නමේ මුල් අකුරින් ඔබ ගැන දැනගන්න

ඔක්තෝබර් 4, 2024

අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී සඳහන් කරනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේ A අකුරේ සිට T අකුර දක්වා නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තර පසුගිය කලාපවලින් සාකච්ඡා කරන ලදී. මේ ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ U,V,W යන අක්ෂර යන්ගෙන් නම් පටන් ගන්නා ඔබ පිළිබඳ විස්තර පැහැදිලි කරන අතර පළමුවෙන්ම U  අකුරෙන් නම පටන් ගන්නා අයගේ විස්තර කුමන ආකාරයෙන්ද යන්න සලකා බලමු.

U අකුර

දුර දක්නා නුවණින් යුතුව තීක්ෂණ බුද්ධියකින් අනාගතය පිළිබඳව සැලසුම් සහගතව කටයුතු කරන පුද්ගලයන් ලෙස මොවුන් හඳුන්වන්න පුළුවන්. මේ අකුරින් නම පටන් ගන්නා ඉතා ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයන් මෙන්ම ආයතනද බොහෝ ප්‍රමාණයක් වෙයි. වැඩ කල් නොදමා අද කළ යුතු දේ ඒ මොහොතේම කිරීම මොවුන්ගේ සිරිතක් වෙයි. කටයුතුවල ක්‍රමානුකූල බවක්ද දැකිය හැකිය. ආගිය තැන බොහෝ පිළිගැනීමටත් ගෞරවයට ලක්වීමටත් මොවුන්ට වාසනාව ඇත. සැබවින්ම මොවුන් ජීවිතයේ සෑම පැත්තකින්ම වාසනාව උරුම කරගෙන උපන් අය ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙත් බොහෝ විට මොවුන්ගේ ජීවිතවල වාසනාව සැඟවී පවතින අතර සමහර අය එය මතුකර ගැනීමට අපොහොසත් වනු ඇත. සිනහව කතාව මෙන්ම හැසිරීම ද මොවුන්ගේ ආකර්ෂණීය බව තව තවත් වැඩි කරයි. අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට මොවුන් දක්ෂ වෙයි. බොරුව වංචාව ගරු නොකරන මොවුන් සත්‍යගරුක ලෙස තම කටයුතු පවත්වාගෙන යෑමට උනන්දු වෙයි. මොවුන් තැනට සුදුසු නුවණින් යුක්ත පුද්ගලයන් ලෙසද හඳුන්වන්න පුළුවන්. අවස්ථාවට අනුව වෙනස් වන ස්වභාවය මොවුන් තුළ පවතී. හරිම අවස්ථාවේදී හරිම තීරණය ගන්නට මොවුන් දක්ෂයි. නිර්මාණශීලී බව අතින් ද මොවුන් ඉදිරියෙන් සිටියි. කලාත්මක හැකියාවන් ද මොවුන් සතුව පවතී. සමාජයට අවශ්‍ය පුද්ගලයකු ලෙස තම ජීවිතය සකස් කර ගැනීමට මොවුන් දක්ෂ වෙයි. ජීවිතයේ කරදර බාධක අපහසුතා මැඩගෙන ඉදිරියට යන්නට මොවුන් සමත්කමක් දක්වයි. මොවුන් වඩාත් ප්‍රවේශම් විය යුත්තේ මුදල් පරිහරණයේ දීය. ජීවිතයේ සමහර කාලවල විටින් විට මුදල් අතින් ඉතා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇත. මූල්‍ය කළමනාකරණය පිළිබඳ හොඳීන් සිතා බලා කටයුතු කිරීම වැදගත් වනු ඇත. මොවුන් මුදල් ණයට දීමත් ණයට ගැනීමත් එතරම් සුදුසු නැත. ණය ගත්තොත් ගෙවීමට නොහැකි තත්ත්වයන් ඇතිවිය හැකිය. සමාජ ඇසුරේදී ඕනෑවට වඩා පුද්ගලයන් විශ්වාස කිරීමද කල්පනාකාරීව කළ යුතුය. මිතුරන් නිසා නොමඟ යෑමට වුවද ඉඩ තිබේ. තමාට ගැළපෙන අය තෝරා ගෙන ඇසුරු කිරීම ඉතා වැදගත් වෙයි. කුමන අපහසුතා තිබුණත් තම ගෘහ ජීවිතය සාර්ථකව ගෙන යෑමට මොවුන් සමත් වන අතර තම සමීපතමයන් පිළිබඳ වඩාත් උනන්දුවකින් කටයුතු කිරීම සමගිය පවත්වා ගෙන යෑමට වැදගත් වනු ඇත. ආදරය විවාහ ජීවිතය වැනි කාරණාවලදී මොවුන්ට වඩාත් ගැටලුවක් වන්නේ තම කාලය කළමනාකරණය කර ගැනීමයි. සමාජ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට යාමේදී තම පවුලේ ආදරණීයන්ගේ යුතුකම් ඉටු කිරීමට ද කාලය වෙන්කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙයි. මොවුන්ට එක තැනකට වී කරන රැකියා ව්‍යාපාරවලට වඩා බොහෝ පිරිසක් සම්බන්ධ කරගෙන කරන රැකියා ව්‍යාපාර වඩාත් ගැළපෙන බව පෙනේ. ජීවිතයේ සාර්ථකත්වයත් වාසනාවත් උරුම කරගෙන උපන් මෙවැන්නකු එය නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තොත් විශිෂ්ට පුද්ගලයකු බවට පත්වීම නොඅනුමානය.

V අකුර

බොහෝ විට මොවුන්ගේ ජීවිතයේ මුල් කාල වකවානුව විවිධ දුෂ්කරතා මෙන්ම අභියෝගවලින් ගහන කාල පරිච්ඡේදයක් ලෙස දැක්විය හැකිය. මේ අකුරින් නම පටන් ගන්නා යම් කෙනකු සාර්ථකත්වයට පත්ව සිටී නම් ඔවුන් මුල්ම තැනින් පටන් ගත් උදවියයි. ඒ නිසාම මොවුන්ට ජීවිතය පිළිබඳ ඉතා හොඳ අත්දැකීම් සමුදායක් ඇත. ජීවිතයේ තමන්ට වැරදුණු තැන්වලින් පාඩමක් ඉගෙනගෙන අනාගතය පිළිබඳ තීන්දු තීරණ ගැනීම මොවුන්ගේ ස්වභාවයයි. මොවුන් කිසිවෙකුටත් යටහත් පහත් වීමට කැමති පුද්ගලයන් නොවේ. තරමක අහංකාර ස්වභාවයක් චරිතය තුළින් දැකිය හැකිය. කෙසේ හෝ තමාගේ අරමුණු බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට දක්ෂ වෙයි. බොහෝ මිනිසුන් අතර ප්‍රියමනාප පුද්ගලයකු මෙන්ම ගෞරවණීය පුද්ගලයකු ලෙස ද කටයුතු කරයි. කොහොම වුණත් මොවුන්ට අන්‍යයන්ගේ ගෞරවයටත් ඇගයීමටත් පාත්‍ර වීමේ භාග්‍යය ඇත. මොවුන් අන් අයට බලපෑම් කර බලෙන් කිසිවක් ලබා ගන්නා අය නොවේ. සුහදශීලීව සිත් නොරිදෙන ආකාරයෙන් වැඩ ගැනීමට දක්ෂ වෙයි. මොවුන්ගේ ගමන බිමන හැසිරීම තුළ ද යම් විනයක් ශික්ෂණයක් දැකිය හැකි අතර යම් ප්‍රියමනාප භාවයක් ඇත. අන් අයගේ අවධානය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙයි. සාමාජීය සහ අන් අය සමඟ එකතු වී කරන කටයුතුවලදී නායකත්වය මූලිකත්වය ගෙන කටයුතු කිරීමට කැමැති වෙයි. අනිත් අයට වඩා තමා තරමක් හෝ ඉදිරියෙන් සිටිය යුතු යැයි නිතර සිතයි. මොවුන් වගකීම් දැරිය හැකි පුද්ගලයන් කොටසක් ලෙසද හඳුන්වන්න පුළුවන. විශ්වසනීය භාවය ද මේ අය තුළ පවතී. නීති කැඩීමටත් වැරදි වැඩ කිරීමටත් පවු කිරීමටත් මොවුන් තුළ දැඩි බියක් පවතී. බොහෝ විට දෙයක් කිරිමට පෙර එහි ප්‍රතිඵලය ගැන සිතන ගතියක් පවතී. අන් අයට තම අදහස් තර්කානුකූලව ඉදිරිපත් කිරීමේ හැකියාව මොවුන්ට ඇත. පහසුවෙන් කිසිවෙකු සමග තරහ වන්නේ නැත. එහෙත් ඉක්මනින් කේන්ති යන ස්වභාවය මොවුන්ට තිබේ. එම දුර්වලතාවය මඟ හරවා ගැනීම ඉතා වැදගත් වෙයි. නිතරම සැහැල්ලුවෙන් ජීවත්වීමට කැමති වෙයි. වයස අවුරුදු 30න් පසුව පමණ මොවුන්ගේ ජීවිතය ස්ථාවර වීමට පටන් ගනී. කෙසේ වෙතත් මේ පුද්ගලයන් ඉතා සාර්ථක මෙන්ම වාසනාවන්ත ජීවිත ගත කරන පුද්ගලයින් බව සඳහන් කළ හැකිය.

W අකුර

W අකුර මුලට යෙදී නම පටන් ගන්න බොහෝ අය ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීම සඳහා වෙහෙස මහන්සිය නොබලා වැඩ කරන අය බව කියන්න පුළුවන. ජීවිතයේ සාර්ථක වීමට තිබෙන සෑම පැත්තක් පිළිබඳවම මොවුන් නිරන්තර සෝදිසියෙන් කටයුතු කරයි. තම ඉලක්ක ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඕනෑම කාලයක් බලා සිටීමට මොවුන්ට හැකියාව ඇත. මොවුන් එකම කාර්යයක් තුළ පමණක් නිරත වන්නට හිතන්නේ නැත. එක දෙයක් කරන ගමන් තවත් දෙයක් කිරිමට සිතීම මොවුන්ගේ ස්වභාවයයි. තරමක් කාර්යබහුල ජීවිතයක් මොවුන්ට ගෙවීමට සිදුවෙයි. වැඩ කිරීමට සිතූ විට වෙහෙස මහන්සිය නොබලා එක දිගටම වැඩ කරයි. මොවුන් සමහර විට පහසු කෙටි මාර්ගවලින් දියුණු වීමට සිතයි. ජීවිතයේ අවදානම් ගැනීමට මොවුන් කිසිදු බියක් දක්වන්නේ නැත. ඕනෑම දෙයකට නොබියව මුහුණ දීමේ හැකියාව පවතී. මොවුන්ට හොඳ දරා ගැනීමේ හැකියාවක් ද තිබේ. අමාරු අසීරු අවස්ථාවන්වලදී වුවද නොපැකිළිව ඒවාට මුහුණ දීමේ හැකියාව ඇත. මොවුන් තමන්ගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව ගැන නිරන්තරයෙන් සිතයි. නීති ගරුක පුද්ගලයන් වන අතර තම ආත්ම ගරුත්වය ගැන ද වැඩිපුර හිතයි. තමාට තර්ජනයක් වේ යැයි සිතන තැන්වලින් මොවුන් වහා ඉවත් වෙයි. ඒකාකාරී ජීවිතයක් මොවුන් කිසි විට ප්‍රිය නොවෙයි. වෙනස් ආකාරයේ අත්දැකීම් ලැබීමට ප්‍රිය කරයි. සෑම දෙයකම විවිධත්වයක් අපේක්ෂා කරයි. ස්වාධීන බව සහ නිදහස් බවට ඇලුම් කරයි. සමාජශීලී ගතිය ද මොවුන් තුළ ප්‍රකටව පෙනේ. ඕනෑම තැනකට ආගන්තුක බවක් නොමැතිව ඉක්මනින් හැඩ ගැසෙයි. තම හිත මිතුරන් සමඟ විනෝදයෙන් කාලය ගත කිරීමට මොවුන් ඉතා ප්‍රිය කරයි. එමෙන්ම අලුත් මිතුරන් ද හඳුනා ගැනීමට අවස්ථා නිතර යෙදේ. මොවුන් ජීවිතයේ් ඉතා හොඳ සාර්ථකත්වයක් ලබන්නේ මැදි වයසේදී ය. බොහෝ විට කුඩා අවදිය විවිධ අසීරුතා සහ ගැහැටවලින් යුක්ත වෙයි. එමෙන්ම ජීවිතයේ අවසාන කාලය ද බොහෝ විට කනස්සලු ස්වභාවයෙන් ගත කිරීමට සිද්ධ වීමට වැඩි අවදානමක් පවතී. තමන් ලබා ගන්නා සාර්ථකත්වය ස්ථාවරව පවත්වාගෙන යෑමට උත්සාහ කළ යුතු අතර අවසාන කාලය වන විට යම් තැන්පත් ධනයක් පවත්වා ගැනීම ද ඉතා වැදගත් වෙයි. මොන තරම් දේවල් තිබුණත් අවසානයේ තමාට තමා පමණක් බව නිරන්තරයෙන් සිහි තබාගෙන කටයුතු කිරීම වැදගත් වෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.