචාර්යවරයෙකු වශයෙන් මොහු මහත් සේවයක් කළේය. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී දින කීපයක් පැවැති වෛද්‍ය මහා සම්මේලනයේ දී ත්‍රිදෝෂත්ව විවරණය නම් ග්‍රන්ථය ලියා රන්පදක්කමක් පවා ලබා ගැනීමට ඔහු සමත් විය. ආයුර්වේද මහා සම්මේලනයේ ලේකම්වරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ආයුර්වේද වෛද්‍ය පණ්ඩිත ආර්යදාස කුමාරසිංහ මහතා කව් සිළුමිණ, ගුත්තිලය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව ආදී ග්‍රන්ථ රැසක්ම සංස්කෘත භාෂාවෙන් ලීවේ ය.
එදා පංචබල මහා මණ්ඩලයේ වෙද පෙරමුණේ ප්‍රබලයකු වූ කුමාරසිංහ මහතා සිංහල භාෂා සාහිත්‍යයටත් ආයුර්වේද ක්ෂේත්‍රයටත් සිදු කොට ඇති සේවය ඉමහත් ය. එකදාස් නවසිය අනූහයේ ඔක්තෝබර් මස දහතුන් වැනිදා අග්‍රාමාත්‍යව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතින්ද රාජකීය සම්මානයෙන් පිදුම් ලැබූ මෙතුමා අපරටට මහත් කීර්තියක් අත්කරදුන් ආයුර්වේද වෛද්‍යවරයෙකි. ශ්‍රී ලංකාවටත් ආයුර්වේදයටත් නොමැකෙන සේවාවන් රැසක් සිදුකළ ආයුර්වේද වෛද්‍ය පණ්ඩිත ආර්යදාස කුමාරසිංහයන් එකදාස් නවසිය අනූහයේ ඔක්තෝබර් තිස්වැනිදා අභාවප්‍රාප්ත වූයේ ය.
ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි