වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
බිසවුන්ගේ සිරියහනත් ලෙඩුන්ගේ සුව යහනත් වසඟ කළ රස්පුටින්
හිටිවනම රජ පවුල්වලට සමීපවන ප්‍රාතිහාර්යය පාන්නන්, ඉන්ද්‍රජාලික සුව කරන්නන් සහ අනාගත වක්තෘවරුන් පිළිබඳව අසන්නට ලැබෙන්නේ අද ඊයේ සිටක නොවේ. එසේම අප රටතුළ පමණක්ද නොවේ.
මෙවැන්නන් අතර, මුළු ලෝකයේම ප්‍රධාන තැනක් හිමිවන්නේ ලෝකයේ විශාලම අධිරාජ්‍යය පාලනය කළ රුසියාවේ සාර් රජ පවුලට සමීප වී, රජ ගෙදර තම ගෙදර බවට පත්කර ගත් ග්‍රිගෝරි යෙෆිමෝවිච් රස්පුටින්ට ය.
කැපී පෙනෙන සේ වැඩුණු උසැති සිරුරකින්ද, මඳක් දිගට වැඩුණු කොණ්ඩයකින් හා රැවුලකින්ද යුත් රස්පුටින්ගේ පෞරුෂයේ කැපී පෙනෙන තවත් ලක්ෂණයක් වූයේ අසාමාන්‍ය නිල් පැහැයකින් යුතු ඔහුගේ දෑස්ය.
සුව කරන්නෙක්, ප්‍රාතිහාර්ය පාන්නෙක් ලෙස කුප්‍රකට කීර්තියක් හිමිකරගෙන සිටියද, ඒ තරමටම ඔහු සුරා ධූර්තයෙක් මෙන්ම දැඩි කාමාතුරයෙක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය.
තරුණ වියෙහි සිටම තරුණියන් හා කාන්තාවන් පොලඹවා ගැනීමේ දැඩි ලිංගික ආකර්ෂණයක් සහිත පුද්ගලයකු බවට පත්ව සිටි රස්පුටින් බොහෝ කතුන් හා තරුණියන් සමඟ යහන්ගත වූවා පමණක් නොව, පසු කලෙක රුසියානු රජ මැදුරේ සේවිකාවන් ගණනාවක්ම දූෂණය කරන ලද පුද්ගලයකු බවට ද පත් වූයේය. එපමණක් ද නොව, අවසානයේ එවකට රුසියානු අධිරාජයා වූ දෙවැනි නිකොලස් අධිරාජ්‍යයාගේ බිසව වූ සරීනා අලෙක්සැන්ඩ්‍රියා සමඟ යහන්ගතවන තරමේ සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට දේශපාලන හයියක් මෙන්ම, ලිංගික ආකර්ෂණයක් ද සහිත මේ අසාමාන්‍ය පුද්ගලයා තවත් එක් කරුණක් නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි බව ඉතිහාසඥයෝ පවසති. එය නම් ලෝකයේ විශාලම පුරුෂලිංගයක් හිමි පුද්ගලයා ද වශයෙනි. මේ නිසා ඇතැම් කාන්තාවන් ඔහු සමඟ යහන්ගතවීමට ලැබීම සුවිශේෂ වරප්‍රසාදයක් සේ සැලකූ බවද වාර්තා වෙයි. කාන්තාවන් තුළ ඔහු කෙරෙහි වූ ආකර්ෂණයට, අමුතු විදියේ දහමක් දේශනා කරන මේ පූජකයා කෙරෙහි වූ දැඩි ආගමික භක්තියද මුල්වන්නට ඇතැයි යන්න ඔහු පිළිබඳව විමර්ශනය කළවුන්ගේ මතය වී තිබේ. ඒ කෙතෙක්ද යත් සුප්‍රකට බොනිඑම්ලා ගායනා කරන රස්පුටින් ගීතය මේ වන විට කෝටි සංඛ්‍යාත ජනකායක් යූටියුබ් ඔස්සේ නරඹා ඇති බවද අමතක නොකළ යුතුය.
මේ ආකාරයට රුසියානු රජ පවුල කෙරෙහි වූ අසීමාන්තික බලපෑම හේතුකොටගෙන ලෝ පතළ වූ නමුදු 1918 ජනවාරි 21 දා මේ පුද්ගලයාගේ උපත සිදු වූයේ රුසියාවේ ඈත කෙළවරක පිහිටි සයිබීරියාවේ බටහිර පළාතට අයත් නොදියුණු ගොවි ගම්මානයකය.
