දිවි අඳුර මකා ඥානාලෝකය ගෙනෙන දීපාවලී උලෙළ

ඔක්තෝබර් 25, 2024

දුක්දොම්නසින් පිරුණු අඳුර ඉවත් කර සතුට, සම්පත, කරුණාව උදාකොට හින්දු නිවෙස් තුළ ආලෝකය ඇති කරන දීපාවලිය අඥානය දුරුකොට ප්‍රඥාව පහළ කරනු ලබන අතිවිශිෂ්ට වූ පූජා උත්සවයකි. ප්‍රදීප අමාවලිය (පහන් වැටක්) යන තේරුම ඇති දීපාවලිය හින්දු බැතිමතුන්ගේ අති පාරිශුද්ධ වූ වැදගත් ආගමික උත්සවයකි.

ජීවිත කාලයෙහි පවතින අඳුරත්, ලොවෙහි අඳුරත් දුරු කර ඥානය නමැති ආලෝකය ප්‍රාර්ථනා කරමින් දීපාවලිය සමරති. දීපාවලී උත්සවය ලොව බොහෝ රටවලත්, භාරතය පුරාත් ඉහළින් සමරනු ලබන්නේ තම දූ දරුවන් හා වැඩිහිටියන් පෙරටු කර ගනිමිනි.

පාප අන්ධකාරය පලවා හරින දිනය වශයෙන් පුද පූජා තබා දේවාරාධනා කොට පහන්වලින් ආලෝකවත් කිරීම සිරිතක් වශයෙන් සිදු කෙරෙන දීපාවලී උත්සවය පිළිබඳව විවිධ තොරතුරු හා ජනප්‍රවාද බොහෝය.

ප්‍රාග් ඡ්‍යොතිෂපුරයෙහි අසාධාරණයෙන් රාජ්‍ය පාලනය කරමින් ලොවම අඳුරින් වසාගෙන සිටි කාරක නම් අසුරයා කෘෂ්ණ විසින් වප් මාසයෙහි කෘෂ්ණ පක්ෂයේ ත්‍රයෝදිසියේදී මරා දමා ලෝකයාට නැවතත් ආලෝකය ලබා දුන්නේලු. මේ කරුණා සිහිපත් කිරීම සඳහා ඉන්දියාවේ මෙන්ම ලොව පුරා හින්දු ජනතාව තෙල් ගල්වාගෙන ස්නානය කොට පහන් දල්වා පී‍්‍රති වී ඇතැයි කියැවේ.

තාරක නම් අසුරයා විෂ්ණුට හා භුමා දේවියට දාව උපන් පුත් කුමරෙකි. භූමා දේවිය නමින් හඳුන්වනු ලැබුවේ මහීකාන්තාවන්ය. මේ තාරක අසුරයා උත්පත්තියෙන් ඉතා ගුණගරුක, හොඳ පුද්ගලයකු විය. එනිසාම ශිව දෙවියන් වෙත ගොස් ඔහු උපවාස ශීලයෙහි රැක්කේ ය. ශිව දෙවියන් තාරකගේ ගුණයහපත් ගතිගුණවලට පැහැදී මනා විශ්වාසයක් ද ඇති කර ගනු ලැබීය. මේ නිසා ශිව දෙවියන් කිසිවකුටත් නුදුන් බලයක් තාරකට ලබා දුන්නේ ය. ශිව දෙවියන්ගෙන් ලැබුණු බලය ලබාගත් තාරක පැවැති ගුණයහපත්කම දුරලා අනිසි ක්‍රියාවල යෙදෙන්නට විය. එනම් කෝවිල්වල පවත්වන්ට යෙදුණු පුද පූජා කඩාකප්පල් කළ අතර කෝවිල්වල පූජා විධි ඉටු කිරීමට ඉඩ නුදුන්නේ ය. යමෙක් කෝවිලක පුද පූජාවක් සිදුකර අසුවුවහොත් ඔවුන්ට නොයෙක් වධහිංසා ලබාදෙමින් ජනතාව බියට පත්කරමින් හැසිරුණේ ය. කෝවිල්වල පූජා තැබීම හා කෝවිල්වලට යෑම ද තහනම් කළේ ය.

තාරකගේ මේ නොහික්මුණු හැසිරීමේ තත්ත්වය නිසා දෙවියෝද බ්‍රහ්මණයෝ ද සුරයෝ ද අසුරයෝ ද මහත් සේ කනස්සල්ලටත් අපහසුතාවටත් පත් වූ බව පොත පතේ සඳහන්ව ඇත. මිනිසුන්ට පමණක් නොව දෙවි දේවතාවන්ට ද මහත් කරදරයක් වූ තාරක විනාශකර දැමීමට කිසිවකුටත් බලයක් නොමැති විය. ඒ තාරක සතු වූ අසීමිත බලය හා ශක්තිය නිසාය. එහෙත් තාරක විනාශ කර දැමිය හැකි වුයේ තාරකගේ පියා වන විෂ්ණුටම පමණකි. එබැවින් තාරක අසුරයා විනාශ කර දමන ලෙස දෙවි දේවතාවුන් ඇතුළු සියලු දෙනාම විෂ්ණුගෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම ඉටුකිරීම සඳහා විෂ්ණු ක්‍රිෂ්ණ අවතාරයෙන් පෙනී සිට තාරකයාව වධහිංසාවට පමුණුවා විනාශකර දැම්මේ ය. තාරක විනාශයට පත්වන අවස්ථාවේදී තාරකගේ ඉල්ලීමක් වූ ආලෝක පූජාව පවත්වන්නට යෙදුණු බව (පාවලීය) කියති.

කතරගම දෙවියන් ශිව දෙවියන්ගේ නළලෙහි පිහිටි ඇසින් විහිදුවා ලූ තෙදැති රශ්මියෙන් ආරුමුගම් දෙවියන් ඉපදී ඇති බව විශ්වාස කෙරේ. එම දෙවියන් ආලෝකයේ දෙවියන් ලෙසද අදහති. දීපාවලී දිනයේ දී දහස් ගණන් පහන් ආලෝක කොට පූජා පවත්වනු ලබන්නේ මේ ආරුමුගම් දෙවියන්ටය. ඒ ආරුමුගං දෙවියන් ඉපදී ඇති බව විශ්වාස කරමිනි. වික්‍රමාදිත්‍ය රජතුමාගේ මෞලිමංගල්‍යය හා රාජාභිෂේකය සිදුවන දිනය ලෙස සලකමින් ද උත්සව පැවැතවිණි. එදින අලුත් අවුරුදු දිනය ලෙස සලකා ද උත්සව පැවැත්විණි. එය දීපාවාලී දිනයක් වීමත් විශේෂත්වයකි. හින්දු කෝවිල්වල දීපාවලී පූජා දිනය සමරමින් විෂ්ණුගේ පිළිරුවක් අලංකාරවත් ලෙස සරසා ගම වටේ සංචාරය කරමින් තාරක අසුරයා වධයට පමණුවන සිද්ධිය පෙන්වනු දැකිය හැකිය.

යහපත් අය ආරක්ෂා කරන්ටත් අයහපත් අය විනාශ කරන්ටත් ධර්මයෙන් කරුණු අවබෝධ කරලීමට දීපාවාලී දිනය මහඟු ආදර්ශයක් බවට පත් වී ඇත. බෙංගාලි දේශයේ දීපාවාලී දිනය සමරනු ලබන්නේ වෙනත් රටවලට වඩා වෙනස් ආකාරයකටය. ඔවුහු මළවුන්ගේ දිනය දීපවාලී දිනය ලෙස සලකති. මරණයට පත් වී අඳුරේ ගිලී සිටින ප්‍රාණකාරයන්ගේ ගැලවීම සඳහා බෙංගාලි දේශයේ පිහිටි විශාල කුලුන මුදුනේ පහන් දල්වා ආලෝක කිරීමත් සිදු කෙරේ. ඒ මෙදින කෘෂ්ණ දෙවියන්ටත් ශෝචවර්ධනකන්දටත් පූජා සංග්‍රහ පවත්වමිනි.

දීපාවාලී දිනය සූදු ක්‍රීඩා කරන්නන්ට විශේෂ දිනයක් ලෙසට ද සලකති. එක් යුගයක ශිව දෙවියන් තම පි‍්‍රයම්භිකාව වූ උමාදේවිය සමඟ සූදු ක්‍රීඩාවේ යෙදී සියලු වස්තුව පරාජයවීමෙන් පරාජිතයකු බවට පත්විය. ඒ දුකින් ගංගා නම් ගඟේ සුදුවැලි තලාවක ඉඳගෙන ඉතා දුක්මුසු තත්ත්වයෙන් සිටිනු දුටු කතරගම දෙවියන් උපායක් සිතා උමා දේවිය සමඟ සූදු ක්‍රීඩාවේ නිරතව තම පියා අතින් පැරදී තිබූ සියලු වස්තුව නැවත ලබා ගත්තේය. මේ නිසා දීපාවාලී දිනය සූදු ක්‍රීඩාව සඳහා වෙන් කළ දිනයක් ලෙසත් සැලකේ. වනවාසයෙන් මිදී දාහතර වසරකට පසුව අයෝධ්‍යා නගරයට රාම පැමිණීමේ සතුට සැමරීම සඳහා ද එරට ජනයා සුරබු ගංගා තීරයට පැමිණ ජල ක්‍රීඩා කොට ස්නානය කොට අලුත් ඇඳුමින් සැරසී රස කැවිලි හුවමාරු කර ගනිමින් දීපාවලී උත්සවය අදටත් සමරති.

දීපාවාලී උලෙළ සැමරීමේ දී නොයෙකුත් විධියේ පූජා විධි අනුගමනය කරති. දීපාවාලිය උදාවන රාත්‍රියේ නෑදෑ හිතමිතුරන් සමඟ එක්ව ස්නානය කොට පිරිසුදුව තලතෙල් ඇඟ ගල්වා නුග බෝ, අට්ටික්කා ආදී ගස්වල පොතු, තම්බා නානු වර්ග සාදා එම නානු ඇඟේ ගා උණු වතුරෙන් ස්නානය කොට පිරිසුදු වී පූජා පැවැත්වීමට සූදානම් වේ. දීපාවාලී පූජාවේ දී ලක්ෂ්මී දේවිය හා ශිව දෙවියන් පිදීමත් සිදු කෙරේ. මෙසේ දීපාවලී සඳ හා දින හතරක් පුරාම පූජා පැවැත්වේ. පළමු දිනය වෙන් වන්නේ ලක්ෂ්මී දේවියටයි. දෙවැනි දිනය වෙන්වන්නේ තාරක අසුරයා මරණයට පත්වීම නිමිත්තෙන් සතුටුවීම සඳහා පූජා පැවැත්වීමටය. තුන්වැනි දිනය පැවැත්වෙන්නේ නානු හිස හා ඇඟ ගල්වා ස්නානය කිරීමටයි. පසුව පහන් දල්වා ආලෝක කරමින් පූජා පවත්වති. හතරවැනි දිනය සලකන්නේ දීපාවලියේ අවසන් දිනය ලෙසටයි. එදින නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කරමින් පසුව තෑගි භෝග ලබාදෙමින් විනෝදවීම සිදු වෙයි. වසරක් පාසා පවත්වනු ලබන මේ දිනය පුණ්‍ය දිනයකි.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය,

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.