එවකට රුසියාවේ අගනුවර වූ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සිට කිලෝ මීටර් 1800 ක පමණ දුරකින් පිහිටි මේ ගම්මානය හඳුන්වනු ලැබුවේ පොක්රොව්ස්කොයා (ර්‍ථධඬපධමඵඬධරච) නමිනි. එවකට රුසියාවේ තිබූ සාර්ගේ ඒකාධිපති පාලන තන්ත්‍රය හේතුකොට ගෙන, සමස්ත ජනතාව විසින් ගෙවා දමනු ලැබුවේ දැඩි ලෙස පීඩාවට පත්වූ දිවි පෙවෙතකි.
විශේෂයෙන්ම රටේ ගොවි ජනතාවගෙන් වැඩි පිරිසක් සාක්ෂරතාවය නොලැබූ කොටසක් වූහ. ඉතිහාසඥයන් පවසන පරිදි රස්පුටින්ද පාසැලකට ගොස් අකුරු ඉගෙන ගත් බවක් අසන්නට නැත. ගැටවර වියට එළැඹෙද්දීම සුළු සුළු හොරකම්වලට පුරුදුව සිටි ඔහු පසු කලෙක අශ්වයන් හොරකම් කර විකිණීම තම ආදායම් මාර්ගය බවට පත්කර ගත්තේ ය. සොරකම ඇතුළු දඩබ්බර ක්‍රියාවල නිරත වූ පුද්ගලයකු බවට පත් වූ තරුණ රස්පුටින් තදබල සුරාධූර්තයෙකු මෙන් ම ස්ත්‍රී ලෝලියකුද විය.
මූලික ජීවනෝපාය ලෙස ගොවිතැන් කටයුතුවල යෙදුණු ගැමියන් සමඟ ජීවත් වූ ඔහු විවාහ දිවියට ඇතුළු වූයේ වයස අවුරුදු 19 දී ය.
මේ අවස්ථාවේදී ඔහු ජීවත් වූ සයිබීරියාව ගැනද යමක් කිව යුතුව ඇත. එනම් එදා මෙදා තුර සයිබීරියාව හැඳීන්වී තිබෙන්නේ වැරදි කළ මිනිසුන්ට දඬුවමක් ලෙස පිටුවහල් කිරීමට යොදා ගන්නා කර්කශක ප්‍රදේශයක් ලෙසය. එහෙත් මේ කර්කශ භුමි භාගයේ විසූ මිනිසුන් විසින් මේ කාලයේ එක් විශේෂ වරප්‍රසාදයක් භුක්ති විඳීන ලදී. එනම් සාර් පාලනය විසින් අනුමත කරන ලදුව එකල සමස්ත රුසියාව පුරා පැවැති වහල් මෙහෙය සයිබීරියාව තුළ බල නොපැවැත්වීම
නිසා ඉන් මිදී සිටීමය. රටෙහි අනෙකුත් දියුණු ප්‍රදේශවලින් බොහෝ දුර බැහැර ප්‍රදේශයක පිහිටීමත්, කටුක ශීත දේශගුණයත්, වහලුන් තබා ගැනීමට හැකි ධනවතුන් කිසිවකුත් මේ පෙදෙසේ ජීවත්ව නොසිටීමත්, කලාතුරකින් විනා රජයේ නිලධාරීන්ගේ පැමිණීමක් සිදු නොවූ හෙයිනුත් ඔවුහු තිබුණු දෙයක් කා බී සැහැල්ලුවෙන් ජීවත් වූහ.
භූගෝලීය හේතු සාධක නිසා සයිබිරියානුවන්ට හිමි වී තිබූ මේ වරප්‍රසාදය මුල්කර ගනිමින් දාස භාවයෙන් මිදී ජීවත්වීම සඳහා විවිධ පළාත්වලින් මේ පෙදෙසට සංක්‍රමණය වූ පිරිස් ද වූහ. රස්පුටින්ගේ පරම්පරාවද මේ අයුරින් සයිබීරියාවට පැමිණි පිරිසගෙන් පැවැත එන්නක් විය.
රස්පුටින්ගේ පරම්පරාවේ ජනතාව 1600 පමණ කාලයේ සිට මේ නම භාවිත කර තිබූ අතර, එය එතරම් වැදගත්කමක් ඇති නමක් ලෙස සැලකිල්ලට ලක්වූවක් නොවීය.
තමන්ට වඩා වසර තුනක් පමණ වැඩි මහල් තැනැත්තියක් සමඟ විවාහ දිවියට ඇතුළු වූ රස්පුටින් හට දාව දරුවන් හත් දෙනකු උපත ලැබූ බව පැවසේ. ඉන් තිදෙනෙක් බාල වියේදීම මියගොස් තිබේ.
ඔහුගේ දරුවන් ලෙස පසු කලෙක යම් ප්‍රසිද්ධියක් ලැබූ දිමිත්‍රි, මාරියා සහ වාර්වානා පිළිවෙලින් 1895, 1898, සහ 1900 දී් උපත ලබා ඇත. මේ කාල වකවානුවේදී රුසියාවේ ඇතැම් පුද්ගලයන් සිය ජීවිතයේ එක්තරා කාලයක් දීර්ඝ වන්දනා ගමන් සඳහා කැප කිරීම සිරිතක් කොටගෙන තිබිණි. මේ වන්දනා ගමන්වල යෙදෙන පුද්ගලයන් බොහෝ විට සුප්‍රකට දේවස්ථානයක් හෝ තාපසාරාමයක් ඉලක්ක කර ගනිමින් සිය චාරිකාව ආරම්භ කරන අතර, මාස කීපයකට පසු ආපසු සිය ගමරට බලා පැමිණෙති. තවත් සමහරුන් එසේ පැමිණ තවත් මාස කීපයකින් ආපසු එවැනි තවත් වන්දනා ගමන්වල යෙදෙති. මේ අතරින් කීප දෙනෙක් යළි කිසිදා ආපසු නොඑන ලෙස ජීවිතාවසානය දක්වාම වන්දනාවේ යෙදෙති.
මේ සංස්කෘතිය පිළිබඳ අවධානය යොමු කළ රස්පුටින්ද ඔහුට වයස අවුරුදු 28 ලබද්දීම එක්තරා තාපසාරාමයක් ඉලක්ක කර ගනිමින් වන්දනා ගමනක යෙදුණේ ය.
මෙය සිදුවූවේ 1897 දීය. රස්පුටින් තුළ හිටිවනම මෙවැනි පරිවර්තනයක් ඇතිවීමට හේතු කීපයක් බලපා ඇති බව ඉතිහාසඥයෝ පවසති.
ඉන් එකක් නම් ඔහුට මේ කාලයේ දී ආගම වෙනුවෙන් කැපවුණු එක්තරා තරුණයෙකු ඇසුරු කිරීමට ලැබීමය.
රස්පුටින් ඔහුගේ අනුගාමිකයෙකු බවට පත්ව ආගමික කරුණු පමණක් නොව, ලිවීම සහ කියවිම පිළිබඳ අවබෝධයක් ලබාගත් බවද පැවසෙයි.
දෙවැනි කරුණ ලෙස සැලකෙන්නේ රස්පුටින් ස්වභාවයෙන්ම කය වෙහෙසා කෙරෙන වැඩවලට අකමැත්තක් දැක්වූ පුද්ගලයෙකු වීමය. ධර්ම දේශකයෙකු හෝ ප්‍රාතිහාර්ය පාන්නකු බවට පත්වීමෙන් මෙවැනි අපහසුතාවයන්ගෙන් මිදුණු දිවි පෙවෙතක් ගත කළ හැකි යයි ඔහු සිතුවා විය හැකිය. අනෙක් පැත්තෙන් මේ කාලය වන විට ඔහු බයිබලය කියවා සිය අකුරු නූගත් ගම්වාසීන්ට තේරුම් කරදිය හැකි තරමේ දැනුමක් ලබා තිබීමද, තවත් වටිනාකමක් එකතු කර දීමට සමත් විය.
මේ අනුව ඔහු ශාන්ත නිකොලස් තාපසාරාමය (ST. Nicholas Monastery ) බලා පිටත් වන අතර, මාස ගණනාවක් එහි නතරව සිටියේය. ඉන්පසු නැවතත් සිය උපන් ගම බලා ආපසු එන ඔහු පූජකයන්ට බරපතළ චෝදනාවක් එල්ල කරමින් යම් යම් ආගමික මති මතාන්නර දේශනා කිරීමට පටන් ගනියි.
ඔහුගේ චෝදනාව වන්නේ තමාට හමුවූ පූජකයන්ගෙන් ඉතා වැඩි පිරිසක් සමලිංගිකයන් වූ බවටය.
(මතු සම්බන්ධයි)